ඉමියුනොගොලොබියුලින් වංචාවේ සැකකරුවන් පාපොච්චාරණයක් කරනවානම් එය ජාතික වගකීම ඉෂ්ඨ කිරීමක් – විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

103

ප්‍රශ්නගත ඉමියුනොගොලොබියුලින් වංචාවේ පරීක්‍ෂණ සාධාරණ ලෙස සිදුවන ආකාරය අනුව යුක්තිය ඉටුවීම මෙරට අනාගත දේශපාලන සිතියමද සලකුණු කරන බැවින් අදාළ පරීක්‍ෂණ කණ්ඩායම් කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී සිය පරීක්‍ෂණ මෙහෙය විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කර සිටී.

අදාළ වංචාව සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළිදරව් කර දින සියයකට ආසන්න කාලයක් ගතව තිබීමත්, අධිකරණය හමුවේ ක්‍රියාත්මක වන පරීක්‍ෂණ කෙරෙහි රටම දැඩි අවධානයෙන් පසුවීම කෙරෙහිත් පරීක්‍ෂණ කණ්ඩායම්ද අවධානය යොමු කළ යුතුව ඇතැයි එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (5 දා) පැවසීය.

මෙම ප්‍රශ්න සහගත අපරාධ සිද්ධියට සම්බන්ධ වෛද්‍ය සැපයුම් ඒකකය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද සැපයුම්කරුද මේ වනවිට අත්අඩංගුවේ පසුවන නමුත් මෙවන් බරපතළ අපරාධයක් ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නිර්දේශ පවා නොසලකමින් සිදුකිරීමට අත්අඩංගුවේ පසුවන නිලධාරීන්ගේ තනි මතයට සිදුකළ නොහැකි බවත් එය පිටුපස නියත වශයෙන්ම ඉහළ දේශපාලන අධිකාරියේ සහ තවත් ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය තිබිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන් දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අවශේෂ මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පාපොච්චාරණයක් සිදු කරන්නේ නම් එය ජාතික වගකීමක් ඉෂ්ඨ කිරීමක් වනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment