ආරම්භයේදී තම අත රැඳී මුදල් යෙදවමින් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන වේදිකාව ගොඩනැගුණත් වර්තමානය වන විට බොහෝ ප්‍රකාශන ආයතන ඒ සඳහා දායකත්වය දක්වන්නට මග බලා සිටින්නේය. මුදල් දී පොත්, සම්මාන මිලදී ගත් වකවානු පසු කරමින් අද වන විට ප්‍රකාශන ආයතන ඒ වෙනුවෙන් සිය ග්‍රන්ථ පිටපත් සහ සම්මාන සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ඉමහත් වූ ලැදියාවකින්ය.

මෙවර පැවැත්වෙන පහළොස්වන විද්‍යෝදය සම්මාන උළෙලේ රන්, රිදී සහ ලෝකඩ සන්නාම දරන සරසවි ප්‍රකාශන ආයතනය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනය හා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරීන් මේ අගනා අවස්ථාව ගැන කතා කරන්නේ මහත් උනන්දුවකිනි.

තවත් අය විද්‍යෝදය සම්මාන උළෙලින් ගුරුහරුකම් ලබනවා ඇති

විද්‍යෝදය සම්මාන උළෙලේ රන් සන්නාම අනුග්‍රාහකත්වය – සරසවි ප්‍රකාශන ආයතනයේ
විධායක අධ්‍යක්ෂක එච්.ඩී. ප්‍රේමසිරි මහතා

‘අපට සතුටක්’ - සරසවි, ගොඩගේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
‘අපට සතුටක්’ - සරසවි, ගොඩගේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල කියන්නේ රටේ වැදගත් සාහිත්‍ය සම්මාන උළෙලක්. එමෙන්ම විශ්වවිද්‍යාලයකින් සංවිධානය කරන එකම සම්මාන උළෙල. මෙය සංවිධානය කරන්නේ උගත් මහාචාර්යවරු, ආචාර්යවරු සහ සිසුන්. ඔවුන් අනිවාර්යෙන්ම තෝරාගනු ලබන්නේ විශිෂ්ට ගණයේ සාර්ථක නිර්මාණයන්. ඒ නිසයි අපි ඒ සඳහා දායකත්වය ලබා දෙන්නේ. මෙය ස්වාධීනයි. එමෙන්ම බැරෑරුම් කටයුත්තක්. නමුත් ඔවුන් ස්වාධීනව විනිශ්චය ලබා දෙනවා. අපේ පොත් සඳහත් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලැබී තිබෙනවා. අප ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම කර්තෘවරුන් ඒ පිළිබඳව සතුටු වෙනවා.

සාහිත්‍ය මාසයේ පැවැත්වෙන පළමු වන සාහිත්‍ය සම්මාන උළෙල විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල. බොහෝ විට අනිත් අයත් මේකෙන් ගුරුහරුකම් ලබනවා ඇති කියලා මම විශ්වාස කරනවා.

මෙවැනි සම්මාන උළෙලකට පොත්පත් නොමිලේ ලබාදෙන්නට ලැබීමම මට ලොකු දෙයක් කියලා හිතෙනවා. මොකද ඔවුන්ට විශ්වවිද්‍යාලයෙන් වෙන් කරන මුදලින් මෙතරම් පොත් මිලදී ගන්නත් බැහැ. ඒ නිසා අපි සතුටින් පොත් ලබා දෙනවා.

අපි මුලදී ටික ටික තමයි උදව් කළේ. නමුත් මෙවර අපි සම්පූර්ණම අපේ පොත් ඔවුන්ට ලබා දුන්නා. මම හිතන්නේ අපිට රන් සන්නාමය ලබා ගැනීමට හැකි වුණෙත් ඒ නිසා. අනෙකුත් ප්‍රකාශන ආයතනත් මේ සඳහා දායක වෙනවා.

අනෙක් වැදගත්ම කාරණය මේ පොත් සම්මාන උළෙලින් පස්සේ විශ්වවිද්‍යාල පුස්තකාලයට භාර දෙනවා. එයත්, එක්තරා ආකාරයක සතුටට කාරණයක්.

විද්‍යෝදය විශිෂ්ට මෙහෙවරක්

විද්‍යෝදය සම්මාන උළෙලේ රිදී සන්නාම අනුග්‍රාහකත්වය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයේ.

විධායක අධ්‍යක්ෂිකා කමනි ගොඩගේ මහත්මිය

‘අපට සතුටක්’ - සරසවි, ගොඩගේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
‘අපට සතුටක්’ - සරසවි, ගොඩගේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල යනු රටේ පිළිගත්, වැදගත් ඒ වගේම සාර්ථක සම්මාන උළෙලක්. විශ්වවිද්‍යාලයක් වගේ උගත්, වැදගත් පිරිසක් ඉන්න තැනක් මුල්වෙලා සංවිධානය කරන එකම සම්මාන උළෙලත් මේක. ඒ වගේ වැදගත්, උගත් පිරිසක් දෙන තීරණය නිවැරදි තීරණයක් කියන විශ්වාසය අප තුළ තිබෙනවා. ඒ නිසයි අපි මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්න ඉදිරිපත් වෙන්නේ.

විද්‍යෝදය සම්මාන උළෙල විශිෂ්ටතම සම්මාන උළෙලක්. එහිදී ග්‍රන්ථ තෝරාගන්නා විනිශ්ච මණ්ඩලයත් හොඳම පිරිසක්. අවසාන විනිශ්චය තනි පුද්ගලයෙක් විසින් ලබා දෙන එකම සාහිත්‍ය උළෙලත් මේක. බලලා, කියවලා, තෝරලා ඒගොල්ලෝ අවසානයේ සාර්ථක තීරණයකට එළඹෙනවා. ඒ වගේම සුදුස්සාට සුදුසු ඇගයීම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලෙන් ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා. එහෙම බැලුවම විද්‍යෝදය සම්මාන උළෙල ස්වාධීනයි.

එම අවස්ථාව ලැබීම ගැන ගැන අප බොහෝ සෙයින් සතුටට පත්වෙනවා. ප්‍රකාශන ආයතන ගොඩක් තිබෙනවා. ඒ අතරින් රිදී සන්නාමය සඳහා හෝ අපිට අනුග්‍රාහකත්වය ලබාදෙන්න අවස්ථාව ලැබී තිබෙනවා.

විනිවිදභාවය උපරිම සම්මාන උළෙලක්…

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ ලෝකඩ සන්නාමය අනුග්‍රාහකත්වය- නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ

කළමනාකරු නාලක අරුණ බණ්ඩාර මහතා

‘අපට සතුටක්’ - සරසවි, ගොඩගේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
‘අපට සතුටක්’ - සරසවි, ගොඩගේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

අපි දකින විදියට විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල කියන්නේ අපේ රටේ සාහිත්‍යයට පුනරුදයක් ඇති කරපු සම්මාන උළෙලක්.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කියන්නෙත් මෑත කාලීනව පාඨකයා අතරට බෞද්ධ පොතපත අරගෙන යමින් බෞද්ධ සාහිත්‍යයේ පුනරුදයක් ඇති කරපු ප්‍රකාශන ආයතනයක්.

ඉතින් මේ වගේ වටිනා සම්මාන උළෙලක් ඉදිරි අනාගතයට ගෙනියන්න අපි අනිවාර්යෙන්ම උදව් කළ යුතුයි නේ. ඒ නිසයි අප මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වන තීරණයට ආවේ.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල කියන්නේ නිර්මාණකරුවන්ට දිරිගැන්වීමක් කරන තැනක් කියලා කිව්වොත් නිවැරදියි. ඔවුන් තෝරගන්නේ සහ අවසාන නිර්දේශයට ගෙන එන්නේ අර්ථාන්විත සහ ගුණාත්මකභාවයෙන් යුතු පොත්. ඒකත් එක්තරා හේතුවක් අපි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට සහයෝගය ලබා දෙන්න.

අනිත් දේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල විනිවිද භාවය ඉහළින්ම තිබෙන සම්මාන උළෙලක්. අපි ඒ සඳහා ඉදිරිපත් කරන කිසිම කොපියක් අපතේ යන්නේ නැහැ. මේ සඳහා ඉදිරිපත් කරන සියලුම පිටපත් අවසානයේ යන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට. ඒ වගේම මේ පොත කියෙව්වේ කවුද?, තිබුණේ කා ළඟද?, තිබුණෙ කොහෙද?, ඇත්තටම මේ පොත කියෙව්වද? මෙන්න මේ දේවල් පවා ඔවුන් අවසානයේ විනිවිද භාවයකින් යුතුව ඉදිරිපත් කරනවා. මෙවර අපිට අවස්ථාව හිමිවුණේ ලෝකඩ සන්නාමය සඳහා. ඉදිරියටත් අප මේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සහයෝගය ලබා දෙනවා.

● චින්තනී වික්‍රමනායක


advertistmentadvertistment