ඡන්දයට අයවැයෙන් දුන් මුදල් රඳවා ගන්න එපා!

146

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මුදල් ඇමැතිට, මුදල් ලේකම්ට අතුරු තහනම් නියෝගයක්
රංජිත් මද්දුම බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට වෙන්කර ඇති මුදල් ද රඳවාගැනීම අත්හිටුවයි
ඡන්දෙට මුදල් දෙන්න බෑ කිව්වත් හාල් බෙදන්න බිලියන 8 ක් වෙන්කරලා
– ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය
ඡන්දය කල්දාන්න රජයට කිසිම වුවමනාවක් නෑ – අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන

පාර්ලිමේන්තුව විසින් 2023 වාර්ෂික අයවැය වාර්තාවෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදලින් මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් හා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල් රජයේ මුද්‍රණාලයාධිපතිනිය වෙත ලබානොදී සිටීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපතිවරයා වෙත අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කළේය.

2023 වාර්ෂික අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදලින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගය අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් දෙක නිකුත් කළේය. නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේදී ඊයේ (03දා) කැඳවිණි.

ඡන්දයට අයවැයෙන් දුන් මුදල් රඳවා ගන්න එපා!

එම පෙත්සමේ පළමුවන වගඋත්තරකරු ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් දෙවන වගඋත්තරකාර මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපතිවරයාත් නම් කර තිබිණි. 2023 වසරේ අයවැයෙන් මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන්කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන නමුත් හඳුනාගත් දුප්පත් පවුල් මිලියන 02කට මාස දෙකක කාලයක් සඳහා නොමිලේ සහල් ලබාදීමට රුපියල් බිලියන අටකට ආසන්න මුදලක් වෙන් කිරීමට පසුගිය 16 වැනිදා කැබිනට් තීරණයක් ගෙන ඇතැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය පැවැත්වීමට සැලසුම් කළ දිනයේ සිට රජයේ වෑයම වී ඇත්තේ ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සහය ලබාදීම නොව එය අඩපණ කිරීමට වන්නේ යැයි ද ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට පැවසීය. පෙත්සම්කරුගේ නීතිඥවරයා කුමණ චෝදනා නැගුවත් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජයට හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, රට තුළ පවතින මූල්‍යමය අපහසුතා නිසා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේ හැකියාව නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි 2023 අයවැයෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළ යුත්තේ ඔහු නොව මැතිවරණ කොමිෂන් සභාව වන්නේ යැයි ද අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඒ සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් ලබාදුනහොත් එය රටේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටීමක් ඇති වන කරුණක් විය හැකි බවද පැවසීය.

රාජ්‍ය ආයතනවලින් ලබාදෙන පහසුකම් මුදල් අයකිරීමෙන් පසුව මිස ණය පදනම මත නොකරන ලෙසට රාජ්‍ය බලධාරීන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදීම මැතිවරණ කල් දැම්මේ පළමු පියවර වන්නේ යැයි මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. මීට පෙර මැතිවරණවලදී මැතිවරණ කොමිෂන් සභාව සහ රාජ්‍ය ආයතන සමග පැවති සහජීවනය මෙවර මැතිවරණයේදී දක්නට නොලැබුණ බවද අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එකී සහජීවනයට බාධා කර ඇත්තේ විධායකයේ අවශ්‍යතාවය මත බව පෙනී යන්නේ යැයිද පැවසීය.

වැඩකටයුතු අවසන් වූ පසු මුදල් ලබාගැනීම සිදුකළ රජයේ මුද්‍රණාලය මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පෙරම සම්පූර්ණ මුදල ඉල්ලා ඇති බවත් අධිකරණයට සිහිපත් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමරු පොතක් මුද්‍රණය කිරීමට පෞද්ගලික මුද්‍රණාලයට යනවිට මුදල් රැගෙන යන්නා සේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට මුදල් රැගෙන යෑමක් සිදුනොවන්නේ ද පැවසීය.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) 14 (1) ඒ යන ව්‍යවස්ථා පදනම්ව එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන්නේය. නීතිඥ සඳමාල් රාජපක්‍ෂ, නීතිඥ සචිර අන්ද්‍රාහැන්නදි යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ අංජන රත්නසේකර මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටියේය.

එම පෙත්සම් විවාදය ලබන මැයි 26 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරු මඬුල්ල ඉදිරි සති හය ඇතුළත මූලික විරෝධතා ප්‍රතිවිරෝධතා සහ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට සියලු පාර්ශ්වවලට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment