විදෙස් රටකට යෑමෙන් රාජ්‍ය නායකයන් හමු වීමෙන් ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ

98

– ඉන්දීය සංචාරය නිම කර ආ අනුර කටුනායකදී කියයි

පිටරටකට යෑම සහ රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම සිය දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (10දා) කටුනායක ගුවන්තොටුපළේදී පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ සිය ඉන්දීය සංචාරය නිමා කර කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම තමන් නොවන බවද කීය.

මෙරට ආර්ථිකය කඩා වැටීම, දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා විසින් ජන්ද කල් දමා තිබීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයන් ද දන්නා බවත්, කවර මැතිවරණ කල් දැමීමට උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත් වන බවත් හෙතෙම පැවසීය. ඉන්දීය රජය සමග එකඟතා පොරොන්දු රජයන් අතර සිදු වන බවත් තමන් දේශපාලන ව්‍යාපාරයක් බැවින් අවබෝධ කර ගැනීම වර්ධනය කර ගත් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අනුර කුමාර මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිස 10 වැනිදා පස්වරු 03.10 ට ඉන්දියාවේ මුම්බායි සිට ‘විස්තාරා’ ගුවන් සේවයේ යූ. කේ.- 131 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment