අවසන් සටනේ දී දඹුල්ල හමුවෙන්න ගාල්ල සහ නුවර අද සටනට

129

එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම පිණිස ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම සහ කැන්ඩි බී ලව් කණ්ඩායම අද (19 වැනිදා) රාත්‍රි 7:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතය.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට (20 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම මුණ ගැසෙනු ඇත.

නුවර කණ්ඩායම පෙරේදා රාත්‍රි යාපනය කණ්ඩායමත් සමඟ පැවැති තරගය ජයග්‍රහණය කර අද තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර දඹුල්ල අවුරා කණ්ඩායම හමුවේ ලැබූ පරාජය මත ගාල්ල කණ්ඩායමට අද තරගයට මුහුණ දීමට සිදු විය.

මෙවර තරගාවලියේ මූලික වටය යටතේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වීමට ගාල්ල කණ්ඩායම සමත් වූ අතර නුවර කණ්ඩායම එම සටහනේ තුන් වැනි තැනට පත් විය. නුවර සහ යාපනය කණ්ඩායම අතර පෙරේදා රාත්‍රියේ පැවති තරගයේදී යාපනය පිලේ සිව්වැනි ශූරතා සිහිනය බිඳ දැමීමට නුවර කණ්ඩායම සමත් වූයේය.

ලකුණු 09 ක් ඇතුළත යාපනය කණ්ඩායමේ කඩුලු 6 ක් බිඳ හෙළමින් වසර 4 ක ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට නුවර කණ්ඩායමේ නායක වනිඳු හසරංග එහිදී සමත් වූයේය.

ලකුණු 61 ක දැවැන්ත ජයක් නුවර කණ්ඩායමට එහිදී හිමිවූ අතර ලකුණු 189 ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 17 කුත් පන්දු 2 කදී ලකුණු 127 කට සීමා කිරීමට වනිඳු හසරංග ප්‍රමුඛ කැන්ඩි පන්දු යවන්නෝ සමත්වූහ.

මෙම දක්ෂතාවත් සමග මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ද වනිඳු සමත්වූවේය. ඔහු මේ දක්වා ඉනිම 9 කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 17 ක් වන අතර ඒ සමඟම ඔහුට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙනුවෙන් හිමිවන තැඹිළි වර්ණයෙන් යුතු කැප් තොප්පියද තරගාවසානයේ පිරිනැමිණ.

ප්‍රභලම පිතිකරුවන් රැසකගෙන් සමන්විත ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස චරිත් අසලංකත් (01) දෙවැනි කඩුල්ල ලෙස රහමනුල්ලා ගුර්බාසුත් (19) පිටියෙන් ඉවත්වන විට මුළු ලකුණු සංඛ්‍යාව 32 ක් ලෙස සටහන් විය. දුනිත් වෙල්ලාලගේගේ කඩුල්ල තම පළමු ගොදුර බවට පත් කර ගත් වනිඳු ක්‍රිස් ලින්වද පිටියෙන් ඉවත් කරන විට ජැෆ්නා ලකුණු පුවරුව කඩුලු 4 ට ලකුණු 49 ක් ලෙසින් සටහන් විය.

කඩුලු පිට කඩුලු දැවී ගියද ෂොයෙබ් මලික්ට එක් වූ ඩේවිඩ් මිලර් ජැෆ්නා පිල ජයග්‍රාහී මාවතට රැගෙන යෑමට උත්සාහ දරද්දී පන්දුව රැගෙන ඒ අතරට පැමිණි වනිඳු යළිත් මිලර්ව (26) සහ අසේල ගුණරත්න (00) පන්දු 3 ක් ඇතුළතදී දවා ගනිමින් ජයග්‍රහණය සඳහා වැඩි වාසි බී ලව් කැන්ඩි පිල වෙත ගෙන ආවේය.

නුවර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියද දෙවැනි කඩුල්ලට එක් වුණු දිනේෂ් චන්දිමාල් සහ මොහොමඩ් හැරිස් පවර් ප්ලේ පන්දු වාර 6 අවසානයේ ලකුණු 58 ක් රැස් කිරීමට සමත්වූහ. චන්දිමාල් දැවී යන විට මොහොමඩ් හැරිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 68 ක් රැස් කර තිබිණ. මෙම සම්බන්ධතාවයෙන් ලකුණු 41 ක්ම චන්දිමාල්ගේ පිත්තෙන් වාර්තා වුණු ලකුණු විය. වේගවත් ඉනිමක් දියත් කළ චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 41 ක් ලබා ගත්තේය.

මෙම සුවිශේෂී සම්බන්ධතාව ප්‍රධාන කොට බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තේය.

පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාරගේ නම ඉදිරියෙන් කඩුලු 4 ක් ලියැවුණිද ඔහුගේ පන්දු වාර 4 දී ලකුණු 40 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ. ඔහු හැරුණු කොට මෙවර තරගාවලිය සඳහා වැඩිම ලංසුව හිමි පන්දු යවන්නා වූ ඩිල්ෂාන් මදුශංකගෙන්ද බී ලව් කැන්ඩි පිතිකරුවෝ ලකුණු 43 ක් උදුරා ගත්තේ එකම කඩුල්ලක් හෝ ඔහු හමුවේ ලබා නොදෙමිනි. පන්දු යවන්නන් අතරින් දුනිත් වෙල්ලාලගේ පමණක් තම පන්දු වාර 4 ලකුණු 25 කදී නවතා ගත්තේය.

වැඩිම ලකුණු ලාභියා වුණු හැරිස් අසේල ගුණරත්න විසින් යවන ලද 14 වැනි පන්දු වාරයේදී ලකුණු 18 ක් උදුරා ගත්තේ 0-6-4-2-0-6 වශයෙන් පහර එල්ල කරමිනි. 18 වැනි පන්දු වාරයේදී හැරිස් දැවී යන විට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 49 කදී ලකුණු 79 ක් ලබා සිටියේය.

තරගයේ වීරයා – වනිඳු හසරංග

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment