ලෝක රූ රැජන අවසන් 24 දෙනාගේ දක්‍ෂතා අද උරගා බලයි
ඉන්දියාවේ පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජන උළෙලේ අවසන් තරගකරුවන් 24 දෙනා සහභාගි වන දක්ෂතා තරගය අද (23දා) පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර සහභාගි වීම මෙරටට ආඩම්බරයකි.
ඇය මූලික වටයේදී ඇගේ කතාව ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව උපුටා දක්වමින් ආරම්භ කිරීම මෙරට වැසියන්ගේ බලවත් ප්‍රශංසාවට ලක්ව තිබේ. ඇය සිය කතාව හරහා අපේ සංස්කෘතිය, අපේ වටිනාකම් ලෝකයට ගෙන හැර දැක්වීම සැබවින්ම අගය කළ යුතුය.
අවසන් තරගකරුවන් තෝරා ගනු ලැබුවේ තරගකරුවන් 108 දෙනා නවාතැන් ගෙන සිටින හෝටලයේ පෞද්ගලිකව පවත්වන ලද තරගකාරී වටයකින් පසුවය. ටැලන්ට් තරගය නිර්මාණශීලිත්වය, සංස්කෘතිය සහ පෞද්ගලික ප්‍රකාශනය ගැන තේරීමක් වන අතර, සහභාගිවන්නෝ සම්භාව්‍ය සංගීතය සහ සමකාලීන නර්තනයේ සිට සාම්ප්‍රදායික කලා ආකෘතීන් සහ ගායන විශිෂ්ටත්වය දක්වා විවිධ රංගනයන් ප්‍රදර්ශනය කරති.
“මෙම රූප රාජිනියන් විසින් ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා ඔවුන්ගේ පෞද්ගලිකත්වය සහ කැපවීම පිළිබඳ සාක්ෂියක් පමණක් නොව, ඔවුන් නියෝජනය කරන නිර්මාණශීලීත්වය සහ සංස්කෘතික පොහොසත්කම පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් වේ” යනුවෙන් ලෝක රූ රැජන සංවිධානයේ සභාපතිනි සහ ප්‍රධාන විධායක නිලධාරි ජූලියා මෝර්ලි පැවසුවාය.
අවසන් තරගකරුවන් 24 දෙනා සඳහා ඇමරිකාව, පෝලන්තය, නයිජීරියාව, පිලිපීනය, මෝල්ටාව, ඉතාලිය, ඉන්දුනීසියාව, ටි්‍රනිඩෑඩ් සහ ටොබැගෝ, එස්තෝනියාව, ජර්මනිය, බ්‍රසීලය, කේමන් දූපත්, නෙදර්ලන්තය, වේල්සය, චෙක් ජනරජය, ජැමෙයිකාව, ආර්ජන්ටිනාව, අයර්ලන්තය, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉතියෝපියාව, කැමරූන් සහ කෙන්යාව යන රටවලින් තරගකරුවෝ ඇතුළත් වෙති.
ගෝලීය ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම අවසන් තරගකරුවන් අද හයිද්‍රාබාද්හිදී නැවතත් රංගනයන් ඉදිරිපත් කරනු ඇත. දක්ෂතා තරගයේ ජයග්‍රාහකයාට ඔවුන්ගේ මහාද්වීපික කලාපයේ ඉහළම 10 දෙනා අතරට සෘජුවම ඇතුළත් වීමට හැකි වෙයි. එය ලෝක රූ රැජන කිරුළ සඳහා විශේෂ සුදුසුකමකි.
චතුර පමුණුව