ජනපති රනිල් අද සැබෑ සටන අරඹයි

96

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන අරඹයි.

‘සැබෑව’ යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැලිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගි වන ප්‍රථම මහජන රැලිය මෙය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය සංවිධාන කරන බව කීය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී කාරියවසම් මහතා අවසානයේ සියලු බලවේගය එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කරනු ඇති බව ද සඳහන් කළේය.

කුලියාපිටියේ පැවැත්වෙන ‘සැබෑව’ මහජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක, අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරු ද සහභාගි වෙති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment