හෙට දිනනා දූ දරුවන් විදුලි දැනුමෙන් සවිබල ගන්වමු
විදුලිය පිළිබඳ නොදන්නා දේවල් අද අපි ඉගෙන ගත්තා – ගගුලි සංසලා ශිෂ්‍යාව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
විදුලිය යනු මිනිසුන් වන අපට අද වනවිට නැතුවම බැරි ප්‍රභවයකි. අඳුරට ආලෝකය ගෙන එන්නටත් රටේ කම්හල්වල නිෂ්පාදන ක්‍රියාවලියටත්, මිනිසාගේ එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරවීමටත් විදුලි බලය අත්‍යවශ්‍ය ය. මිනිස් ජීවිතයට විදුලි බලය කොතරම් සමීප ද යන්න විදුලි බලය නොමැති වුවහොත් මුළු රටෙහිම ක්‍රියාකාරීත්වය අඩපණ වනු ඇත. කම්හලක නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත්, නිවසක, කාර්යාලයක, පොදු ස්ථානයක වැඩ කටයුතු සිදුකිරීමටත් විදුලි බලය අත්‍යවශ්‍ය ය. එවන් වූ විදුලිය ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමත් එහි වටිනාකම දැන සිටීමත් රටක සංවර්ධනයට බෙහෙවින්ම ඉවහල් වන්නකි.
එම නිසා විදුලි බලාගාරයක නිපදවන විදුලිය එහි උත්පාදන ක්‍රියාවලියේ සිට මිනිස් පරිභෝජනය දක්වා බෙදා හැරීමේ කාර්යයට උරදෙන ලංකා විදුලි බල මණ්ඩලය රටේ කොඳු නාරටිය බඳුය. මෙරට මතු පරම්පරාවට රැකදෙන උරුමයක් ලෙස සැලකෙන විදුලිබලය රටෙහි කවුරුත් රැක ගතයුතුය. සංරක්ෂණය කළ යුතුය. ඒ පිළිබඳව හෙට ලොව භාරගන්නට සිටින අනාගත දරු පරපුර දැනුවත් කළ යුතුය.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය, ලංකා විදුලි බල මණ්ඩලය එක්ව ITN ටෙලිවිෂන් ඉස්කෝලේ නමින් ජාතික මානුෂීය අධ්‍යාපන සත්කාරක වැඩසටහනක් පසුගියදා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
එම වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන මෙරට විදුලි උත්පාදනය සහ සංරක්ෂණය හා ඉන් ආරක්ෂා වීම පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන්නට යෙදුණි. එම වැඩසටහනට ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් වන ගම්පහ රත්නාවලී විද්‍යාලය, ගම්පහ රතුපස්වල බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලය, කිරිඳිවල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කිරිඳිවල මධ්‍ය මහා විද්‍යාලය, බප/ගම්/ යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ ඇඹරුව මහා විද්‍යාලය ඇතුළු පාසල් රැසක දරු දැරියෝ හා ගුරුවර ගුරුවරියෝ රැසක් ඊට සහභාගි වූහ. එම වැඩසටහනට ගම්පහ රත්නාවලී විද්‍යාලයේ විදුහල්පතිනී එම්.ජී.ආර්. වසන්තා කුමාරි, ස්වාධීන රූපවාහිනී සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් එච්. එස්.කේ.ජේ. බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිශාත් හඳුන්පතිරණ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීහු රැසක් ද මෙයට සහභාගී වූහ.
එම වැඩසටහනේ එක් අංගයක් වන “ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඇමතුමක්” විදුලි බලය පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධක්‍ෂක ඉංජිනේරුන් වන ගයාත්‍රී ජයපාල සහ ඉංජිනේරු රැවිනි කාරුණාරත්න යන මහත්මීන් විසින් සිදුකරන ලදී.
එම දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණ සිටි ගම්පහ කලාපයේ පාසල් දරු දැරියන්ගෙන් විදුලි බලය සංරක්ෂණය, ආරක්ෂාව හා ඉන් ප්‍රයෝජන පිළිබඳ කරුණු වීමසීමක්ද දේශකයන් විසින් සිදුකළේය.
එහිදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ පූජාත්මි ගමගේ ශිෂ්‍යාව විදුලි සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළාය.
“ඇත්තට ම විදුලි බලය නොමැතිව අපට ජීවත් වීමට පවා නොහැකි තරම්. ඒකට හේතුව ඒ තරමට ම විදුලි බලය අපේ ජීවිතවලට සමීප වෙලා. ඒත් වර්තමානය බලනවිට විදුලි බලය නිස්කාරණේ අපතේ දැමීම සිදුවෙනවා. අපේ රට දියුණු වෙන්නනම් අපි විදුලි බලය සංරක්ෂණය කළ යුතුයි. ඇත්තට ම සෝලා පවර් ඒකට කදිම පිළිතුරක්. මොකද අපිට විදුලිය ඉතිරි කරන්න ස්වාභාවික හිරු එළිය භාවිත කරන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා.”
“හදිසි විදුලි අනතුරක දී අපි මුලින්ම කරන්න ඕනා නිවසේ හරි අදාළ ස්ථානයේ තිබෙන මේන් ස්විච් එක ක්‍රියා විරහිත කරන එක. ඊට පස්සේ තමයි අපි විදුලි සර වැදුන කෙනා ළඟට සමීප වෙන්න ඕනා. අද අපි මේ වගේ වැඩසටහනකට සහභාගී වෙලා විදුලිය පිළිබඳව නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.” ගගුලි සංසලා ශිෂ්‍යාව තමා ලැබූ දැනුම පිළිබඳ විස්තර කළේ එසේය.
කවීෂා හංසනී ශිෂ්‍යාව කියන්නේ විදුලි බලය ඇගේ අධ්‍යාපනයට මහත් රුකුලක් බවය.
“ඇත්තට ම විදුලිය නැතිව අපිට පාඩම් කරන්න වත් හරියට බෑ. මොකද දවල්ට පන්ති ගිහිල්ලා හැමදාම රාත්‍රියට තමයි පොත් පාඩම් කරන්නේ. ඒත් අප අද දැන ගත්තා අපට එහෙම විදුලි බලය ලබාදෙන්න අපේ රටේ විදුලි බල මණ්ඩලය කොයි තරම් කැපවීමක් කරනවද කියලා.
“ විදුලිය ඉතිරි කරන්නනම් වොට් අගය අඩු බල්බ පාවිච්චි කිරීම හොඳ විසඳුමක්. අනිත් කාරණය තමයි සූත්‍රිකා සහිත විදුලි බල්බ භාවිතයෙන් වළකින එක ප්‍රශ්නයෙන් අපට මිදෙන්න පුළුවන්. ඒ වගේම නිවසේ තිබෙන වැඩිපුර බල්බ නිකරුණේ නොදල්වා සිටීම, නිවසේ සියලු දෙනාගේම රෙදි එකවර මැදීම කියන හැම කටයුත්තක්ම නිවසකට කරන ඉතිරියක්.” සමාධි හෙට්ටිආරච්චි ශිෂ්‍යාව විදුලිය ඉතිරි කරන හැටි කියන්නේ එලෙසය.
නවිත්මා සමුදි ශිෂ්‍යයාව විදුලියේ ඇති ප්‍රයෝජන කියන්නේ මෙලෙසය.
“විදුලිය දැන් මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වෙලා ඉවරයි. දිනෙන් දින දියුණු වන තාක්ෂණය, විද්‍යාව කියන කරුණුවලට දියුණුව අත්‍යවශ්‍යයි. අන්තර්ජාලය නිසා දැන් මුළු විශ්වයම එකම ගම්මානයක්. ඒ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ විදුලි බලයයි. ඒ නිසා විදුලි බලය නැති ලොවක් ගැන අපට හිතන්න නොහැකි තරම්.”
සෙනුරි කරන්දෙණිය ශිෂ්‍යාව කියන්නේ ද විදුලි බලය පාසල් ළමුන්ට ඉතා ප්‍රයෝජනවත් බවය. ඇය කියා සිටින්නේ පසුගිය කාලය තුළ ඔන්ලයින් අධ්‍යාපනයට ද මනා පිටිබලයක් වූයේ විදුලි බලය බවය. ඇයගේ කතාවේ හරය වූයේ ද රටේ සම්පතක් වන විදුලි බලය මතු පරපුරට
රැකීම රටේ පුරවැසියන්ගේ යුතුකමක් බවය.
රමින්ද මාවතගේ
ඡායාරූප: ජූඩ් ඩෙන්සිල් පතිරාජ