කලාපීය සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සමඟ අවබෝධය ඉතා වැදගත්

48

ජාජබ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
රටට ජනතාවට හානි වන තීරණයක් ගන්නේ නැහැ

කලාපීය සහයෝගීතාවයේ වර්ධනය වෙනුවෙන් ඉන්දියාව සමඟ අවබෝධය ඉතා වැදගත් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

හේරත් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කළේය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

ඉන්දියාවෙන් කළ ආරාධනයක් අනුව ජාතික ජන බලවේගයේ අප යෙදුණු සංචාරය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ඉන්දියානු ආණ්ඩුව මේ ආරාධනය කළේ හදිසියේ නොවෙයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිල වශයෙන් මේ ආරාධනය කළත්, අපේ දේශපාලන කටයුතු අතර කාලසටහනක් හදාගන්න යම් කාලයක් ගත වුණා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් අප ඉන්දියානු ආණ්ඩුවට පෙබරවාරි මාසයේ මුල ගමනට සූදානම් බව දැන්වූවා. අපට ලැබුණේ දින දහයක ආරාධනයක් වුවත්, අපේ පැත්තෙන් දින පහකට සීමා කිරීමට සිදුවී ඇති බව දැන්වූවා. ඒ නිසා මේ ගමන කිසිසේත්ම හදිසියේ යොදා ගත් එකක් නොවෙයි. ඉන්දියාව කියන්නේ මේ කලාපයේ අපේ ආසන්නතම රට. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කලාපීය සහයෝගීතාව ගොඩනඟා ගැනීමේදී මේ ගමන අපට ඉතාමත්ම වැදගත් වෙනවා. රටවල් දෙක අතර සබඳතා ගොඩනඟා ගැනීමත් අපට ඉතාමත්ම වැදගත්.

ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවත් සමඟ විශාල දේශපාලන ජයග්‍රහණ ලබාගනිමින් සිටින අවස්ථාවක කලාපයේ අසල්වැසි ඉන්දියා රාජ්‍යයත් එක්ක කිට්ටු මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගැනීම රටේ ජනතාවගේ යහපත සඳහා වැදගත් වෙනවා. මේ ගමනේදී විශේෂ හමුවීම් කිහිපයක්ම සිදු වුණා. පළමුවෙන්ම අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ජයශංකර් මහත්මා අතර පස්වැනිදා උදේ හමුවීමක් පැවැත්වූවා. එදිනම සවස ඉන්දියානු ජාතික ආරක්‍ෂක උපදේශක, අජිත් දොවාල් මහතා සමඟ සාකච්ඡා පවත්වා රාත්‍රියේදී ඉන්දියානු විදේශ ලේකම් විනයි මෝහන් මහත්මා සමඟ නිල සාකච්ඡාවක් සහ සුහද සාකච්ඡාවක් පැවැත්වූවා.

ඉන් අනතුරුව ගුජරාට් ප්‍රාන්ත සංචාරයේදී එහි මහ ඇමැති භූපෙන්ද්‍රභායි පටේල් මහතාත්, ඒ වාගේම එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය බල්රාජ් සිං රාජ්පුත් මහතාත් ප්‍රාන්ත විධාන සභාවේදී මුණගැසී දෙපාර්ශ්වය සාකච්ඡා කළා. පසුව කේරළ ප්‍රාන්තයේ කර්මාන්ත ඇමැති රාජීව් මහතා හමුවුණා. එහි ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂය බලය හොබවනවා. ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් සීතාරාම් යෙචුරි මහතාත් හමුවී සාකච්ඡා කළා. මේ සෑම මුණගැසීමකදීම දෙරට අතර අන්‍යනොන්‍ය සහයෝගීතාව ඇති කර ගැනීම, කලාපීය ආරක්‍ෂාව තහවුරු කර ගැනීමේදී රටක් විදියට අප කටයුතු කරන්නේ කොහොමද? ඉන්දියාව පැත්තෙන් කටයුතු කරන්නේ කොහොමද සහ දෙරට අතර සහයෝගීතාවෙන් ආර්ථික, සංස්කෘතික සබඳතාවන් ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම ගැන අදහස් හුවමාරු වුණා. ඉන්දියානු ප්‍රාන්තවල සංවර්ධනය පිළිබඳව නිරීක්‍ෂණය කිරීමේදී කර්මාන්ත කිහිපයක සහ තොරතුරු තාක්‍ෂණ සේවා ආයතන කිහිපයක නිරීක්‍ෂණයට එක් වූවා. ඉන්දියානු ටාටා සමාගම, අමූල් ආයතනයේ කර්මාන්ත නිරීක්‍ෂණයට සහභාගී වූ අතර තාක්‍ෂණික උද්‍යාන පිළිබඳව නිරීක්‍ෂණය කළා. අයි.ටී. තාක්‍ෂණයෙන් ඉන්දියාව ලබා තිබෙන දියුණුව පිළිබඳව අදාළ ආයතනවල නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

අපේ ඉන්දියානු සංචාරය පිළිබඳව ඕනෑම කෙනකුට ඔවුන් දකින ආකාරයෙන් අපේ ගමන පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා. නමුත්, දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප ලෝක භූ දේශපාලනය තේරුම් ගත් දේශපාලන ව්‍යාපාරයක් බව අවධාරණය කරනවා. එයට අනුව එක් එක් අය කියන කතා සලකන්නේ නැහැ. ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඒ ඉන්දියානු සංචාරය යොදා ගත්තා.

අපේ රටේ ස්වෛරීත්වය රැකගෙන, භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරමින්, අපි දේශපාලනය කරන්න ඕනෑ. ලෝක බල දේශපාලනයේ ගොදුරක් නොවී රට දිනවීමේ අපේ ස්ථාවරයේ ඉදිරියට යනවා. ඕනෑම රටක් එක්ක ආර්ථික, දේශපාලනික වශයෙන් ගනුදෙනු කරන්න අප පැකිළෙන්නේ නැහැ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් එක්ක, රුසියාව, චීනය ඇතුළු කඳවුරත් එක්ක වාගේම ඉන්දියාව, ජපානය සහ යුරෝපය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව වැනි ඕනෑම රටක් එක්ක අප රාජ්‍යතාන්ත්‍රික, දේශපාලන සම්බන්ධතා පවත්වනවා. අපේ පාලනයක් යටතේ විවෘතවම ලෝකයේ හැම රටකම රාජ්‍ය පාලනයට සාපේක්‍ෂව අපේ සබඳතා පවත්වනවා. ඒ සියල්ලම අප කරන්නේ රටේ සහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන්. ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන්. භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කර ගනිමින්, එයට කිසිදු ආකාරයකින් හානි වන තීරණයක් අප ඉතිහාසයේ අරගෙනත් නැහැ. අද ගන්නෙත් නැහැ. හෙට ගන්නෙත් නැහැ. ඒ සහතිකය අප මේ රටේ ජනතාවට දෙනවා.

මේ වන විට බොහෝ රාජ්‍ය ආයතන විකුණන්න ආණ්ඩුව කටයුතු කළත්, ඉන්දියාවට අප අවධාරණය කළේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කරන විකුණා දැමීම් අප අනුමත නොකරන බවයි. ඉන්දියාවේ අමූල් සමාගම සමඟ සාකච්ඡාවේදී ඔවුනුත් අපට පැහැදිලි කළේ ලංකාව සම්බන්ධයෙන් කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැති බවයි. තෝරා ගත් විදේශ සමාගම්වලට ආයතන විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රසම්පාදනයකින් තොර, ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට කැමැති ආයතනයක් තෝරාගෙන කැබිනට් පත්‍රිකා දැමීමේ වැරැදි ප්‍රතිපත්තියට අපි එකඟ නොවන බව පැහැදිලිව ඔවුන්ට පෙන්වා දුන්නා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment