ජනාධිපතිවරණය පැවැත්වුණේ පසුගිය සැප්තැම්බර් 21 වනදාය. එමගින් මේ රටේ බහුතරයක් දෙනා මවිතයට පත් කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවරට පාර්ලිමේන්තුවට රැස්වුණු හා එහි ජනාධිපති පළමුවරට පාර්ලිමේන්තුව හමුවේ ජාතිය අමතමින් රාජාසන කතාව කළ පසුගිය සතිය මේ රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක සතියක් විය. ආණ්ඩුවට ඡන්දය ලබා දුන් ලක්ෂ හැට අටක පාක්ෂිකයන් පමණක් නොව, මේ රටේ කෝටි සංඛ්‍යාත මහජනතාවද පසුගිය දින කීපය කෙරෙහි අතිශයින් සාවධානව බලා සිටියහ.
මාලිමාවේ ආණ්ඩුව හා සමාජයේ ප්‍රේක්ෂකයෝ…
ජනාධිපති අනුර කුමාර පසුගිය දිනවල සිය මුඛ්‍ය අවධානය යොමු කර තිබුණේ ඉදිරි වසර පහ තුළ තම වැඩපිළිවෙළ රටේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කණ්ඩායම හෙවත් ඇමැති මණ්ඩලය සාදා ගැනීමටය. පසුගිය 15 වැනිදා වනවිට තේරී පත්වන මන්ත්‍රීවරු කවුදැයි රටම දැන සිටියහ. 16 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 18 දෙනා පවා ජාතික ජන බලවේගය විසින් නම්කර රටට හෙළි කර තිබිණි. ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාවේ ඉහළ නායකයන්ට අවශ්‍ය වූයේ ඊළඟට තම කාර්ය සාධක කණ්ඩායම හෙවත් ඇමැති මණ්ඩලය පත් කර ගැනීමයි. අන් කොයි කවර රජයකටත් වඩා වේගයෙන් හා කාර්යක්ෂමව එම කාර්යය ඉටු කර ගන්නට ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ රජයට හැකි වූයේ කල් තියා ඒ සම්බන්ධයෙන් මනා සැලැස්මක් ඔවුන් සතුව තිබුණු නිසා වන්නට ඇත.
ඒ අනුව ඇමැතිවරු 21 දෙනකුගෙන් යුතු ඉතා සංක්ෂිප්ත ඇමැති මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අතර සමාජයේ ඒ සම්බන්ධයෙන් ලොකු විවේචනයක් මතු වූයේද නැත. එයින් කියවුනේ මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාව ප්‍රේක්ෂකයන් වී රජය කරන කියන දේ දිහා හොඳින් විමසිල්ලෙන් බලා සිටින බවකි.
ඇමැති මණ්ඩලය පත්කිරීමේදී විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට හා උගතුන්ට මෙන්ම වෘත්තීයවේදීන් කෙරෙහි වැඩි අවධානය යොමු කර තිබෙන බව පැහැදිලි විය. රටේ ප්‍රමුඛ අවශ්‍යතාවන්ට අනුකූලව ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රාමාණික දැනුම ඇති විද්වතුන්ට වැඩි වගකීම් ප්‍රමාණයක් පවරා තිබිණි. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, නීතිඥයන් ඒ අතර කැපී පෙනෙන්නට විය.
ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කතා කරන විට එම නියෝජනය ඇතුව මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයා වන නිහාල් ගලප්පත්තිට කුමක් හිමිවේ දැයි බොහෝ දෙනා විමසිලිමත් වූයේ මේ අතරය. බහුතරයක් දෙනා විශ්වාසය පළ කළේ ඔහුට කථානායක ධුරය ලබා දෙනු ඇතැයි කියාය.
සමහරුන්ගේ මතය වූයේ කථානායක ධුරය බිමල් රත්නායකට පැවරිය යුතු බවය. එහෙත් ඒ වන විටත් බිමල්ට බලගතු ඇමැති ධුරයක් ලබාදී තිබිණි. ඒ හැරත් දන්නා කියන බොහෝ දෙනකුගේ මතයට අනුව බිමල් යනු අනුරගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකත්ව අනුප්‍රාප්තිකයාය. තතු දන්නෝ කීවේ එබැවින් පක්ෂය බිමල්ව කෙසේවත් කථානායක ධුරය වැනි පාර්ලිමේන්තුවේ වගකීම් බහුල ධුරයක හිර කරන්නේ නැති බවයි.
කෙසේ වෙතත් කථානායකවරයා පත්කිරීම කල් තියා නම් කරන්නක් නොව, පාර්ලිමේන්තුව මුල්වරට රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් වැඩිදෙනාගේ කැමැත්තෙන් පත් කරනු ලබන්නකි. එහෙයින් බොහෝ දෙනකුට කල් තියා අනාවැකි කියනවාට වඩා වැඩි යමක් කරන්නට බැරි විය.
පසුගිය බ්‍රහස්පතින්දා මුල්වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අගමැතිනි හරිනි අමරසූරිය යෝජනා කරනු ලැබුවේ නිහාල් ගලප්පත්තිගේවත් බිමල් රත්නායකගේවත් නම් නොව, වෘත්තීය සමිති නායකයකු ලෙස ප්‍රකට ආචාර්ය අශෝක සපුමල් රංවලගේ නමයි. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ව්‍යාපාරයන්හි අමිල මෙහෙවරක් කරනු ලැබූ අශෝක රන්වල එම ධුරයා සඳහා පත් කරනු ඇතැයි කිසිවෙකු කල් තියා අපේක්ෂා කළ කාරණාවක් නොවීය.
පාර්ලිමේන්තුව රැස්වන්නට පෙර දින කීපයේ ආණ්ඩු පක්ෂයේ වැඩකටයුතුවල කිසිදු ගැටලුවක් අර්බුදයක් අවහිරයක් නොවීය. ඔවුහු පළමුව ජාතික ලැයිස්තුව නම් කරනු ලැබූහ. අනතුරුව ඇමැති මණ්ඩලය පත් කර ගනු ලැබීය. අමාත්‍යාංශවලට අවශ්‍ය ලේකම්වරු පත් කරගනු ලැබීය. අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල හා සභාපතිවරු පත් කරගනු ලැබීය. ඒ අතර ඔවුන් සූදානම් වූයේ පාර්ලිමේන්තු සැසිවාරය 21 වැනිදා නියමිත පරිදි රැස්කර පාර්ලිමේන්තුවේ නිල තල හා වගකීම් පැවරීමේ කටයුතු සිදුකිරීමටයි. ඒ අතර ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන්ද පසු නියෝජ්‍ය ඇමැතිවරු පත්කිරීමට ද ඔවුන්ට ඉතා හොඳ ඉඩ අවකාශයක් ලැබී තිබිණි.
ජාතික ලැයිස්තුවත් අර්බුදයක් වූ හැටි…
ආණ්ඩුව හොබවන මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18 පත්කිරීම කිසිදු ගැටලුවක් නොවූවත් සෙසු පක්ෂවල ජාතික ලැයිස්තුවට අදාළ මන්ත්‍රී ධුර පත් කිරීම නම් පහසු වූයේ නැත. විශේෂයෙන්ම සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැනි පක්ෂවල බොහෝ ගැටලු මතුවිය.
මුලින්ම මේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළාන්තයේය. එයට ඡන්දයෙන් ආසන තුනකුත්, ඒ ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුකූලව ජාතික ලැයිස්තුවෙන් ආසන දෙකකුත් ලැබී තිබීම විශේෂත්වයකි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයට තරග වැදුනේ ස්වාධීන කණ්ඩායමකිනි. මහ මැතිවරණයේදී ඔවුන්ට පක්ෂයක් තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතු විය. පොහොට්ටුවෙන් ඉවත් වී රනිල් ළඟට පැමිණි කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂවලට විවිධ මත තිබිණි. ඒත් අවසානයේ ටිරාන් අලස්ට අයත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය තුළින් ඡන්දය ඉල්ලන්නට අදහසක් පැමිණි වේලාවේ රවි කරුණානායක තවත් යෝජනාවක් ගෙනාවේය. ඒ වූ කලී ඔහුගේ පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමයි. ඒ ඉල්ලීමට සියල්ලන්ගේම අනුමැතිය ලැබුණු නිසා සිලින්ඩරය ලකුණින් රනිල්ගේ කණ්ඩායම තරගයට ආවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය වන ශර්මිලා පෙරේරාට ද ජයග්‍රහණයෙන් පසු ජාතික ලැයිස්තුව යටතේ මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟතාවක්ද තිබුණු බව කියති.
එහෙත් ඔවුන්ට ලැබුණේ අපේක්ෂා නොකළ අන්දමේ අන්ත පරාජයකි. ඒ අනුව හිමි වූයේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රී ධුර දෙකකි. පොරොන්දු වූ පරිදි ඒ ඒ පක්ෂවලට බෙදා වෙන්කර දීමට එම ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවීය.
ඒ කෙසේ වෙතත් රවි තම පක්ෂයට හිමි මන්ත්‍රී ධුරය තමා වෙත ලබාදෙන්නයි ඉල්ලා සිටියේය. හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස පැහැදිලි නැත. කෙසේ වෙතත් පසුගිය දිනක අවසන් සාකච්ඡාවකදී මේ පිළිබඳ කතාබස් කර ඔහු ඉන්දියාවට ගොස් ඇත්තේ තමන් සංචාරය නිමවා පැමිණි පසු මේ ප්‍රශ්නය විසඳන පොරොන්දුව පිටය.
ඒ අතරතුර රවි කරුණාරත්නගේ උපදෙස් පරිදි පක්ෂයේ මහ ලේකම් ෂර්මිලා පෙරේරා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවනු ලැබුවාය. මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි මන්ත්‍රීර ධුර දෙකෙන් එකකට රවි කරුණානායක පත් කරන්නට ඉල්ලීමක් එහි වීලු.
ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා රවී ගේ නම එම පුරප්පාඩුවට පත් කළේය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානයේ බොහෝ පක්ෂ මේ පිළිබඳ දැඩි ලෙස විරෝධය පළ කර සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රවි කරුණානායක කළ හිතුවක්කාරී ක්‍රියාව විවේචනය කරමින් කතා කළේය…
“ඒක එක්සත් ජාතික පක්ෂයේ තීරණයට විරුද්ධයි. රවී කරලා තියෙන වැඩේ එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථා විරෝධී වැඩක්…”
පුවත්පත් සාකච්ඡාවක් තබා පමණක් නිහඬ නොවූ වජිර තම පක්ෂයේ විරෝධය පළ කරමින් මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක්ද යවනු ලැබීය. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි කියමින් වජිර රවීව නම් කිරීමට විරෝධය පළ කළත් සැබැවින්ම එම මන්ත්‍රී ධුරය හිමිව තිබුණේ එක්සත් ජාතික පක්ෂයට නොව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණටය. එහෙයින් වජිරගේ විරෝධය රවීට නම් කිසිසේත්ම අදාළ නොවීය.
මේ අතර රනිල් සමග ඒකරාශී වූ පොහොට්ටුවේ කණ්ඩායම ඇතුළාන්තයේ ද මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමක් හා විස්සෝපයක් තිබිණි. ලිපියක් අත්සන් කර ඒ වන විට පක්ෂ නායක රනිල්ට භාරදී තිබිණි. පාර්ලිමේන්තුවේ හැබෑ හඬක් නඟන්නට නම් එම මන්ත්‍රී ධුර දෙකෙන් එකක් කංචන විජේසේකරට ලබා දෙන්නැයි ඔවුන් එක හඬින් ඉල්ලා තිබිණි.
කවදත් කලබලකාරයකු වන අසාඩ් සාලි රවීගේ පත්වීම දැඩි ලෙස විරෝධයට ලක් කළේය. මාධ්‍ය තුළින් රවීට බැන වදින්නට පවා වූයේ ඔහුට ආවේණික වාග් විලාසය ද විදහා දක්වමිනි.
කෙසේ වෙතත් කිසිදු විරෝධයක් ප්‍රශ්නයක් අවහිරයක් නොමැතිව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ වෙලාවේ පාර්ලිමේන්තුවට ගියේ රවි කරුණානායකය.
ජාතික ලැයිස්තුවේ පහ සජබෙටත් ගැටලුවක්…
මෙවර මහ ඡන්දයෙන් සමගි ජන බලවේගයටද ලැබුණේ ඔවුන් කිසි ලෙසකත් අපේක්ෂා නොකළ අන්දමේ ප්‍රතිඵලයකි. ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළත් සජබය එය සැලකුවේ සුළුතර ජයග්‍රහණයක් කියාය. එම නිසා ජනාධිපතිවරණය කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමට හැකි වෙතැයි ඔවුන් තරයේ විශ්වාස කර සිටියහ.
කෙසේ වෙතත් මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ලැබී තිබුණු මන්ත්‍රී ආසන තිස්පහට සාපේක්ෂව ජාතික ලැයිස්තුවෙන් ලැබී තිබූ ආසන 5 ඔවුන්ගේ සමගි ජන සන්ධානය වටා රොක් වූ පක්ෂ අතර පොරොන්දු පරිදි බෙදා හදා ගන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක් ආසනයක් ලබා දුන්නොත් ඉතුරු වන්නේ ආසන හතරකි. ඒ සඳහා නම් රොත්තකි. එබැවින් කාට දෙන්නෝ කාට නොදෙම්දෝ කියා තීරණයක් ගන්නට සජිත්ට ද පක්ෂ නායකයන් සමග බොහෝ සේ එකඟතාවන්ට එළඹීමට සිදුවිය.
මේ අතර සමගි ජන සන්ධානයේ එක්තරා පූර්ව තීන්දුවක් තිබිණි.
“ඡන්දයෙන් පැරදුනු කිසිම කෙනකුට අපි ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර දෙන්නේ නෑ.” සජිත් කල්තියාම ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබිණි.
එහෙත් මෙවර ලැබුණු අසාමාන්‍ය පරාජයෙන් පසුව දෙමළ මුස්ලිම් පක්ෂවල නායකයෝ එක්තරා සාධාරණ ඉල්ලීමක් සජිත් වෙත ගෙන ආහ… දිගම්බරන් රාධාක්‍රිෂ්ණන් ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක්ම එතන සිටියහ. ඔවුන් එක හඬින් ඉල්ලා තිබුණේ පාර්ලිමේන්තුවේ සුළු ජාතීන් වෙනුවෙන් හඬක් නඟන්නට නම් සියලුම පක්ෂ වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් ඉඩක් මනෝ ගනේෂන්ට ලබා දෙන ලෙසයි.
එහෙත් මේ කාරණාවට සෙසු පක්ෂවල නායකයෝ එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. කොළඹ කණ්ඩායමේ ඊළඟට සිටින්නේ ඉරාන්ය. මනෝ සිටින්නේ 11 වෙනියාටය. එතැනදී ඉරාන් වෙනුවෙන් සමහරු කතා කරන්නට පටන් ගත්හ.
ඒ අතර මහනුවර ලැයිස්තුවෙන්ද ප්‍රශ්නයක් ආවේය. තිස්ස අත්තනායක පක්ෂයේ ජාතික සංවිධායකවරයාය. තේරිපත් වූ ලැයිස්තුවේ ඊළඟට ඔහු ය. මනෝට දුන්නොත් ඔහුට ද අවස්ථාවක් දිය යුතුය.
මේ සම්බන්ධයෙන් බොහෝ ගැටලු තිබුණු බැවින් පසුගිය බදාදා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේ සාකච්ඡාවක් ඇති විය. සාකච්ඡා කරන්නට මෙවන් කරුණු බොහෝ තිබුණත් ඔවුන් සාකච්ඡාව පටන් ගත්තේ මෙම 21 වැනිදා පැවැත්වෙන අලුත් පාර්ලිමේන්තු සැසිවාරයේ ඉටුකළ යුතු කාර්යභාරය ගැන සාකච්ඡා කරමිනි…
“විපක්ෂ නායක ධුරය ගැන රටේ එක එක තැන එක එක්කෙනා එක එක කතා කියනවා… හැබැයි අපි ඉන්නේ ඒ ගැන ඉතා පැහැදිලි තනි තීන්දුවක…” රංජිත් මද්දුම බණ්ඩාර එසේ කීවේය.
“මෙතන ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඕගොල්ල කැමති තීන්දුවක් ගන්න…” සජිත් කීවේය.
“අපි ඔක්කොම එකඟ වෙලා ඉන්නේ ඔබතුමා නැවතත් පත්කරලා යවන්න. එතන වෙනසක් නෑ…”
මෙම රැස්වීමට මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරු 35 දෙනාගෙන් 34 දෙනකුම පැමිණ සිටියහ. එතන හත්දෙනකු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු ය. ඒ සෑම දෙනකුගේම තීන්දුව වූයේ සජිත් විපක්ෂ නායක ලෙස නම් කිරීමටයි. ඔවුන් අත් ඉහළටම ඔසවා ඒ සම්බන්ධයෙන් තම අනුමැතිය පළ කර සිටියහ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කීපයක් ගැන කතාබහ කිරීමෙන් අනතුරුව නිල වශයෙන් පවත්වන සාකච්ඡාව අවසන් විය.
“සමහරු නම් අතන මෙතන කතා කරනවා අපිටත් ජාතික ලැයිස්තුවට පත් කිරීම සම්බන්ධයෙන් ගැටලු තියනවා කියලා…” එසේ කිව්වේ රංජිත් මාද්දුම බණ්ඩාරයි.
“අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. තියෙන්නේ සන්ධානයට අනුව අපිට තියෙන එකඟතාවලට යාගන්න තරම් මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් නැතිවීම…”
“මම නම් කියන්නේ මේක මැතිවරණ පනතේ තියෙන අඩුපාඩුවක්… පැරදිච්ච කිසිම කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ආයේ ඇතුලට ගන්න බැරිවෙන නීතියක් තියෙන්න තිබුණා…”
කෙසේ වෙතත් නිල නොවන මේ කතාබහ අවසන් වූයේ මේ සති අන්තය ආසන්න වන්නට පෙර පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ලැයිස්තුවේ පත්කිරීම් ගැන නිසි තීරණයක් ගනු ඇතැයි කියා විශ්වාසයකින් යුතුවය..
නාමල් පාර්ලිමේන්තුවට…
ජාතික ලැයිස්තුව නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් කිසිදු ගැටලුවක් නොවීය. මැතිවරණ සටන සඳහා නාමල් රාජපක්ෂ රට පුරා ගියේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ට පුළුවන් තරම් දුරට උදව් කරමින් ඔවුන්ව දිනවන්නට දායක වන්නටය. ඔහුට ලෙහෙසියෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කර ඉන් ආසනයක් දිනා ගන්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් නාමල් කල් තියාම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ගැන විශ්වාස කළේය. එබැවින් පොහොට්ටුවට ලැබුණු මන්ත්‍රී ධුරය ඔහු ලබා ගන්නවාට කිසිවකු විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැත.
සර්වජන බලයට හිමි වූ මන්ත්‍රී ධුරය දිලිත් ලබාගෙන පාර්ලිමේන්තුවට යෑම ගැන කවුරුවත් මැසිවිලි නඟන්නට ගියේ නැත.
කොමියුනිස් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහට ද මේ සම්බන්ධයෙන් හොඳ දැක්මක් තිබිණි.
“මේක අපි ලබපු පසුබෑමක් කියලා කොහොමටත් සලකන්න බෑ… මේ රටේ ජනතාවට අපි අවශ්‍යයි. අපිව විශ්වාසයි. හැබැයි මේ වෙලාවේ හිතපු නැති ගැටලුවක් මට වුණා. ජනතාවට ඒකට උත්තරයක් හොයන්නට සිද්ධ වුණා…
අනුර කුමාර දිසානායකට ජනාධිපතිවරණයේදී ලැබුණේ ජයග්‍රහණයක් වුණාට අවම බලයක්. ඔහු ජනාධිපති වෙලා ඊළඟට පිහිටුවන ආණ්ඩුවට පැහැදිලි බහුතරයක් නොලැබුණොත් අතීතයේ සිදුවූ දේශපාලන සන්තෑසි නැවත නැවතත් වේවි කියලා ජනතාව බය වුණා. අස්ථාවර ආණ්ඩු ඇතුළේ මේ රටේ ජනතාව ඕනෑවටත් වඩා දුක් වින්දා. ඒ හින්දා මේ වෙලාවේ කවුරුන් හෝ ඉන්න ජනාධිපතිට හොඳ පාර්ලිමේන්තු බහුතරයක් දීල ඔහු කෙරේ විශ්වාසය පළ කරන්න මේ රටේ ජනතාව පියවර ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී අපට හිමි අපේ කඳවුරේ ඡන්දත් ස්ථාවර ආණ්ඩුවක් ස්ථාවර රටක් වෙනුවෙන් මාලිමාවට ලබා දුන්නා කියලයි මට නම් හිතෙන්නේ….”
සජිත්ට අහිමි වූ පාර්ලිමේන්තු අසුන…
මෙවර පාර්ලිමේන්තුවට ඡන්දෙන් පත් වූ මන්ත්‍රීවරු 196 දෙනාගෙන් මන්ත්‍රීවරු 150 කට ආසන්න ගණනක් නවක මන්ත්‍රීවරුන්ය. සියලු ජාතික ලැයිස්තු මන්ත්‍රී කණ්ඩායම් නම් කළ පසු මේ සංඛ්‍යාව 160ක් පමණ වනු ඇතැයි ගණන් බැලූ ජනාධිපතිවරයා නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ස්ථාවර නියෝග, විනය නීති රීති හා ඇවතුම් පැවතුම් කියාදීමට වැඩමුළුවක් පැවැත්විය යුතු යැයි යෝජනා කළේය.
පසුගිය දිනවල දහ වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වෙනුවෙන් දින තුනක පුහුණු සැසියක් පාර්ලිමේන්තුවේ පවත්වනු ලැබුවේ ඒ අනුවය. පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයාගේ රාජාසන කතාවත් සමග ආරම්භ වූයේ එම පුහුණු සැසිවාරයෙන් පසුව බව අනාවරණය විය.
එම පුහුණු සැසිය නිසා මෙතෙක් කලක් පාර්ලිමේන්තු ක්‍රමවේද සම්ප්‍රදායන් ගැන කිසිවක් නොදැන සිටි බහුතරයක් දෙනා ඉතා හොඳ දැනුමක් හා පුහුණුවක් ඉන් ලබාගත් බවට සැකයක් නොවීය.
පසුගිය 21 වැනිදා නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වූයේ නැතුවට බැරි ඉතා චාම් වත්පිළිවෙත් හා සම්ප්‍රදායන් කිහිපයකට අනුවයි. වෙනදා මෙන් උත්සවශ්‍රීයක් එදා නම් නොවීය. පිළිගැනීම් ආචාර්ය සමාචාරවලින් තොරව අත්‍යවශ්‍ය අංග කිහිපයකින් පමණක් එම ආරම්භක උත්සවය වර්ණවත් විය.
එදින උදෑසන පාර්ලිමේන්තුව නියමිත පරිදි ආරම්භ වී පළමුවෙන්ම කරනු ලැබුවේ කථානායකවරයා නම් කිරීමයි. ඉහත කී පරිදි කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක සපුමල් රන්වල තෝරා ගත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්තීරත්වය අනුවයි. වෙනත් නාම යෝජනා කිසිවක් නොවීය.
අනතුරුව කල්තබනු ලැබූ සභා වාරය නැවත වතාවක් ආරම්භ වූයේ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමගයි. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට ඉතා සුපුරුදු තැනක් විය. පාර්ලිමේන්තුවේ ඉහළම නිලය වන මහ ලේකම්, වේත්‍රධාරී ධුරයේ පටන් පාර්ලිමේන්තුවේ පහළම සේවකයා දක්වා සියල්ලෝම ජනාධිපතිවරයාගේ මිත්‍රයෝ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙදින පාර්ලිමේන්තුවට පැමිණියේ ඒ සියලු දෙනාගේ නොමඳ ආශිර්වාදය හා පිළිගැනීම ඇතිවයි.
ඔහු මෙවර පාර්ලිමේන්තුව අමතමින් කරනු ලැබූ රාජාසන කතාව ඉතිහාසගත රාජාසන කතාවක් වූයේ එමගින් ඔහු රටේ අනාගතය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් දර්ශනයක් හා දැක්ම නිසාය. ඉදිරියේදී රට ගෙනයන මාවත මෙන්ම ඒ මාවතට ආලෝකය සපයන මාර්ගය ඒ කතාව තුළ ඉතා සැකෙවින් ඉතා පැහැදිලිව දක්වා තිබීම විශේෂත්වයයි.
රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය කරුණු කාරණා කීපයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබන මාසය දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබීය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සියලුම තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් අමුත්තන්ට ජනාධිපතිවරයාගේ විශේෂ තේ පැන් සංග්‍රහය සඳහා ආරාධනා කරනු ලැබීය.
“ඉතිහාසය පුරාම මෙවන් තේ පැන් සංග්‍රහයන්ට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වෙලා නෑ. ඇයි මෙවර එන්න කල්පනා කළේ…” පක්ෂ බේදයකින් තොරව සියලුම පක්ෂ මෙම තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වනු දුටු මාධ්‍යවේදීන් එම ප්‍රශ්නය එක් එක් මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියහ.
“නෑවිත් කොහොමද මේක අපේ ආණ්ඩුවනේ…” මාලිමාවේ මන්ත්‍රීවරු කීහ.
“මේක තේ බොන්න එන ගමනක් නෙවෙයි. මේක තමයි සම්ප්‍රදාය. අපි සම්ප්‍රදායට ගරු කරන්න ඕන…” විපක්ෂයේ ඇතැමුන් කීහ.
ඒ අතර නලින්ද ජයතිස්සටත් උත්තරයක් විය…
“අපි මුල් වරට ආණ්ඩුවක් පිහිටුවලා පවත්වන තේ පැන් සංග්‍රහය. අපි ගැන විශ්වාසය තියලා ආපු දෙස් විදෙස් අමුත්තන්ට අපි ගෞරවාචාර දක්වන්න ඕන…”
ඒ අතර චාමර සම්පත් දසනායක එනු දුටු මාධ්‍යවේදීන් වෙනත් ප්‍රශ්නයක් ඔහුගෙන් ඇසුවේය…
“පාර්ලිමේන්තුව සුද්ද කරන්න හිතුවට බදුල්ල පැත්තේ කළුතර පැත්තේ සමහර ගස් ඉතුරු වෙලා වගේ…”
“ඔව් සද්ධන්ත කුලයේ වනස්පති ගස් එක්ක හැප්පෙන්න ආවම බුල්ඩෝසර් වුණත් ආපස්සට තල්ලු වෙනවා… ඔය ඇන්ජින්වල පවර් එක මදි…”
“අලුත් ආණ්ඩුවට සහයෝගය දෙනවද..”
“අපි මොකටද… ඒකට ඔය 159ක්ම ඉන්නේ…”
“හැබැයි අපි හොඳ වැඩවලදී මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා වගේම සාධනීය නොවන තැන්වලදී විරුද්ධ වෙනවා…” විපක්ෂ නායක සජිත් කීවේය.
“වෙනසක් වෙලා නෑ…. අහන්න ඇති රාජාසන කතාව. රනිල් මැතිතුමා කරපු දේම තමයි මේ ගොල්ලත් ඉස්සරහට කරන්නේ..
අයිඑම්එෆ් එකත් එක්ක කරන වැඩ ටික එහෙමම ඉස්සරහට කරගෙන යන්න ඕන කියලනෙ දැන් කිව්වේ…” විපක්ෂයේ මන්ත්‍රීවරු කීපදෙනෙක්ම උත්තර දුන්නේ එසේය…
එදා දවසේ පාර්ලිමේන්තුවේ මේ මොන මොන දේ සිදුවුවත් සාමාජ මාධ්‍යවල මේ සියල්ලටම වඩා ජනප්‍රිය වූ එක් සිද්ධියක් තිබිණි. ඒ වූ කලි සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හැටියට හිමි අසුන එදා දවස පුරාම එක්තරා නවක මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපයක් නිසා අහිමිවී තිබීමයි. සජිත් එදා දවස පුරාම වාඩි වී සිටියේ තමන්ට හිමි නැති වෙනත් අසුනකය…
යාපනය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත්වී පැමිණි මන්ත්‍රීවරයකු වන අර්ජුනා රාමනාදන් වේලාසනම පැමිණ පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ අටවන අසුනේ වාඩි වුණේය. සාම්ප්‍රදායිකව එම අසුනේ වාඩිවන්නේ විපක්ෂ නායකවරයාය. කල් තියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබුණේ පාර්ලිමේන්තුවේ කථානායක, සභානායක, විපක්ෂ නායක ජනාධිපති යන අසුන් හැර අනෙක් ඕනෑම ආසනයක මුල්ම සැසි වාරයේදී කැමැත්ත පරිදි වාඩි වී සිටිය හැකි බවයි.
නවක මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකවරයාගේ අසුනේ වාඩිවී සිටිනු දුටු පාර්ලිමේන්තුවේ සේවක පිරිස ඔහුට තතු පහදා දී වෙනත් අසුනක් කරා වාඩි වෙන්නට යවන්නට උත්සාහ කර සිටියහ. එහෙත් වීඩියෝ කැමරාවක් තමන් දෙසට ඔන් කරගත් අර්ජුනා රාමනාදන් මන්ත්‍රීවරයා එම අසුන කාටද කියා නම සඳහන් කර නැතැයි තර්ක කරමින් තම විරෝධය පළ කර සිටියහ…
කොතරම් කරුණු පැහැදිලි කළත් එම මන්ත්‍රීවරයා එම අසුනින් ඉවත් වූයේ ම නැත. තමන් නවක මන්ත්‍රීවරයකු බවත්, මුල්ම දිනයේ තමන්ට කැමති අසුනක වාඩිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය…
බොහෝ දෙනකු සිතුවේ මුල් සැසිවාරය අවසන් වී නැවත ජනාධිපතිවරයා පැමිණිය පසුවවත් ඉහත මන්ත්‍රීවරයා එම අසුනෙන් ගොස් විපක්ෂ නායකට ඉඩ ලබාදේවි කියාය… එහෙත් විපක්ෂ නායක සජිත් පැමිණෙන්නට පෙර සභා ගැබට පැමිණි මන්ත්‍රීවරයා නැවතත් එම ආසනේම වාඩි වී සුපුරුදු පරිදි සිනාවෙමින් තම දුරකථනයෙන් තමන්ගේම ඡායාරූප ගනිමින් සිටියහ. ඔහු විසින්ම එහිදී සිදුවූ සිද්ධිය සමාජ මාධ්‍යවලට යොමු කර තිබූ බව පසුව අනාවරණය විය…
“ඔබතුමාට දැන් පාර්ලිමේන්තුවේ අසුනත් නෑ…” මන්ත්‍රීවරු සජිත්ට විහිළු කරන්නට වූහ.
“ඒක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඉස්සරහට ඕවා හරියයි…” සජිත් ඒ ගැන වැඩිය කතා කළේ නැත.
“එහෙත් පාර්ලිමේන්තුවේ ඒ ගැන කතාවක් පැතිර ගියේය. මේ වතාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සිටියත් පසුගිය කාලයේ එම මන්ත්‍රීවරයා දේශපාලනිකව උදව් කර ඇත්තේ සජිත් ප්‍රේමදාසටය. සජිත් ගේ ජනාධිපතිවරණ වේදිකාවේ ඔහු යාපනයේදී වැඩ කළ තරුණ වෛද්‍යවරයෙකි.
එහෙත් දිනක් අනාරාධිතව ඔහු ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ රැස්වීමකට පැමිණ ඇත. එම රැස්වීම සංවිධානය කර ඇත්තේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් බැවින් එම අවස්ථාවේදී එම වේදිකාවෙන් බැස නිහඬ වන්නැයි එම මන්ත්‍රීවරයාගෙන් සංවිධායකයෝ ඉල්ලීමක් කර ඇත. එයින් කෝපයට පත් තරුණ වෛද්‍යවරයා සජිත්ට බැණ වදිමින් එතනින් ඉවත්ව ගොස් ඇත්තේ මං කවද හරි එයාවත් ඔය වගේම පුටුවෙන් නැගිට්ටනවා යැයි ශපත කරමිනි…
යාපනය ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් එදා එම අවස්ථාවේදී ගෙන ඇත්තේ කින්නියා හිදී සිදුවූ සිද්ධියේ වාඩුව යැයි තතු දත් සමහර මන්ත්‍රීවරු අදහස් පල කළහ…
මේ ගැන ඇතැම් මාධ්‍ය රාමනාදන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළහ…
“අපිට කවුරුවත් දෙයියො නෙවෙයි… අපිට දෙයියෝ ප්‍රභාකරන් විතරයි. එයා යුද්ධ කරලා මියගියේ අපේ ජනතාව වෙනුවෙන්. හතළිස් හතර දාහක් එයා එක්ක මියගියා. ප්‍රභාකරන් තමයි අපේ දෙයියෝ. මියගිය අය අපි සමරනවා.
සජිත් අපට දෙයියෙක් නෙවෙයි. එයා මාව එදා පුටුවෙන් නැගිට්ටවලා ස්ටේජ් එකෙන් බැස්සුවා. එදා මගේ හිතටත් ලොකු වේදනාවක් ඇතිවුණා. මම කාටවත් වැඩ කළේ නෑ. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක්. මම ඉදිරියටත් හොඳ වැඩ වෙනුවෙන් ආණ්ඩු පක්ෂයට උදව් කරනවා. නරක වැඩ කරන්න ආවොත් විරුද්ධ වෙනවා. මම පාර්ලිමේන්තු ආවේ මගේ ජනතාවට සේවය කරන්න. අවුරුද්දක් දෙකක් ඒ සේවය කරලා මම ඉවත් වෙනවා.
ඊළඟට මම මගේ ජනතාව වෙනුවෙන් උතුරේ පළාත් සභාවට යනවා. අපට එතන හුඟක් වැඩ තියෙයි…
මන්ත්‍රීවරයාගේ අරමුණ එම ප්‍රකාශ වලින්ම මොනවට පැහැදිලි විය… ඔහුගේ ක්‍රියාකලාපය නිසා කිසිවෙක් කලබලයට පත් නොවීම ම විශේෂත්වයකි…
ඒක එයාගේ නිදහස… ඒ විතරක් නෙවෙයි ඒක එයාගේ හැදියාව. එයාට ඕන වුණේ ජනප්‍රිය වෙලා වැඩක් පෙන්නන්න. එතුමා ඒක කළා එච්චරයි.
බුලිත ප්‍රදීප් කුමාර