අප වසර 4ක් ඉදිරියට කාල තරණයක යෙදිලා

සංවාදයට විවෘතයි

මෙය කාල තරණය පිළිබඳ විද්‍යා ප්‍රබන්ධයක් හෝ ඒ පිළිබඳ ලිපියක් නොවේ. එය ඓතිහාසික කරුණු ගැන අවධානය යොමු කරන කල්හි ප්‍රායෝගිකව සත්‍යයක් යැයි පෙනෙන දෙයකි. තවත් පැත්තකින් නාමිකව හෝ අනාගතයට ගමන් කිරීමට ලැබෙන අවස්ථාවකි.

යම් යම් භාරදූර අවස්ථාවල පවා අප විසින් හදිසියේ දකිනු ලබන අතපසුවීම් නිවැරදි කිරීමට උත්සාහ කරනවාට වඩා ඒවා ඔහේ තිබෙන්නට හැරීම ඇඟට පතට බොහෝ ගුණදායක බව පෙනුණ අවස්ථා අප කවුරු කවුරුත් අත් දැක තිබේ. මන්ද යත් එවැනි දේ නිවැරදි කරන්නට යෑමේදී වැරැද්ද පෙන්නා දුන් තැනැත්තාගේ සිට සමස්ත සමාජය ම මහා අවුලක පැටලෙන්නට ඉඩ ඇති බැවිනි.

විශේෂයෙන් අද දවසේ අපගේ ජීවිතවලට සම්බන්ධ සියලු දේ අවසාන මිලි තත්ත්පරයට පරිගණකවලින් ගණන් සාදන තත්ත්වයක් යටතේ මේ අප දිවි ගෙවන්නේ කිතු වසින් 2025 නොව, 2029 විය යුතු යැයි මතයක් ඉදිරිපත් වුවහොත් සිදු වන්නේ කුමක්ද? අපගේ ඔළුගෙඩි තවදුරටත් ව්‍යාකූල කරමින් එය සමහරවිට 2031 හෝ 2034 ද විය හැකි යැයි මතයක් ඉදිරිපත් වුවහොත්, සිදු වන්නේ කුමන අවුලක්දැයි සිතා ගැනීමටවත් නොහැකි වන තරම්ය.

එහෙත් මෑත ඉතිහාසයේ ඇමරිකානු ජාතික පියතුමකු මෙන්ම සුප්‍රකට ලේඛකයකු ද වන ෆ්‍රැන්සිස් පී ලෙබුප් නමැති පූජකතුමකු විසින් මේ පිළිබඳව ගැටලුවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ අප සිටින වර්ෂය නම් කළ යුත්තේ මේ දැන් සිටින වසරට වඩා සිව් වසරක් ඉදිරියෙන් බවය.

එම අදහස් දැක්වීමට අනුව ආරම්භයේ දීම මේ වැරැද්ද කර ඇත්තේ ක්‍රි:ව: හයවන ශත වර්ෂයේ ජීවත් වූ උගතකු ලෙස ප්‍රසිද්ධ දියොනිසියස් එකිසීගුස් නමැති පුද්ගලයා විසිනි.

මේ අවුල ඇතිවීම සඳහා ඔහුට හේතු වී ඇත්තේ කරුණු සොයාගැනීම වර්තමානයේ අපට තරම් පහසුකම් ඔහුට නොවීමය. ඉතා පැහැදිලිව ම භක්තිමත් කතෝලිකයකු වූ හෙතෙම ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය යොදා ගනිමින් මෙම ගණන් ගැනීම සිදු කළේ ය. ඒ සඳහා අවංකම වෙහෙස මහන්සි වූ දියොනිසියස් රෝම, ග්‍රීක් සහ හීබෲ යන ඉතිහාසය සටහන්වලින් ද ඒ සඳහා කරුණු අධ්‍යයනයක යෙදුණේය. නමුත් මේ උත්සාහයේ දී ඔහුට වසර හතරක් අතහැරී තිබේ.

ඒ වැරැද්ද ඉතා ඉවසිලිවන්තව තේරුම් ගතයුත්තේ මේ ආකාරයෙනි. එනම් දැනට භාවිත වන දියෝනිසියස්ගේ ගණන් බැලීමට අනුව හෙරෝද් රජු මිය ගියේ ක්‍රිස්තු වර්ෂයට පෙර හත්වන අවුරුද්දේ බව ඓතිහාසික සටහන් අනුව බව අප විසින් පළමුව පිළිගත යුතුව තිබේ. එයින් පෙනී යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට වසර 4කට පෙර හෙරෝද් අධිරාජයා මියගිය බවය. ලෝක ඉතිහාස පොත අපට කියා දෙන්නේ ක්‍රි: පූ: 72 දී උපත ලද හෙරෝද් ක්‍රි: පූ: 37 සිට ක්‍රි: පූ: 4 දක්වා රජකම් කළ බවය. ලෝක ඉතිහාසය ලියූ රචකයා එම ගණන් බැලීම කර ඇත්තේ කිතු උපතේ සිටය. ක්‍රි:පූ: යැයි සඳහන් කර ඇත්තේ එහෙයිනි. ඔහු මියගොස් ඇත්තේ ක්‍රි:පූ: 4 වන අවුරුද්දේ මාර්තු හෝ අප්‍රේල් යන මාසවලින් එකකය.

එය එසේ වුවද අප කවුරුත් එනම්, ලෝකයේ වැඩි දෙනකු අසා ඇති පරිදි ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ හෙරෝද්ගේ මරණයට ඉතා කෙටි කාලයකට පෙරය.

අප දැන් සිටින්නේ 2025 නොව 2029…සමහරවිට 2031ද විය හැකිය

මේ කාලය සොයාගැනීමට හැකි වන්නේ ශුද්ධ වූ මතේව් සඳහන් කර තිබෙන පෙර දිගින් පැමිණී අනාගත වක්තෲන් තිදෙනා එම යේසුස් උප්පත්තිය විමසා බලා එම බිලිඳා හමු වූ දිනයේ සිටය. මේ තපසුන් තිදෙනාගේ සම්ප්‍රාප්තිය ගැනත් උන්වහන්සේ විසින් ප්‍රකාශිත අනාවැකි ගැනත් කල්පනා කළ හෙරෝද් විකල්ව ගිය මනසින් යුතුව බෙත්ලෙහම් දේශ සීමාව තුළ ජීවත්ව සිටි දෑඅවුරුදු සහ ඊට අඩු වයස්වල සිටි සියලු ම කුඩා පිරිමි දරුවන් ඝාතනය කරවනු ලැබීය. සිහිනයක් මගින් දැනුම් දෙන ලදුව ජේසු බිලිඳාණන් රැගත් මරියතුමිය සහ ඇයගේ සැමියා ඒ වනවිට බෙත්ලෙහෙමෙන් පලාගොස් සිටියහ.

අවම වශයෙන් ගත් කල හෙරෝද් අධිරාජ්‍යයා තමාගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි එම භීෂණය ඇති කරනු ලැබූ දෑඅවුරුද්ද සිය ජීවිතයේ අවසානයට ඉතාමත් කිට්ටු කාලයක් යැයි සැලකූ කල ඒ වනවිට ද කිතු උපතට දෑඅවුරුද්දක් සම්පූර්ණ වී ඇති බව පෙනේ.

මේ අනුව විමසා බලන කල්හි කිතු උපත සිදුව ඇත්තේ කිතුවස යැයි සඳහන් කරන වර්ෂයේ සිට හය වසරක් පමණ ඔබ්බෙහි යැයි අපට පැහැදිලිව පෙනී යයි.

නමුත් යේසු බිලිඳානන්ගේ ජීවිතය නැසීම සඳහා හෙරෝද් අධිරාජයා අවුරුදු දෙක දක්වා වූ පිරිමි දරුවන් මරන්නට අණ දෙනු ලබන්නේ, එම දිනය පිළිබඳ නිශ්චිතව දැන ගැනීමෙන් නොවන බව පෙනේ. ඔහු අනුමාන වශයෙන් සිතා දෙවසරක් ඇතළත උපන් සියලු පිරිමි දරුවන් ඝාතනයට අණ දෙන්නේ එහෙයිනි. කිතු උපත සිදුව ඇත්තේ කිතුවස යැයි සඳහන් කරන වර්ෂයේ සිට හය වසරක් ඔබ්බෙහි යැයි අපට බොහෝ දුරට අනුමාන කළ හැකි කරුණ වන්නේ මෙයයි. එබැවින් වර්තමානයේ අප ජීවත්වන කාලයේ සිට බලනවිට ද සියලු සැක සංකාවලින් තොරව, පෙනී යන්නේ හෙරෝද්ගේ මරණයට පෙරාතුව යේසු උපන් බවය. එහෙයින් ඉතා පැහැදිලිව ම කිතු වස සලකුණු කිරීමේදී ඇත්තෙන්ම දියොනියස්ට වසර 4 ක් නොව, 6 ක් පමණ මඟහැරී ගොස් ඇති බව පෙනේ. නමුත් සියලු සැක සංකාවලින් තොරව හෙරෝද් මියගිය වසර අප දන්නා බැවින් ඔහුට වසර හතරක් අනිවාර්යයෙන්ම මඟහැරී ඇති බව නම් පැහැදිලිය.

ඒ අනුව අප නිවැරදි කිරීමට කිසිවක් සිදු නොකළත් මේ ගෙවන්නේ 2025 නොව 2029 බවත් පිළිගත යුතුව ඇත. තව දුරටත් අනෙක් සැක සංකා ගැන ද සලකා බැලුවහොත් 2031 මෙන්ම 2034 ද විය හැකි බව පෙනේ.

මේ පිළිබඳව තවදුරටත් ඓතිහාසික සාක්ෂි විමසා බලන්නේ නම් හෙරෝද් අධිරාජයා ජුදාවේ බලය පතුරවාගෙන සිටි සමයේ සිරියාව රෝමයේ යටත් විජිතයක්ව තිබූ බව පෙනී යයි. ඒ අනුව එහි සිටි රෝම ආණ්ඩුකාරයාව සිටි කුයිරිනියස් විසින් ප්‍රථම වරට ජන සංගණනයක් කර තිබේ. ජේසුතුමන්ගේ දෙමව්පියන් ද පැමිණ ඇත්තේ මෙම ජන සංගණනයට මුහුණ දීමට යැයි පැවසේ.

ශුද්ධ වූ මතෙව්ගේ සඳහන් කිරීමට අනුව එරට හෙරෝද් අධිරාජයාගේ පාලනයට යටත්ව තිබෙන සමයේ දී ජේසු බිලිඳාණන් දැක ගැනීම පිණිස පෙර දිගින් ප්‍රඥාවන්තයන් තිදෙනකු පැමිණ ඇත. ඔවුහු “ජුදයන්ගේ රජුගේ උපත සිදුවූයේ කොතැනදැ?යි අසමින් ජෙරුසෙලමට පැමිණියෝය” යනුවෙන් ශූද්ධ වූ මතෙව්තුමාණන්ගේ ග්‍රන්ථයෙහි සඳහන්ව ඇත. මෙය ජේසුතුමන්ගේ උපත සිදුවන අවස්ථාවේ හෙරෝද් අධිරාජයා ජීවත්ව සිටි බවට ප්‍රබල සාක්ෂියකි.

ඒ හැරුණු කල ශුද්ධ වූ ලූකස්තුමන් ද සිය ග්‍රන්ථයන්හි (ශ්‍රී ලූක්ස් 2.1.2) සිරියාවේ ආණ්ඩුකාර කුයිරිනියස් විසින් සිදු කරවනු ලැබූ ජන සංගණනයට සහභාගී වීම පිණිස ජුසේතුමන් සහ මරියතුමිය බෙත්ලෙහෙම් නගරයට පැමිණි බව සඳහන් කරයි.

ජූදා වංශිතයන් විසින් තමන්ගේ ශ්‍රේෂ්ඨතම ඉතිහාසඥයා ලෙස සලකනු ලබන ජොසෙපස් විසින් සඳහන් කරන ආකාරයට හෙරෝද් අධිරාජ්‍යයාගේ අභාවය සිදුවන අවස්ථාවේ චන්ද්‍රග්‍රහණයක් ද සිදු වී තිබේ. ඒ කාලයේ ඔවුන් විසින් භාවිත කරන ලද රෝම වර්ෂවලට අනුව එය සිදුව ඇත්තේ වර්ෂ 750 දීය. මෙම රෝම වර්ෂ 750 යනු වත්මන් කිතු මසට පෙර 4 වැනි අවුරුද්ද ලෙස ගණනය කෙරෙයි. රෝමවරුන් එම දින දර්ශන ක්‍රමය සකස් කරගෙන තිබුණේ රෝම නගරය ගොඩනැඟීමට පෙර සහ පසුව වශයෙනි.

මේ පිළිබඳව වත්මන් ලෝකයේ කැලැන්ඩර් මාරු කිරීමට අපහසු වුවද, ඉතිහාසඥයන්ට තවදුරටත් මෙය පැහැදිලි කිරීමට අවස්ථාවක් මින් එළැඹෙනු ඇතැයි අපි සිතමු.

තිස්ස ප්‍රේමසිරි


advertistmentadvertistment