වෛරල් වෙන වැඩක් ළඟදීම…. – හෙෂානි ලියදිපිට

161

නර්තනය පටන්ගත්තෙ අවුරුදු තුනේදි

ඇය නමින් හෙෂානි ලියදිපිට. හෙෂානි නර්තන ශිල්පිනියක් ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල අලුත්ම ටෙලියක රූගතකිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නව කියලයි අපිට දැනගන්න ලැබුණෙ. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි හේෂානි සමග කතාබහක යෙදුණා.

හෙෂානි, මොකද වෙන්නෙ මේ දවස්වල?

මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගතකිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. නාළිකාව සහ වේලාව තවම ස්ථිර වෙලා නැහැ. තව මාස කිහිපයකින් ප්‍රේක්‍ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වේවි. ඒ වගේම මගේ නර්තන පංති තුනක වැඩකටයුතුත් කරගෙන යනව.

වෛරල් වෙන වැඩක් ළඟදීම…. - හෙෂානි ලියදිපිට

නර්තනයට වැඩි ඉඩක් වෙන් කරල නේද?

මම නර්තනයට යොමුවෙන්නෙ වයස අවුරුදු තුනේදි. මගේ ගුරුවරිය වුණේ රැජිනී සෙල්වනායගම්. කාලයත් එක්ක මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරී පත්වෙනව. එතැනින් ලබාගන්නා උපාධියත් එක්ක මගේ උසස් අධ්‍යාපන කටයුතුත් නර්තනය පැත්තෙන්ම හදාරන්න මම තීරණය කරනව. මම ඉගෙනගත්ත දේ තව කෙනකුට දුන්නා නම් හොඳයි කියන අදහසත් එක්ක දෙමව්පියන්ගේ වගේම මගේ මහත්තයාගෙත් අවසරය ඇතිව මම ක්ලාසස් පටන්ගන්නව. කෙටියෙන්ම කිව්වොත්” ඩාන්සිං කියන්නෙ මගේ ජීවිතය.

ඇකඩමියේ වැඩකටයුතු කොහොමද?

ඇකඩමි එක පටන් අරගෙන දැනට වසර එකහමාරක් පමණ වෙනවා. මේ වන විට කොළඹින් පිට දරු දැරියන්ටත් මගේ දැනුම බෙදා දෙනවා.

වෛරල් වෙන වැඩක් ළඟදීම…. - හෙෂානි ලියදිපිට

මේ අතර රඟපෑමටත් ආරාධනා ලැබුණා?

මගේ මුල්ම රංගනයේදීම මට ලැබුණෙ බොහොම ගැඹුරු චරිතයක්. ඉන් පස්සෙ ලැබුණෙ ඊට හාත්පසින්ම වෙනස් වුණ විලන් චරිතයක්. අද මට ලැබිල තියෙන්නෙ අමම්ා කෙනෙකුගේ චරිතයක්.

මේ ආරාධනය ලැබෙන්නෙ කොහොමද?

මට මේ ආරාධනය ලැබෙන්නෙ අපේ නිෂ්පාදකතුමා වන අඛිල ඉද්දමල්ගොඩගෙන් සහ අධ්‍යක්‍ෂ ජනජීව අයියගෙන්.

පිටපත ලියල තියෙන්නෙ ලංකාවේ බොහොම ජනප්‍රිය වුණ ටෙලි නාට්‍යයක පිටපත් රචකයෙක්. බොහොම හොඳ කාස්ට් එකක් වගේම බොහොම වටිනා කතාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.

වෛරල් වෙන වැඩක් ළඟදීම…. - හෙෂානි ලියදිපිට

සිනමාවට ආරාධනා ලැබුණද?

සිනමාවට මට ගොඩක් දුරට ආරාධනා ලැබිල තියෙන්නෙ රජ කතාවලට. එතනදි මම ඇඳුම් ගැන ගොඩක් දුරට සැලකිලිමත් වෙනව. මට ගැළපෙනවද කියන දේ ගැන. මේ වන විටත් අලුත් ආරාධනයක් ලැබිල තියෙනව. අපි බලමු ඉදිරියේදී.

ඔබට සීමාවන් තියෙනවා?

ඔව්” මම විසින් මටම පනවාගත් කොන්දේසි කිහිපයක් තියෙනවා. එතනදි විශේෂ වෙන්නෙ ඇඳුම්. මගේ ඇඳුම් මම දන්න ඇඳුම් නිර්මාණකරුවකු හරහා තමයි නිර්මාණය කරගන්නෙ. ඒ හැරුණාම ලොකු කොන්දේසි දාගෙන නැහැ.

විලාසිතා?

විලාසිතා කරන එක ඕනෑම රංගන ශිල්පිනියකට පොදු දෙයක්. ඔවුන්ගෙන් සහ නිරූපණ ශිල්පීන්ගෙන් තමයි ගොඩක් වෙලාවට මේ විලාසිතා කලඑලි බහින්නෙ. කැමති කෙනෙක් තමන්ගේ ශරීරයට ගැළපෙන විදිහට විලාසිතා කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ.

ටැටූ ගැන අදහස?

ටැටූ කියන්නෙ මම බොහොම කැමති විලාසිතාවක්. නමුත් ඒකට ගෙදරින් යම් යම් නීති රීති දාන නිසා අවුරුදු ගාණක් තිස්සෙ කරගන්න බැරිව හිටියා. මගේ අම්මයි අප්පච්චියි ඒ තරම් කැමැත්තක් නැහැ. නමුත් මහත්තයා නම් කිව්වෙ ඔයා කැමතිනම් ඒක කරන්න කියල. මොකද අපේ තරුණ විය ගෙවිල ගියාට පස්සෙ මේ දේවල් කරල වැඩක් නැති නිසා. අවසානයේ නර්තනයට සම්බන්ධ දෙයක්ම මම ටැටූ එක්ක විදිහට නිර්මාණය කළා.

මේ ටැටූ එක නිසා හේෂානි පසුගිය කාලයේ සමාජමාධ්‍ය තුළ කතාබහට ලක් වුණා?

ලංකාවේ ගැහැනු ළමයෙක් ටැටූ එකක් කළා කියන දේ හොඳ වගේම නරකටත් සමාජය තුළ කතාබහ කෙරෙනව. නමුත් කරන කෙනා ආසාවෙන් කරන බොහොම ලස්සන කලාවක්. ඒ නිසා මම හිතන්නෙ නැහැ ඒ දිහා නරක ඇහැකින් බලන්න ඕන කියල.

හෙෂානි තව ටැටූ කීයකට යන්න අදහස් කරනවද?

ඇත්තටම තව පොඩී එකකට යන්න අදහසක් තිබුණා” නමුත් දැනට තියෙන එක කොටද්දි දැනුණ වේදනාවත් එක්ක තව එකක් ඕන නෑ කියල හිතුව. මේ මගේ වන් ඇන්ඩ් ඔන්ලි ටැටූ එක.

ජනප්‍රියත්වය කරදරයක් වෙලාද?

අනේ නැහැ. මම හිතන්නෙ ප්‍රසිද්ධියට වඩා ජනප්‍රියත්වය කියන දේ හරි වටිනව. ජනයාට ප්‍රිය වීම හැමෝටම ලබන්න බැරි දෙයක්. අදටත් මග තොට යනකොට මුණගැහෙන අය බොහොම ආසාවෙන්” කැමැත්තෙන් අපිත් එක්ක කතාකරනකොට ලොකු සතුටක් දැනෙනව. ඒ ආදරය තමයි අපිව හයියට අල්ලගෙන ඉන්නෙ.

සමාජ මාධ්‍ය ගැන අදහස මොන වගේද?

සමාජ මාධ්‍ය ගත්තොත් හොඳ වගේම නරකත් තියෙනව. අතේ ඇඟිලි පහ එක විදිහ නැහැනෙ. දකින අය විවිධයි වගේම දකින විදිහත් වෙනස්. හැමදෙනාගෙම දේවල්වලින් තමන්ට ගැළපෙන දේවල් අරගෙන හොඳ විදිහට පාවිච්චි කළොත් සමාජ මාධ්‍ය කියන්නෙ හොඳ දෙයක්.

හෙශානි කියන්නෙ පොළොවෙ පය ගහල ඉන්න ගැහැනියක්?

අනිවාර්යයෙන්ම” මම මගේ ගැන ලොකුකම් කියල නැහැ කොතනකවත්. කෙනකුට යම් යම් දේවල් ඇතිවෙනව නැතිවෙනව” නමුත් අපි මැරෙනකං මේ පොළොවේ ජීවත් වෙන්න ඕන. අද ඉන්න තැන හෙට නැතිවෙන්න පුළුවන්. හැමදේම භාරගෙන දරාගන්න නම් පොළොවෙ පය ගහල සිටිය යුතුමයි.

ඔබට තරගයක් නැද්ද?

ඇත්තටම මට එහෙම කිසිම අදහසක් නැහැ. මම හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ මම කරන දේ උපරිම හොඳින් කරන්න. ඒ දේ අපි හරියට කරනවද කියල සොබාදහම බලාගෙන ඉන්නව කියල මම හැම වෙලාවෙම විශ්වාස කරනව. එහෙම වුණොත් ඒ ආශීර්වාදය අපිට ලැබෙයි” අපේ දෙමව්පියන්ට වගේම අපි ළඟ ඉන්න අයට ලැබෙයි.

සැමියාගෙන් ලැබෙන සහය?

ගොඩක් අය හිතුව මම කසාද බැන්දම ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙයි කියල. නමුත් මම ඉවත් වෙන්න හිතුවත් එයා ඒකට කැමති වෙන එකක් නැහැ කියල මට හිතෙනව. මොකද මගේ වැඩවලට ඔහුගෙන් ලැබෙන්නෙ විශාල සහයෝගයක්.

හෙෂානිව ඉදිරියේදී කොහොම දකින්න ලැබෙයිද?

ඉදිරියේදී වෙනස්ම චරිතයකින් මාව දකින්න ලැබෙයි වගේම ඒක බොහෝ දුරට සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් වේවි. ඒ වගේම ලංකාවේ වෛරල් වුණ ටෙලි නාට්‍ය අතරට යන නිර්මාණයක් වේවි කියල මම විශ්වාස කරනව.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – උදිත උමේශ්
මේකප් – උදාර මල්ශාන්

advertistmentadvertistment
advertistmentadvertistment