කළමැටියේ කැණීමකින් ක්‍රි.පූ. 1400 අයත් සිප්පි එකතුවක් සොයාගෙන

ලොව පැරැණිතම බෙලිකටු සාධක අප්‍රිකාවෙන් සොයාගත් වසර 150,000ක් පැරැණි බෙලිකටු පබළු මාලය…

විශ්වවිද්‍යාල තුළ වෙරළාශ්‍රිත පුරාවිද්‍යාව ගැන වෙනම හැදැරීමක් නෑ…

මුතු කිමිදීම් වැඩි වෙනකොට මුහුදේ බෙල්ලො වධ වෙලා…

මන්නාරම් පිටි වැල්ලෙ උරුමය සොයා යන ගමන – 07

මුහුදු රැලි පැමිණ බෙලිකටු රැගෙන යන දෙස බලා සිටිනවිට නදීරත්, ඉන්දිකත් මිනුම් යන්ත්‍රයක් උස්සාගෙන එහාට, මෙහාට යන අයුරු දෑස් මත රැඳිණි. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ මතු වී තිබෙන පාංශු හරස්කඩෙහි පරිමාණුකූල සැලසුමක් සකස් කිරීම ය. මුහුදු මට්ටමේ සිට ගොඩැල්ලේ විහිදීමත් ඒ තුළ බෙලිකවච ස්ථරයේ ව්‍යාප්තිය සමගින් බි්‍රතාන්‍ය අවධියේ සිදු කළ ඉදිකිරීම් ඩිජිටල් මතකයක සටහන් කිරීම ඔවුන්ගේ සුරතින් යුහුසුලුව සිදු වෙමින් තිබිණි. එමෙන්ම තිලංක සිරිවර්ධනයන් විසින් බෙලිකටු ස්ථරයෙන් විවිධ වර්ගයේ බෙලිකවච ගලවා ගනිමින් අංක යෙදූ බෑග්වල ගබඩා කරන අයුරු ද ඇස ගැටිණි. මම ඔහු සමීපයට ගියෙමි.

“ගොඩබිමේ පාරිසරික වෙනස්වීම් අපිට පේනවා. ඒත් මුහුදු පතුලේ වෙනස්කම් අපිට පෙන්නෙ නෑ. මුහුදේ සිටින බොහෝ සතුන් අපිට දකින්න ලැබෙන්නෙ නෑ. අපිට දකින්න නොලැබෙන විවිධ සතුන්ගේ, කොරල්පරවල සාධක බොහොමයක් මේ බෙලිකටු තැන්පතුවේ තිබෙනවා. ඒ නිසා මේ බෙලිකටු තැන්පතුව අතිවිශේෂයි. එම සාධකවලින් මුහුදේ මුතු පරවල ජීවින්ගේ නිරූපණයන්, උන්ගේ ගහනය, බහුලතාවය වගේ කාරණා හඳුනාගන්න පුළුවන්. විවිධ වූ ජීවී අවශේෂ කොටස්වල කාලය ගැන අදහසක් ගන්න පුළුවන් වුණොත්, එම කාල පරාසයන්වල මුහුදේ තිබුණු පරිසර තත්ත්වය ගැන යම් අදහසක් මතු කරගන්නත් පුළුවන්. ඒ වගේ ම මේ බෙලිකටු තැන්පතුවේ තිබෙන සමහර බෙල්ලන්ව මිනිස්සු ආහාරයට ගන්නත් ඇති. විශේෂයෙන් ම මේ වෙරළබඩ ජීවත් වූ මිනිස්සු කටු සංගු, ආගු නම්වලින් හැඳින් වූ බෙල්ලෝ බහුල වශයෙන් ආහාරයට ගෙන තියෙන බවත් පැහැදිලි වෙනවා…” කථිකාචාර්ය තිලංක සිරිවර්ධනයන් එසේ පවසනවිට එම බෙලිකටු තැන්පතුව විශේෂයෙන් නිරීක්‍ෂණය කිරීමට මට ද සිතිණි. ඔහු අසලින් ඇන තියාගත් මම තැන්පතුවේ බෙලිකවච එකිනෙක ගැලෙව්වෙමි.

‘පරිස්සමින්… තියුණු පිහි තුඩකට නොදැවෙනි විදිහට බෙලිකටුවල තුඩ තියුණුයි…” සිරිවර්ධනයන් එසේ කියනවිටත් බෙලිකටු තුඩකට වමතේ සුළඟිල්ල හිල් වී අවසානය. පුංචි සිරීම ගැන අවධානය යොමු නොකෙරූ මම බෙලිකටු ස්ථරය හොඳින් පරීක්‍ෂා කළෙමි.

එම බෙලිකටු තැන්පතුවේ බහුලව පැවැති මුතු බෙලිකටුවලට අමතරව වෙනත් හැඩැති සහ විවිධ වර්ණයන්ගෙන් යුත් ලොකු, කුඩා බෙල්ලන් විශේෂ කිහිපයක කවච නෙත ගැටිණි. ඒ වනවිටත් විශේෂිත වූ බෙලිකටු වෙන, වෙන ම බහාලුම්ගත කිරීමට තිලංක සිරිවර්ධනයන් කටයුතු කර තිබෙන බව ද ඇස ගැටිණි. එම බෙලිකටු තැන්පතුව ගැන මම විශේෂයෙන් අවධානය යොමු කරන බැවින් තිලංක සිරිවර්ධනයන් සිදු කරමින් සිටින කාර්ය නතර කර විශේෂ බෙලිකටු එකිනෙක මට හඳුන්වා දුන්නේය.

අරිප්පු වෙරළෙන් හමුවුණු අමුතු සත්තු

“මේ තියෙන්නෙ ‘පින්නා’ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බෙල්ලගේ කටුවක්. ධීවරයන් මේ බෙල්ලව හඳුන්වන්නෙ ආගු නමින්…” අත්ලක් තරම් විශාල බෙලිකවචයක් අතට ගෙන ඔහු එසේ පැහැදිලි කළේය.

“මේ සතාගේ කටුවේ තියෙන තියුණු දාරය නිසා වෙරළබඩ වැසියෝ මුන්ව අල්ලන්නෙ හරි ම පරිස්සමට. ඒ වගේ ම මේ බෙල්ලන්ව බහුල වශයෙන් මිනිස්සු කෑමට ගන්නවා. මේ සත්තු බහුල වශයෙන් ගැවසෙන්නෙ මුහුදු පතුලෙ තෘණ බිම්වල. මන්නාරම් ඉතිහාසයේ මේ බෙල්ලන්ට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. 19 වන සියවසේ අගභාගයේ මන්නාරමේ හිටපු නිලධාරියෙක් වන බෝක් කියන විදිහට මේ බෙල්ලන්ගේ ගහනය එකවර වැඩි වෙලා, මුහුදේ එළන දැල් ඉරිලා පන්න කරගන්න බැරිව එම ප්‍රදේශයේ ධීවරයෝ යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය ප්‍රදේශවලට සංක්‍රමණය වෙලා තියෙනවා. මේ තියෙන්නෙ හක් බෙලිකටුවක්. ‘ටර්බිනෙල්ලා පයිරම්’ කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන හක් බෙල්ලා දකුණු ආසියානු සංස්කෘතියේ බොහෝ වැදගත් සත්ව විශේෂයක්. වළලු, මුදු වැනි ආභරණ හක් බෙලිකටුවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ ආභරණවලට ඉන්දියාවේ කාන්තාවන්ගේ විශේෂ ඉල්ලුමක් තිබිලා තියෙනවා…” තිලංක සිරිවර්ධනයන් අතේ රැදි හක්බෙලි කටුව බෑගයක් තුළට දමා නැවත බෙලිකටු තැන්පතුව පරීක්‍ෂා කිරීමට පටන් ගත්තේය.

මුතු කිමිදීම වසරේ ඍතුවක් හෝ ඍතු දෙකක් පමණක් සිදු කිරීම ද විශේෂත්වයකි. බි්‍රතාන්‍ය පාලන කාලයේ මුතු කිමිදීම සිදු කර ඇත්තේ පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය තුළ පමණි. පෘතුගීසි පාලනය යටතේ මුතු කිමිදීම සිදු කර ඇත්තේ ඔක්තෝබර් මාසයේ පමණි. එහෙත් හක් බෙල්ලන් ඇල්ලීම වසර පුරා සිදු වී ඇති බව ද වාර්තා වේ.

‘මේ තියෙන්නෙ ‘ලෑම්බිස්’ කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කටු සංගු කියන බෙල්ලගෙ කටුවක්. මේ බෙල්ලගෙ විශේෂ කිහිපයක් ඉන්නවා. ඒ වගේ ම මේ සතාගේ වටේට ලොකු උල් ගණනාවක් තියෙනවා. ගෙවල්වල ලස්සනටත් මෙයාලව තියාගන්නවා. කෑමටත් ගන්නවා. ඇතැම් රටවල ඖෂධ නිෂ්පාදනයටත් මේ සතුන්ගේ කොටස් ගන්නවා. අදටත් මන්නාරම ධීවර ගම්මාන රාශියක මේ බෙලන්නව සහ ලස්සන කටුවක් සහිත ම්‍යුරෙක්ස් බෙල්ලන්ව විශාල වශයෙන් කෑමට ගන්නවා. ඒ ගම් ආශ්‍රිතව මේ බෙල්ලන් විශේෂවල අලුත් කටු ගොඩවල් දැකගන්න තිබෙනවා. ඒ වගේ ම මේ බෙලිකටු තැන්පතුවේ තවත් විශේෂත්වයක් තියෙනවා. 1903 වර්ෂයේ දී විලියම් හර්ඩ්මන් කියන ජීවවිද්‍යාඥයා සකස් කරන ලද මුතු බෙල්ලන්ගේ ජනාවාසවල හිටපු වෙනත් බෙල්ලන් විශේෂ 170ක් විතර ලැයිස්තුගත කරලා තියෙනවා. ඒ සියවසකට පෙර තත්ත්වය. අපි මේ ගවේෂණය කරන්නෙ ඊටත් වඩා පැරැණි කාලයක සාධක. අපේ උත්සාහය ඒ ගැන සන්සන්දනාත්මකව විශ්ලේෂණය කිරීම…” බොහෝමයක් බෙලිකවච දුටු පමණින් එම කටුවල උරුමක්කරුවන්ගේ විද්‍යාත්මක නාමයත්, ඔවුන්ගේ චර්යාවන් ගැන විස්තරාත්මකව පැහැදිලි කරන තිලංක සිරිවර්ධනයන්ට යටගිය දවස මුතු කිමිදීම් කර්මාන්තය ගැන ඇත්තේ සුවිශේෂී දැනුමකි. ඔහු ඒ ගැන අධ්‍යයනය කළ ආකාරය දැන ගැනීමට මගේ සිත පෙරත්ත කළේය. සිතේ ඇඳුණු අදහස ප්‍රශ්නයක් ලෙස මම ඔහුට ඉදිරිපත් කළෙමි. නිරන්තරයෙන් මුහුණේ රැදුණු සිනාව නැවුම් විය. ඔහු කතා කළේය.

අරිප්පු වෙරළෙන් හමුවුණු අමුතු සත්තු
ඩොරික් බංගලාව අසල කරන ලද කැනීම්

“බෙල්ලන්ව විද්‍යාත්මකව හඳුනාගැනීම, මතක තබාගැනීම අසීරු කාර්යයක්. ඒත් දැන් අපිට දැකල, දැකලම හුරු වෙලා. සමහර බෙල්ලන් විශේෂ හඳුනාගන්නෙ ඔවුන්ගේ ලක්ෂණ අනුව විවිධ මූලාශ්‍රවලින්. ඒ විශේෂ හඳුනාගැනීම අපේ ප්‍රධාන කාර්යභාරයක්. ඒ අධ්‍යයන කටයුතුවලට ජීවවිද්‍යාව සම්බන්ධ මූලික දැනුම අවශ්‍ය වෙනවා. එතැනින් ඔබ්බට තියෙන්නේ පුරාවිද්‍යාව. මම පාසල් යන කාලයේ ඉඳලා පරිසරය, පුරාවිද්‍යාව ගැන ඉගෙනගන්න කැමැත්තක් තිබුණා. ඒත් බෙල්ලන් සමග බැඳුණු අපේ සංස්කෘතිය ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තෙ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ දී. බෙල්ලන් ගැන විශේෂයෙන් අවධානය යොමු කළේ හරේන්ද්‍රලාල් නාමල්ගමුව මහතා සමග බුන්දල සහ කළමැටිය ආශ්‍රිතව කරපු ක්‍ෂේත්‍ර චාරිකාවෙන් පස්සේ. පර්යේෂණ කරගෙන යනකොට එම විෂය සම්බන්ධයෙන් හැදැරීමට ලොකු අවකාශයක් තියෙන බව මට අවබෝධ වුණා. අනතුරුව පර්යේෂණ නිබන්ධනයට බෙල්ලන් හා බැඳුණු ලංකාවේ ලිඛිත ඉතිහාසය, මානව වංශ විද්‍යාත්මක පසුබිම, ක්‍ෂේත්‍ර ව්‍යාප්තිය, මුතු කර්මාන්තය, හක් බෙල්ලන් ඇල්ලීම වගේ දේවල් ගැන ඓතිහාසික වශයෙන් පුළුල්ව සෙවීමට තීරණය කළා. එම කටයුත්තේ දී බෙල්ලන් හඳුනාගැනීම ගැන ඉගෙන්නුවේ වෛද්‍ය මලික් ප්‍රනාන්දු මහතා. දැනට මෙරට සිටින මුහුදු බෙල්ලන් සහ සමුද්‍ර ආශ්‍රිත අපෘෂ්ඨවංශීන් ගැන ප්‍රාමාණික විද්වතුන් අතර පුරෝගාමියෙක් විදිහට වෛද්‍ය මලික් ප්‍රනාන්දු මහතා හඳුන්වන්න පුළුවන්. මගේ ප්‍රථම නිබන්ධනයේ සංස්කාරවරයා වුණෙත් මලික් ප්‍රනාන්දු මහත්තයා…”

“එම පර්යේෂණයේ මුල් අවධියේ දීම දීර්ඝ පර්යේෂණ මාලාවක අවශ්‍යතාවය තිබෙන බව අපිට අවබෝධ වුණා. අනතුරුව හුංගම ආශ්‍රිත ස්වභාවික බෙලිකටු තැන්පතු ගවේෂණය කරමින් ප්‍රාග් ඓතිහාසික මිනිසුන් ආහාරයට ගෙන ඉවත් කරපු බෙල්ලන් වෙන් කර අධ්‍යයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණයක් කළා. එම පර්යේෂණය සිදු කළේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයන් යටතේ. එම ගවේෂණයේ දී කළමැටියේ කරපු කැණීමෙන් ක්‍රිස්තු පූර්ව 1400 පමණ අයත් සිප්පි කසළ එකතුවක් සොයාගත්තා. ඒ වගේම අකාවුස් බෙල්ලන් යොදාගෙන අපි කරපු පාරිසරික වෙනස්වීම් පිළිබඳ හැදෑරීමත් එහි ප්‍රතිඵලයක්. එම ප්‍රතිඵලත් ඉදිරියේ දී ප්‍රකාශයට පත්වීමට නියමිතයි. අරමුදල් පර්යේෂණයෙන් හඳුනාගත්ත තවත් කොටසක් තමයි දැන් අපි මේ සිදු කරගෙන යන්නේ. ඒ වගේ ම පැරැණි බෙලිකටු තැන්පතු ගැන පර්යේෂණ කරගෙන යනකොට ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය පැට්රික් ෆෝක්නර් සහ මහාචාර්ය බාබරා හෙල්විංග් යටතේ පුහුණුවීම්වල නිරත වීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේ ම ආචාර්ය ශිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන් පර්යේෂණ කටයුතු කරගෙන යෑමට උපදෙස් ලබාදුන්නා. දැන් මම පර්යේෂණ කටයුතු කරගෙන යන්නේ නෙදර්ලන්තයේ ආචාර්ය ජනාත් චකීලා මහත්මිය සමග. අනුර මනතුංග, මහාචාර්ය මාලිංග අමරසිංහ, මහාචාර්ය ජගත් වීරසිංහ වගේ ම රජරට විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සියලු ම සාමාජිකයන් පර්යේෂණ කටයුතු කරගෙන යෑමට විශාල සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේ ම පර්යේෂණ කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය…”

බෙල්ලන් ගැන අධ්‍යයනය කිරීම, පර්යේෂණ කිරීම, පුරාවිද්‍යාවත් සමග සම්බන්ධ වෙන්නෙ කොහොම ද? මම නැවත ඔහුට පැනයක් යොමු කළෙමි.

“අපි බෙල්ලන් ගැන හදාරන්නේ ජීව විද්‍යාත්මක පසුබිමකින් නෙමෙයි. අපේ පර්යේෂණ සිදු කෙරෙන්නේ බෙල්ලන් සමග බැඳුණු මානව සංස්කෘතිය ගැන. පැරැණි මනවයෝ භාවිත කරපු ජීවීන් හදාරන අතර බෙල්ලන්ට ලොකු තැනක් හිමි වෙලා තියෙන්නේ ඒ සතුන් ආරක්‍ෂා වෙලා තියෙන ප්‍රමාණය වැඩි නිසයි. පුරාමෘද්වංශ විද්‍යාව කියන්නේ මේ ගැන කරන හැදෑරීමට. බෙලිකටුවලින් නිර්මාණය කරන ලද පැරැණිත ම ආභරණය අප්‍රිකාවෙන් සොයාගෙන තිබෙන පබළු. බෙලි කටු සම්බන්ධයෙන් ලොව පැරැණිතම පුරාවිද්‍යා සාධකය ඒක. අවුරුදු එක්ලක්‍ෂ පනස්දාහසක් විතර පරණයි. අප්‍රිකානුවන් බෙල්ලන් ආහාරයට ගෙන තිබෙන බවත් තහවුරු වෙනවා. ඒ වගේ ම බෙලිකටු තැන්පතු පර්යේෂණ තුළින් කාලෙන්, කාලයට සිදු වූ දේශගුණික විපර්යාසයන්, මිනිසුන් පරිසරයට එල්ල කරපු බලපෑම, ලෝකය පුරා මානවයන්ගේ ව්‍යාප්තියේ ආකෘතිය තේරුම් ගැනීමට අවශ්‍ය සාධක සොයාගන්න පුළුවන්. ඒ සෑම පර්යේෂණයකම ප්‍රධාන ඉලක්කය මිනිසා සහ බෙල්ලන් අතර තියෙන සම්බන්ධයේ ස්වභාය සෙවීම…”

අරිප්පු වෙරළෙන් හමුවුණු අමුතු සත්තු
අරිප්පු බෙලිකටු එකතුව

විශ්වවිද්‍යාල තුළ විෂයක් විදිහට බෙලිකටු ආශ්‍රිත පර්යේෂණ අධ්‍යයනය කිරීමට අවස්ථාවක තිබෙනවද? ගැටලු වැලට මම තවත් පැනයක් ඇමුණු වෙමි.

“දැනට මේ සම්බන්ධයෙන් වෙන ම විෂයක් විදිහට හැදැරීමක් නෑ. පරිසරය, පුරාවිද්‍යාව යටතේ බෙලිකටු පර්යේෂණ ගැන යම් ප්‍රමාණයකට සාකච්ඡා වෙනවා. අපගේ උත්සාහය වෙරළාශ්‍රිත පුරාවිද්‍යාව කියන එක වෙනම විෂයක් විදිහට වර්ධනය කරලා ඓතිහාසික පරිසර අධ්‍යයන සහ පරිසර පුරාවිද්‍යාවට ඒකාබද්ධව මේ විෂය විශ්වවිද්‍යාලවලට හඳුන්වා දීම. මේක තනි විෂයක් වශයෙන් යෙදෙනවාට වඩා ගොඩක් විෂයයන් සමග බැඳුණු පර්යේෂණ ප්‍රවේශයක් වශයෙන් හැඳින්වීම තුළ වැඩි ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්…” ප්‍රශ්න වැලට විරාමයක් තැබිණි.

වෙරළාශ්‍රිත පුරාවිද්‍යාව වෙනම විෂයක් බව මන්නාරම දූපතේ පර්යේෂණ තුළින් අවබෝධ විය. එමෙන්ම මේ විෂය පරාසයන් කොතරම් සංකීර්ණ ද? සිත් ඇඳගන්නාසුලු ද? කුතුහලය පිරුණු එකක් ද යන්න මන්නාරමේ ගත කළ දින කිහිපයේ දී අත්විඳීමට ලැබිණි. බෙල්ලන් සත්ව විශේෂ මිනිසාට සමීප නොවන බවත් එම සතුන් පරිසරයේ සැලකිය යුතු කොටසක් විදිහට හැඳින්විය නොහැකි බව ද තහවුරු විය. එහෙත් එම සතුන් සියවස් ගණනාවක පැරැණි ඉතිහාසයට උරුමකම් කියන බව සැබෑය. එම කියැවීම අතිශය සිත් ඇඳගන්නාසුලු ය. එවැනි සිතිවිලි මනසේ ඇඳෙනවිට නැවත පැනයක් මතු විය.

මේ බෙලිකටු තැන්පතුව පරීක්‍ෂා කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක්ද?

“පරීක්‍ෂා කරපු සෑම බෙලිකටු එකතුවකින්ම සාම්පල ගත්තා. ඒ සාම්පල විද්‍යාත්මක පරීක්‍ෂණයකට ලක් කොට කාල නිර්ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේ ම එම තැන්පතුවලින් තෝරාගත් ස්ථාන කැණීම් කරනවා. ඒ තුළින් බෙලිකටු සංයුතිය, තැන්පත්වීමේ තීව්‍රතාවය වගේ ම කාලය ගැන යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ වගේ ඓතිහාසික අවධියේ මුතු බෙල්ලන්ට එල්ල වූ බලපෑම ගැනත් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒත් දැන් අපිට හමු වෙන බෙලිකටු දිරාපත්වෙලා කැඩිලා, කුඩු වෙලා. ඒත් එම බෙලිකටුවලින් ඒ සතුන්ගේ වයස තේරුම් ගැනීමට යම් ක්‍රමවේදයක් සොයාගැනීමටත් අපි උත්සාහ කරනවා. විශේෂයෙන් ම මුතු බෙල්ලන් එකතු කරන්නේ ඒ සතුන්ගේ වයසේ නිශ්චිත මට්ටමකට පැමිණි විට. දළවශයෙන් අවුරුදු තුනහමාරේ සිට හතරමාර කාලය තමයි එකතු කරන්න යෝග්‍ය විදිහට සැලකෙන්නේ. මේ එකතුවල තිබෙන බෙලිකටුවල උරුමක්කරුවන්ගේ වයස සොයාගැනීමට පුළුවන් නම් බෙල්ලන්ගේ පරිණත අවධියට පැමිණීමට පෙර මුතුපරවල කිමිදීම් සිද්ධ වුණා ද කියලා අපිට අවබෝධක කරගන්න පුළුවන්. යටත් විජිත යුගයේ ඔස්ටේ්‍රලියාව, ටහිට් දූපත්, දකුණු සහ මධ්‍ය ඇමෙරිකානු කලාපවල මුතුබෙල්ලන් කිමිදීම් ආරම්භ කර ඇති බවත්, බෙල්ලන් වධ වෙන තරමට විශාල වශයෙන් එකතු කරලා තියෙන බව වාර්තා වෙනවා. මෙරටත් විවිධ කාලවල මුතු කිමිදීම් කර්මාන්තයේ බිඳ වැටීම් ගැන වාර්තා වෙනවා. එහෙම වෙලා තියෙන්නේ මුතු කිමිදීම්වල බහුලතාවය නිසයි. මේ බෙලිකටුවල වයස අනුව එම අදහස තහවුරු වෙනවා. මීට පෙර බෙලිකටු තැන්පතුවකින් එවැනි සාධක සොයාගැනීමට කිසිවෙක් උත්සාහ කරලා නෑ. අපේ පර්යේෂණ ඇසුරින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මුතු කිමිදීම්වලට දායක වූ ප්‍රජාව ගැනත් යම් සාධක සොයාගැනීමට අපි උත්සාහ කරනවා. ඒ අනුව අපේ පර්යේෂණය ඓතිහාසික පරිසරය, සමාජය, යටත් විජිත යුගය සහ පෙර කාලවල සම්පත් පරිහරණය වගේ ක්‍ෂේත්‍ර කිහිපයකට විහිදෙනවා…

අරිප්පු වෙරළෙන් හමුවුණු අමුතු සත්තු

මන්නාරමට වඩා අරිප්පුවේ පර්යේෂණ සාර්ථකයි. අලුත් සොයාගැනීම් ගොඩයි.

ලබන සතියට

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment