දකුණු අප්‍රිකාවෙන් සාර්ථක පිළිතුරක්

280

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින නොනිල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවෙනි දින වූ ඊයේ (20 වැනිදා ) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියේය.

ඒ වන විට ඔවුහු ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 290 ට වඩා ලකුණු 3ක් පසුපසින් සිටිය ද තවත් කඩුලු 4ක් අතැතිව සිටියහ.

දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කරන ලද ටි්‍රස්ටන් ස්ටබ්ස් ඊයේ දිනයේ දැවී ගිය අවසන් දකුණු අප්‍රිකා පිතිකරුවා වූ අතර ඔහු ලකුණු 117 ක් ලබා ගත්තේය.

තරගාවලියේ මෙතෙක් වාර්තා වූ පළමු සහ එකම ශතකය වාර්තා කිරීමට ස්ටබ්ස් සමත් වූ අතර ඔහු දැවී යනවිට පන්දු 181 කට මුහුණ දී හතරේ පහර 15 ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ස්ටබ්ස් අංක 3 පිතිකරු ලෙස තරගයේ දෙවෙනි පන්දුවේදීම පිටියට පැමිණියේය. දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක සහ ආරම්භක පිතිකරු වන ටෝනි ඩි ශෝර්සි පළමු පන්දුවේදීම විශ්ව ප්‍රනාන්දු හමුවේ ලකුණු නොලබා දැවී යෑමෙන් පසු ස්ටබස් පිටියට පැමිණි අතර අනෙක් ආරම්භක පිතිකරු වූ මැතිව් බ්‍රිට්ක්ස් ද ලකුණු 10 කට පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූයේය.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 6 න් 3 ක්ම දවා ගත් විශ්ව ස්ටබ්ස් ගේ කඩුල්ල ද අවසානයේ දවා ගත් අතර එම කඩුලු 3 ම ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරුවන් හසු කර දවා ගැනීම විශේෂ සිද්ධියක් විය.

විශ්ව ඊයේ පන්දු වාර 13.2 ක් ක්‍රියාත්මක කර ලකුණු 45 කට එම කඩුලු 3 දවා ගෙන තිබුණි. ස්ටබ්ස් ට අනගි සහායක් ලබා දුන් කීගන් පීටර්සන් අර්ධ ශතකයක් ලබා ගත් අතර ස්ටබ්ස් සහ පීටර්සන් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණි.

අනතුරුව ස්ටබස් සහ ශුබායිර් හම්ශා අතර ලකුණු 86 ක් වාර්තා වූයේය. හම්ශා සහ කීගන් ගේ කඩුලු දෙක දවා ගැනීමට ලක්ෂිත මානසිංහ සමත් වූ අතර දකුණු අප්‍රිකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස සෙනුරන් මුතුසාමි ගේ කඩුල්ල ද ලබා ගැනීමට මානසිංහ සමත් වූයේය.

පෙරේදා දිනයට තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 257 ක් රැස් කර ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 23 ක් ඊයේ උදෑසන එකතු කිරීමට රමේෂ් මෙන්ඩිස් සහ අවසන් පෙළ පිතිකරුවෝ සමත් වූහ. එහිදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 62 ක් ලබා ගත් අතර මිලාන් රත්නායක ලකුණු 35 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු සම්බන්ධතාවය ඔවුන් දෙදෙනා අතර 8 වෙනි කඩුල්ල සඳහා ගොඩනැඟුණු අතර එය ලකුණු 65 ක් විය. සෙනුරන් මුතුසාමි ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 101 කට කඩුලු 6 ක් දවා ගත්තේය. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment