කෑම පැකැට්ටුවේ මිල නැග්ගේ පොල් මිල ඉහළ ගිය නිසයි – ආපන ශාලා හිමියන්ගේ සංගමය කියයි

81

පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් කෑම පැකැට්ටුවක මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසන්නේ රුපියල් 60 ක් 80 ක් වැනි මිලකට පැවති සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 120 සිට 150 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වෑංජන පිළියෙල කිරීමේදී පොල් කිරි භාවිත කිරීම අත්‍යවශ්‍ය වන අතර පොල් මිල ඉහළ යෑම නිසා බොහෝ ආපන ශාලා හිමියන් දැඩි අසීරුතාවකට මුහුණ පා ඇති බව ඒ මහතා කියා සිටී.

භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම මත ආපන ශාලාවල අලෙවි වන ආහාර පානවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හාල්, බිත්තර, කුකුළු මස් මෙන්ම ගෑස් ඇතුළු සියලු භාණ්ඩ හා සේවාවල මිල ද ඉහළ ගොස් ඇති බවයි. එවැනි පසුබිමක පොල් ගෙඩියක මිල වේගයෙන් ඉහළ යෑම හේතුවෙන් කෑම පැකැට්ටුවක මිල ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

පොල් මිල ඉහළ යෑම මත පොල් තෙල් මිලද ඉහළ යනු ඇතැයි පැවසූ සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා එළඹෙන උත්සව සමයේ පොල් සහ පොල්තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment