2025 වසරේ දෙවන මාසය වන පෙබරවාරියත් ඉතා වේගයෙන් ගෙවී ගියේය. දවසින් දවස අලුත් වන අලුත් අලුත් කතා නිසා කාලය ගෙවී යන වේගය නොදැනේ. වෙනදාට වඩා ඒ තරමටම දැන් අපේ සමාජයේ අලුත් අලුත් කතා බොහෝය… විශේෂත්වය ඒ අතරින් බොහෝ කතා දේශපාලනය හා සම්බන්ධ වීමය.

ජනාධිපති අනුර කුමාර දිසානායකට පසුගිය පෙබරවාරි මාසයම අධික වැඩ සහිත කාර්යබහුල සති කිහිපයක් ලෙස ගෙවී ගියේ දිගින් දිගටම අයවැය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ නිසාය. මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මුළුමහත් රටම අවධානයෙන් බලා සිටින නිසා මෙවර අයවැය ඉතාමත්ම තීරණාත්මක එකක් විය. එහෙයින් ජනාධිපති අනුර කුමාර දිසානායකට තිබූ අභියෝගය සුළුපටු නොවේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට තිබූ ලොකුම අභියෝගය වූයේ විපක්ෂයෙන් හා අනෙකුත් සමාජ බලවේගවලින් එල්ල වන විවේචනවලට මුහුණ දීමයි. අයවැය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සුළුපටු නොවේ. මෙවර අයවැය සංවර්ධනාත්මක අයවැයක් නොවේ යන විවේචනය එකකි. රටේ මෙතෙක් සිදුවී ඇති මහජන මුදල් අවභාවිතාව නතර කිරීම, මහජන මුදල් නාස්තිය නතර කිරීම, රටේ හා ජනතාවගේ මෙන්ම ආණ්ඩුවේ වියදම් අවම කිරීමට කොතරම් යෝජනා ගෙන ආවත් එමගින් රට බලාපොරොත්තු වන ආර්ථික දියුණුවට ඇති උත්තේජනය කවරේදැයි විපක්ෂය අසයි. වියදම් කපා හැරීමෙන් සිදුවන්නේ ආර්ථිකය කුඩා කිරීම පමණි. රට දියුණු කළ හැක්කේ රටේ වියදම් කපා හැරීමෙන් නොව, රටට මුදල් ඉපයීමෙන් බව විපක්ෂය පෙන්වාදෙයි. රටේ දේශීය හා විදේශීය ආදායම් වැඩි කිරීමට කවර උපාය මාර්ග මෙවර අයවැයේ ඇත්තේ දැයි ඔවුන් නඟන පැනයට පිළිතුරු දීම ආණ්ඩු පක්ෂයේ බොහෝ නායකයින්ට උගහටය.

දළදා ප්‍රදර්ශනයට ජනපති ඉල්ලීමක්

මෙබඳු ප්‍රශ්න අයවැය විවාද ලෙස පාර්ලිමේන්තුවේ සාකච්ඡා කෙරෙමින් තිබෙන අතරේ ජනපතිවරයා පසුගිය සති අන්තයේ දළදා වදින්නට මහනුවර බලා පිටත්ව ගියේය.

දළදා මාලිගාවට ගොඩ වෙන්නටත් පෙර ජනාධිපතිවරයා හමුවූ මාධ්‍යවේදීන් පිරිසක් ඔහුගෙන් විවිධ ප්‍රශ්න අසන්නට වූහ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව ගැන විමසා සිටියේ ඒ වන විට ගනේමුල්ල සංජීව පුද්ගලයා මහ දවල් අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ මරා දමා තිබූ පසුබිමකය.

“හරි… මං ඔයගොල්ලන්ට උත්තර දෙන්නම්. හැබැයි මම ආවේ දළදා මාලිගාවට. ඒ වැඩ කරගෙන එළියට ආවට පස්සේ මං ඔයාලට උත්තර දෙනවා…”

එසේ කියා දළදා වදින්නට ගිය ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයාට රිසි ලෙස දළදා වඳින්නට ඉඩ අවකාශ ලැබිණ.

ඉන්පසුව ජනාධිපතිවරයා මල්වතු විහාරයට ගියේය. මල්වතු මහනායක හිමියන් හමුවී වර්තමානයේ උද්ගතව තිබෙන තත්ත්වය හා රජයේ වැඩපිළිවෙළ ගැන උන්වහන්සේ දැනුවත් කළේය. උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා මල්වතු අනුනායක හිමියන් ද හමු වී ජනාධිපතිවරයා දෙවනුව අස්ගිරියට ගියේය. අස්ගිරි මහනාහිමියන් එම අවස්ථාවේ අස්ගිරි විහාර කාරක සංඝ සභාව ද රැස්කර තිබුණෙන් ජනාධිපතිවරයා මහ නායක හිමියන් හමුවී එම කාරක සභාව සමග ද රට හමුවේ පවතින අභියෝග ගැන සාකච්ඡා කළේය. ජනාධිපතිවරයා විශේෂ අදහසක් ද ඉදිරිපත් කළේය. ඒ වනාහි දිගු කලකින් දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර නැති බැවින් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කරනු ලැබූ ඉල්ලීමකි.

ජනාධිපතිවරයා මාධ්‍ය හමුවූයේ එම සාකච්ඡා සියල්ල අවසන් වූ පසුවයි. එබැවින් ජනාධිපතිවරයා ප්‍රවෘත්තියක් ලෙස ඔවුන් හමුවේ තැබුවේ නැවත දළදා ප්‍රදර්ශනයක් සඳහා තමන් මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. රටේ ජාතික ආරක්ෂාව ගැන ඇසූ පළමු ප්‍රශ්නයට ජනාධිපතිවරයා සුපුරුදු උත්තර දුන්නේය. එනම් කවර සිද්ධියක් ඇති වුවත් ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් නොවන බවයි. ජාතික ආරක්ෂාව සියයට සීයක් තහවුරු කිරීම තම රජයේ වගකීමක් බවයි.

එම සංචාරය නිමවා කොළඹ පැමිණි ජනාධිපතිවරයා ඉන් පසුව දිගින් දිගටම විවිධ හමුවීම්වලට සහභාගි වූයේය. රටේ ඇති වී තිබෙන ආරක්ෂක අලකලංචි ගැන ආරක්ෂක ප්‍රධානීන් සමග වෙන වෙනම සාකච්ඡා කළේය. සමූහ සාකච්ඡාවක් වෙනම පැවැත්විණි.

ඒ අතර අයවැය තත්ත්වයන්වලින් යම් යම් පාර්ශ්වයන්වලට හා වෘත්තීය කණ්ඩායම්වලට නොසැලකීම් සිදුව ඇතැයි ප්‍රශ්නයක් තිබුණි. රජයේ සේවකයාට ආශ්චර්යමත් වැටුප් වැඩිවීමක් සිදුව ඇතැයි කීවත් වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ තමන්ගේ දීමනා එමඟින් කපාහැර ඇති අන්දමයි. හෙද නිලධාරින්ද පෙන්වා දුන්නේ ඔවුන්ට මෙමගින් අත්ව ඇති ඉරණමයි. වැඩිවීම් නොව, විශාල ලෙස තම දීමනා කපා හැර ඇති අන්දම නිසා පසුගිය සතිය වන විට ඔවුන් දීප ව්‍යාප්තව උද්ඝෝෂණවලට ද පෙළඹ සිටියහ. වෛද්‍යවරු ජනාධිපතිවරයා හමු වී ඔහු හා සාකච්ඡා කරන්නට පටන් ගත්හ.

“බුරුතු පිටින් වෛද්‍යවරු රට හැර යන පසුබිමක අපි මේ රජය ගැන විශ්වාසය තබල තවදුරටත් රැඳී සිටියේ, ඒ වගේම වත්මන් රජය බලයට පත් කරේ වෛද්‍යවරුන්ට ආවේණික ප්‍රශ්නවලට උත්තර දීලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වුණාට අද වෙලා තියෙන්නේ ඒක නෙවෙයි…” වෛද්‍යවරු කීහ.

මේ ආදි වශයෙන් පාර්ලිමේන්තුවේ අයවැය සාකච්ඡාවට බඳුන් වෙමින් සම්මත වන පසුබිමක ජනාධිපතිවරයාට විසඳන්නට ප්‍රශ්න තවත් කප්පරක් ගොඩ ගැසෙන්නට පටන් ගත්තේය.

පාර්ලිමේන්තු එන්න රනිල්ට පිස්සු නැහැලු

අපේ රටේ දේශපාලන කරළියේ විවිධ දේශපාලන පක්ෂවල නායකයින් එකට හමුවී කතාබහ කරන්නට අවස්ථාවක් ලැබුණු මංගල උත්සවයක් පසුගිය සතියේත් දක්නට ලැබුණි. මංගල උත්සවය මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේය. පසුගිය සෙනසුරාදා කොල්ලුපිටිය කදිරේෂන් උත්සව ශාලාවේ එම මංගල උත්සවය පැවති අතර ශ්‍රී ලංකාවේ තිබෙන සිංහල දෙමළ මුස්ලිම් සියලුම දේශපාලන පක්ෂවල නායකයන් වෙත මේ සඳහා ආරාධනා කර තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, කරු ජයසූරිය, තිස්ස අත්තනායක, වජිර අබේවර්ධන, සුනිල් හඳුන්නෙත්ති, ඩලස් අලහප්පෙරුම, දිලිත් ජයවීර, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, දිගම්බරන්, රාධක්‍රිෂ්ණන්, තොන්ඩමන්, සුජිත් සංජය, අලවතුවල, කාවින්ද, රාජකරුණ ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසකි.

මංගල උත්සවයේ හින්දු සාම්ප්‍රදායික වත් පිළිවෙත් රැසකි. ඒ අතරතුර හිතවත් දේශපාලනඥයන්ට වට වී කතාබස් කරන්නට ඉඩකඩක් තිබිණි. ඒ වෙලාවේ දේශපාලනඥයන් ගණනාවක්ම සිටියේ රනිල්ට කිට්ටු වී ඔහු හා කතාබස් කරමිනි. තිස්ස, රංජිත්, ඩලස්, වජිර, කරු ඇතුළු තවත් කිහිපදෙනෙක්ම වටව සිටියහ. එතනට මනෝ ගනේෂන් පැමිණි විට සියල්ලෝම ඔහුට සුබ පැතුවේ දේශපාලනමය කාරණාවක්ද කියමිනි.

“මේ විපක්ෂයේ සෙට් එක එකතු කරන්න හැමෝටම බෑ. ඒත් ඒක ඔයා මෙතන කරලා පෙන්නුවා. මේ විදිහට දේශපාලන කරළියේත් වැඩක් පෙන්නන්න…”

ඔය අතර රනිල් වික්‍රමසිංහ එම කතාබහම තවත් දුර දිග ගෙන ගියේය. මන්ත්‍රීවරු ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසූහ.

“ඔබතුමා පාර්ලිමේන්තු යනවයි කියලා කතාවක් යනවා…”

what’s nonsense කියමින් ඉංග්‍රීසියෙන් ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා තමන්ට එහෙම පිස්සුවක් නැතැයි කීවේය….

“එහෙම නෙවෙයි… දැන් ඔයගොල්ලෝ එකතු වෙලා ලෝකල් ගවර්මන්ට් ඉලෙක්ෂන් එකේ මොනවා හරි කරන්න. විපක්ෂය එකතු වුණොත් දිනන්න හොඳ අවස්ථාවක් තියෙනවා. බෙදුණොත් පරාදයි…”

“මේ ඩලස් ඇමැතිතුමාගෙත් ඒ ගැන යෝජනාවක් තියෙනවා මාතර සම්බන්ධයෙන්.”

“ඒක හොඳ වැඩක්. මේ තිස්ස අත්තනායකලට ලොකු දෙයක් කරන්න පුළුවන් එතෙන්දි. තරුණ බලවේග එකතු කරගන්න. ආණ්ඩුවට එන්න එන්නම අවාසියි. හැබැයි විපක්ෂය බෙදුණොත් ආණ්ඩුව තමයි දිනන්නේ…” රනිල් විග්‍රහ කළේය.

මෛත්‍රී පැත්තකට වී සිටියේ ඔය මොනවත් කතාවලට සම්බන්ධ නොවී අහගෙනය. ඒ අතර මැති ඇමැතිවරු කෑම සඳහා අනෙත් ශාලාවට පිටත් වන්නට නැගිටින මොහොතේ ආණ්ඩුවේ නියෝජනය සුනිල් හඳුන්නෙත්ති එතැනට පැමිණියේය.

“අන්න අරයා නං හරි වෙලාවට එන්නේ?. අපි තමයි කල් වෙලා ඇතුව ඇවිල්ලා ස්තෝත්‍ර අහගෙන හිටියේ…”

“ඒගොල්ලෝ කොහොමත් ඒ වැඩේට දක්ෂයි… හරියට වෙලාව බලලා අනිත් අය එන්න කලින් කැන්ටිමටත් යනවා…” තරුණ මන්ත්‍රීවරු හයියෙන් හිනාවෙමින් කීහ.

ඒ අනුව කලකට පසු හින්දු සම්ප්‍රදායානුකූල මංගල උත්සවයක් දැක ගන්නට පමණක් නොව, එකතු වී කතාබහ කරන්නටද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු රැසකට අවස්ථාව උදාවී තිබුණි.

නව පරපුරේ කවියෙක් හරිනිට ලියපු කවියක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පසුගිය අඟහරුවාදා හවස කොළඹ බත්තරමුල්ලේ අපේගම සංස්කෘතික නිකේතනයට ගියේ පොතක් පිටවෙන උත්සවයකට සහභාගි වන්නටය. පොතේ කර්තෘ වසන්ත දුක්ගන්නාරාල ඒ සඳහා සහභාගි වන්නට ඇයට ආරාධනා කර තිබිණි.

නිසැකවම ඇය උත්සවයට සහභාගි වන බව උත්සවයට පැමිණෙන අනෙකුත් ආරාධිතයන්ට හැඟී ගියේ එදින අපේගම පරිශ්‍රයට යොදා තිබූ ආරක්ෂාවේ දැඩිකම නිසාය.

උසාවිය ඇතුළටම ගිහිල්ල චූදිතයන්ට වෙඩි තියලා යන කාලේ ආරක්ෂාවේ වටිනාකම මෙයාලටත් දැනිච්ච එක හොඳයි… ආරක්ෂක අංශ ඇඟපත අත ගා පරීක්ෂා කිරීම ඇතැමුන්ට කරදරයක් වුවත් සමහරු ඒ ගැන කීවේ එසේය.

උත්සවය නිසි වෙලාවට පටන් ගත් අතර හරිනි අගමැතිනි නිසි වෙලාවට පැමිණ සිටියාය.

“ඔබතුමියට ස්තුතියි මල් මල් වැස්සකුත් අරගෙන පැමිණියාට… කැලුම් ශ්‍රීමාල් නිවේදන කටයුතු මෙහෙයවමින් කීවේය.

පොතේ පළමු පිටපත අගමැතිනියටයි. ඊට හේතුව අගමැතිනිය වෙනුවෙන් ලියූ කවියක් ද පොතේ අන්තර්ගත බව නිවේදිකාව මයුරි කීවාය.

“හිත ගියේ නම්
හිනාවට නොව
පිරී ඉතිරුණු
බාහු යුග්මෙට
ඇස් දෙකට නොව
ගැඹුරු බැල්මට
හරිනි ලස්සන
පිරිමි කමිසෙට…”

ඇත්ත තමයි… මම කමිස අඳිනවා. හැබැයි ඒවා පිරිමි කමිස නෙවෙයි… හරිනි සිය කෙටි අදහස් දැක්වීමේදී කීවාය.

ඔන්න මම නම් නෙවෙයි… දුකා තමයි පොතේ ලියලා තියෙන්නේ. නිවේදිකාව කීවාය.

“කමක් නෑ… කලින් කිව්වනං සාරිය නැතුව කමිසයක් ඇඳගෙනත් එන්න තිබ්බා…” කියමින් සභාවට ගෞරව කළ අගමැතිතුමිය පොතත් රැගෙන සිනාමුහුණින් යුතුව යන්නට ගියාය.

ගනේමුල්ල සංජීව කන්ටේනර් වළ දමයි

පහුගිය කාලයේ දිගින් දිගටම අපේ දේශපාලන කරළියේ කතාබහට ලක් වූ මාතෘකා බොහෝය. එක් මාතෘකාවක් සතියකට වඩා වැඩි කලක් කතා බහට ලක් වන්නට පෙර තවත් මාතෘකාවක් පැමිණෙයි. ඒ තරමට දේශපාලන ක්‍රියාකාරකම් හා අලුත් කතාන්දර වැඩිය.

වරායේ ඇතිවූ තදබදයත් සමගම කන්ටේනර් තුන්සිය ගණනක් පසුගිය දිනවල පරීක්ෂාවකින් තොරව රේගුවෙන් ඉවතට ගොස් තිබිණි. මේ පිළිබඳ සමාජයේ ඇති වූ කතිකාව ආණ්ඩුවට බරපතළ චෝදනාවකි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිටියේ ඒ පිළිබඳ උත්තර නැතිවය. එහෙත් එහි උණුසුම යටපත් කරමින් පහුගිය සතියේ ජාතික ආරක්ෂාව ගැන මාතෘකාව කරළියට ආවේ ගනේමුල්ල සංජීවගේ ඝාතනයත් සමගයි.

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නට බංකුවකුත් රැගෙන තමන් හමුවන්නට පැමිණෙන්නැයි කියා ජාතික ආරක්ෂාව ගැන වහසි බස් තෙපලූ ආරක්ෂක ප්‍රධානීන් සිටින රජයක මෙවන් සිදුවීම් වීම හමුවේ සමාජයෙන් නැගී ආ විවේචන බලවත් විය. විමල් වීරවංශලා ඇතැම් නාලිකාවලට සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් මෙම සිද්ධිය දැඩි විවේචනයකට ලක් කර සිටියහ. ගනේමුල්ල සංජීව ඝාතනය පසුපස දැනට අල්ලා සිටින සැකකරු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අනුගමනය කරන්නට වූ වැඩපිළිවෙළ ඉතා ප්‍රාථමික බව ප්‍රවීණ නීතිවේදීහු කීහ. අපරාධ නඩු පිළිබඳ හසල අත්දැකීම් ඇති ටිරන්ත වළලියද්ද වැනි නීතිවේදීන් පෙන්වා දුන්නේ සංජීවට වෙඩි තැබුවේ දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ද කියා බරපතල සැක පවතින කරුණු තිබෙන බවයි. තිබෙන සාක්ෂි මත එය නීතියෙන් ඔප්පු කිරීම උගහට බවයි.

ඒ අතර උසාවි වරෙන්තුවක් නොමැතිව, සංජීව වැනි බරපතල ගණයේ ආරක්ෂාවකට යටත් කර සිටි සැකකරුවකු ගාල්ලේ සිට අලුත්කඩේ උසාවියට නඩු ඇසීම සඳහා ගෙන ඒම ද බොහෝ දෙනෙකුට සැක උපදවන කාරණාවක් විය. ඒ වන විට සංජීව ඝාතනය කිරීමට සැලසුම් ඇති බවට බුද්ධි අංශ වාර්තා ද තිබී ඇතැයි කියවිණ. පහුගිය දිනවල අයවැය වාද විවාද අස්සේ ද මාධ්‍ය තුළින් මෙන්ම පාර්ලිමේන්තුවේ ද කතාබහ වූයේ මේ අනාරක්ෂිත සැක සහිත සිදුවීම් ජාලය
ගැනයි.

නාමල් ඇත්තටම නූලෙන් බේරුණාද

ඒ අතර දේශපාලන ප්‍රතිවාදීන් විවිධ චෝදනාවලට උසාවි ගෙන්වා බන්ධනාගාර ගත කරන්නට සැලසුම් ඇතැයි චෝදනාවක් ද විපක්ෂය පැත්තෙන් නැගෙන්නට වූයේ නාමල් රාජපක්ෂට පසුගිය දිනවල මුහුණපාන්නට සිදු වූ සිද්ධි කීපයක් මුල් කරගෙනයි. මේ පිළිබඳ ලොකු කතා බහක් අඟහරුවාදා හවස කොළඹ ඉහළ පෙළේ අවන්හලක සාකච්ඡාවට ලක් වූයේ නීතිඥයින් කණ්ඩායමක් මැදයි.

එම කණ්ඩායම ඇතුළේ නාමල් රාජපක්ෂ සහ ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටි හා ඔහුට හිතවත් නීතිවේදීන් පිරිසක් දිවා ආහාරය ගනිමින් සිටියහ. එදින උදේ 9.00 යේ සිට හවස 2.30 පමණ වන තෙක් නාමල් රාජපක්ෂ කොළඹ අපරාධ විමර්ශන අංශයට කැඳවා මීට අවුරුදු දහයකටත් වඩා පෙර සිදුවූවා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කට උත්තර ගනිමින් සිටියහ. එය අවසන් වී මාධ්‍යවලටත් මුහුණ දී හෙම්බත්ව සිටි නාමල් තම ආධාරකරුවන් නීතිඥයින් හා මිතුරන් සමග අවන්හලට පැමිණ ඇත්තේ දිවා ආහාරය ගන්නටය.

“මම නම් හිතුවේ ඔබතුමාට ඇතුළට යන්නම වෙයි කියලා අද…” එසේ කිව්වේ නාමල්ට හිතවත් තරුණ දේශපාලනඥයෙකි.

“තව ඩිංගෙන් යන්නම වෙනවා. අපට ආරංචි වුණා මැගසින් එකේ පස්වෙනි කාමරයත් ලෑස්ති කරලා තිබිලා තියෙන්නේ කියලා…” එසේ කීවේ සාගර කාරියවසම්ය.

“ඉස්සෙල්ලම ක්‍රිෂ් ගනුදෙනුවෙන් මම මිලියන් හැත්තෑවක අල්ලසක් ගත්තයි කියලා චෝදනා කරලා ප්‍රශ්න කරලා ඇතුලට දාන්න ට්‍රයි එකක් දුන්නා. දැන් ඔය ප්‍රශ්න කරන කාරණාව අවුරුදු 12 ටත් වඩා පරණයි. ශ්‍රී ලන්කන් එකට ගුවන් යානා ගන්න වෙලාවේ මිලියන් දෙසීයක කොමිෂන් එකක් මං ගත්තා කියලා තමයි චෝදනාව තියෙන්නේ…” නාමල් විස්තර කළේය.

“ඔය ක්‍රිෂ් ගනුදෙනුවෙයි මේ ගුවන් යානා ගනුදෙනුවෙයි දෙකේම චෝදනා ඉදිරිපත් කරන පාර්ශ්වය එකයිනේ. හැබැයි ඒගොල්ල ඒ තැන් දෙකේදී දීලා තියෙන කටයුත්තර එකකට එකක් පරස්පරයි. හොඳ වෙලාවට අපි පළවෙනි කටඋත්තරයේ පිටපතක් අරගෙනයි මේ ප්‍රශ්න කිරීමට ගියේ…” නීතිඥයෙක් කීවේය.

“ඔව්… නිමල් පෙරේරා පළමු කටඋත්තරේ කියනවා මිලියන හැත්තෑව මට දුන්නේ එයාගේ එකවුන්ට් එකට ආපු සල්ලිවලින්ලු. හොඳ වෙලාවට ඒ පිටපත නිසා දෙවැනි කටඋත්තරය නිශේධනය වුණා. දෙවැනි කටඋත්තරේ තියෙන්නේ ඒ එකවුන්ට් එක එයාගේ කියලයි. ඉතින් අපි ඇහුවේ මේ ප්‍රකාශ දෙකෙන් හරියට මොකක්ද කියලයි. එකක එකවුන්ට් එක එයාගෙ නෙවෙයිලු. අනිත් එකේ එකවුන්ට් එක එයාගෙලු…

“ඕක ඇහුවාම ඉතින් පරීක්ෂණ නිලධාරි උඩබිම බැලුවා…” මනෝජ් ගමගේ කීවේය.

“අනිත් එක තමයි ඔය වැඩේ කතා කර ගන්න නාමල් මන්ත්‍රීතුමා ආවයි කියන වාහනේ. එයා ඒකෙ අංකය පවා දීලානේ. හැබැයි ඔය අංකය ලංකාවේ රෙජිස්ටර් වෙලා තියෙන්නෙත් ඔය කියන සිදුවීම වුණාට ගොඩ කලකට පස්සේ. එතැනත් චෝදනාව වැරදි…”

“අනිත් එක නාමල් මන්ත්‍රීතුමා ඔය කියන දවස්වල කොළඹ හිටියා කියලානේ කියන්නේ. දුරකථන පරීක්ෂාවෙන් ඔප්පු වුණා ඒ දවස්වල එයා හිටියේ තංගල්ලේ කියලා…”

“ඇත්තම කියනව නම් මේගොල්ලන්ට ඕන නඩු ඔප්පු කරගන්න නෙවෙයි. නඩුවල මුවාවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා පලිගන්න. වෙන රටවල්වල නම් රිමාන්ඩ් එක කියන්නේ නඩුවෙන් චූදිතයා වැරදිකාරයෙක් කරන තුරු ඔවුන්ව ආරක්ෂා සහිතව තියාගන්න රැඳවුම් පළක්. දඬුවම් දෙන තැනක් නෙවෙයි. හැබැයි අපේ රටේ ඒක ක්‍රියාත්මක වෙන්නේ දඬුවම් දෙන තැනක් විදිහට.”

ඔය ආකාරයෙන් නීතිඥයින් නාමල් හා හිතවතුන් තව බොහෝ වෙලා කතාබස් කරමින් සිටියේ චෝදනා සමග

ගොනු කර තිබූ කටඋත්තරවල සඳහන්ව ඇති කරුණු කාරණාවල පවතින දෝෂ ගැනයි.

රඳවා තබා ගැනීම දඬුවම් දීමක්ද

නාමල් අවසානයේ කී කතාව තවදුරටත් සමාලෝචනය කරන කරුණක් පසුගිය දිනක වජිර අබේවර්ධන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මානව හිමිකම් පිළිබඳ පැවැති සම්මාන උත්සවයක දේශනයක් පවත්වමින් සාකච්ඡා කළේය.

පසුගිය සති අන්තයේ වජිර මානව හිමිකම් ලංකා සංවිධානය බීඑම්අයිසීඑච් ශාලාවේ සූදානම් කර තිබූ 2025 මානව හිමිකම් සමුළුවේ විශේෂ සම්මාන උළෙලකට සහභාගි වන්නට ගියේය. ඔහු සමග එම උත්සවයට දයාසිරි ජයසේකර සහ දිලිත් ජයවීර යන මන්ත්‍රීවරුද සහභාගි වී සිටියහ.

උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රධාන දේශනය කළේ වජිර ය.

“මම අවුරුදු විසි අටේදී මහජන නියෝජිතයෙක් වුණා. එදා මෙදා කාලය තුළ මම කිසිම පොලිසියකට ගිහින් කිසිම පුද්ගලයෙකුට විරුද්ධව පැමිණිල්ලක් දාලා නෑ. ඒ වගේම තමයි කිසිම පුද්ගලයෙක් ලංකාවේ කිසිම පොලිසියක මට විරුද්ධව පැමිණිල්ලක් දාලත් නෑ. මම හිතනවා මම අන්න එහෙමයි මේ කාලය තුළ අනිත් අයගේ මානව හිමිකම් ආරක්ෂා කළේ. මටත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලැබුණා.

අපි රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කරන වගන්ති අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගන්න. එහි 13 (4) සිරභාරයට ගැනීම හා රඳවා තබාගැනීම පවා දඬුවමක් නොවේ කියලා පැහැදිලිව කියලා තියෙනවා. කොටින්ම කියනවනං ව්‍යවස්ථාවේ සඳහන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම දඬුවමක් නෙවෙයි කියල.

අත්අඩංගුවට අරගෙන කොපමණ කාලයක් රඳවා තබාගත්තත් එක දඬුවමක් නෙවෙයි.

හරි අපි ලෝකේ අනිත් රටවල්වල ව්‍යවස්ථාවල මේක සඳහන් වන්නේ කොහොමද කියලා බලමු… ඇමරිකානු ව්‍යවස්ථාවේ හතරවෙනි සංශෝධනය ගන්න. අන්න එහෙත් තියෙනවා පුද්ගලයින් රඳවා තබා ගැනීම දඬුවමක් නොවෙයි කියලා.

ඉන්දියාවේ අවස්ථාව ගන්න. විසිදෙවැනි වගන්තියේ සඳහන් වෙනවා යම් අයෙකු සිරභාරයට ගැනීම හෝ රඳවා තබා ගැනීම කළ හැකියි. නමුත් එසේ රඳවා තබා ගැනීම දඬුවමක් නෙවෙයි කියලා ඉන්දියානු ව්‍යවස්ථාවේ ලියවිලා නෑ. හැබැයි අපේ තියෙනවා…”

වජිර මේ අනුව රටවල් ගණනාවක ව්‍යවස්ථාවන් පැහැදිලි කරමින් රඳවා තබා ගැනීම (රිමාන්ඩ්) දඬුවම් දීමක් නොවිය යුතු බව පෙන්වා දුන්නේය.

ඒ අතර මන්ත්‍රීවරුද දෙදෙනකු සිටින සභාවේ තවත් කතාබහක් ඇති විය.

“රිමාන්ඩ් කිරීම දඬුවමක් නෙවෙයි කියලා ව්‍යවස්ථාවේ කිව්වට දැන් මේගොල්ලා ඒක දඬුවමක් විදියටනේ පාවිච්චි කරන්නේ. රිමාන්ඩ් කිරීම දඬුවමක්. ඒ මොකද අපේ රටේ රිමාන්ඩ් එක මොනතරම් හොඳ තැනක්ද කියලා එතැනට ගිය අය දන්නවා..”

මේ අතර පසුගිය සතියේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි එතනදී තමන්ට විඳින්නට සිදු වූ අනේක විධ වධ බන්ධන ගැන පුවත්පත් සාකච්ඡාවක් තබමින් හෙළිදරව්වක් කළේය.

වජිර එදා එසේ මානව හිමිකම් ගැන කතා කරමින් ව්‍යවස්ථාවේ කරුණු පැහැදිලි කළ අන්දමත් ගලගොඩඅත්තේ හිමි තමන්ට බන්ධනාගාරයේදී විඳින්නට සිදු වූ අත්දැකීම් විස්තර කළ අන්දමත් අතර ඇති පරස්පරය දෙකම විමසා බැලූ පොදු අපට වටහා ගත හැකි විය.

රට යන එක ගැන දිලිත් කියපු කතා

පසුගිය සතියේ පාර්ලිමේන්තුව දැඩි උණුසුම් එකක් බවට පත්වූයේ අයවැය සම්බන්ධයෙන් පැවති වාද විවාදවලදී කතාබහට ලක් වූ වෙනත් මාතෘකා උණුසුම් වූ නිසාය.

ඒ උණුසුම සමනය කරගන්නට ආණ්ඩුව පැත්තෙනුත් සතිපතා අලුත් අලුත් තොරතුරු සමාජය වෙත මුදා හරින බවක් පෙනෙන්නට තිබුණි.

සති කීපයකට පෙර සමාජයට මුදා හැරියේ පසුගිය ආණ්ඩුව අරගලයේදී ගෙවල් දොරවල් ගිනිබත් වූ මන්ත්‍රීවරුන්ට ලබා දුන් අති විශාල වන්දි මුදල් ගැනයි. ඒ අතර තවත් හෙළිදරව්වක් වූයේ හිටපු ජනාධිපතිවරුන්ට ආණ්ඩුව වියදම් කරන අති විශාල මුදල් සම්භාරය ය. මේ සියල්ල තුළින් රජය මහජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ තම රජය ඒ අසාමාන්‍ය මුදල් නාස්තිය අවසන් කරන බවත් දූෂණය, වංචාව හා නාස්තිය පිටුදකින බවත්ය.

ඒවා පාර්ලිමේන්තුවේ වාද විවාදවලට හේතු වූ උණුසුම් කරුණු කාරණා වූහ.

මේ සතියේ දී තවත් හෙළිදරව් කිරීම් රාශියක් දැකගත හැකි විය. හිටපු ජනාධිපතිවරු, බලවත් මැති ඇමැතිවරු, කථානායකවරු හා පාර්ලිමේන්තුවේ සභානායකවරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු ලබාගත් අසීමිත වරප්‍රසාද හෙළි කළහ. මේ පිළිබඳ වාද විවාද උණුසුම් විය.

ඒ අතර සංසන්දනාත්මකව මේ රජයේ මැති ඇමැතිවරු හා කථානායකවරු කරන වියදම් කොපමණ පුංචිදැයි පෙන්වා දුන්හ. උදාහරණයක් වශයෙන් පෙර සිටි ජනාධිපතිවරු විදේශ සංචාරයන් සඳහා අප්‍රමාණ මුදල් සංඛ්‍යාවක් වියදම් කර ඇතත් තමන්ගේ වත්මන් ජනාධිපතිවරයා විදේශ සංචාරයන් තුනක් සඳහා වියදම් කර ඇත්තේ ලක්ෂ දහඅටක් පමණක් බව පෙන්වා දුන්නේය.

මෙම කාරණාව පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයට ලක් විය. ජනාධිපතිවරයා චීනය, ඉන්දියාව හා ජපානය වැනි රටවල්වලට ගොස් සම්පූර්ණ වියදම් කර ඇත්තේ ලක්ෂ 18ක් පමණක් නම් ඔහු ගොස් ඇත්තේ ගුවන් යානාවල පාපුවරුවේදැයි දිලිත් ජයවීර මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය. ඒ කිසි ලෙසකත් ගමන් හා සරිලන වියදමක් නොවේ යැයි ඔහුගේ මතයයි.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment