අවදානම් ගස් සහ තාප්පවලට නඩු

43

කොළඹ නගර සීමාවේ ඉතා අනාරක්ෂිත ආකාරයේ තාප්ප, ගොඩනැඟිලි, ගස් තබාගෙන ඒවාට පිළියම් නොයොදන පෞද්ගලික අංශයේ ආයතනවලට හා පදිංචිකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම පෞද්ගලික ආයතනවලට, එම පදිංචිකරුවන්ට අයත් සමහර තාප්ප, ගොඩනැඟිලි, විශාල ගස් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

අවදානම් සහිත තාප්ප, ගොඩනැඟිලි, ගස් සම්බන්ධයෙන් සොයා බලා ඒවාට පිළියම් යොදන ලෙසට ඔවුන්ට දැනටමත් නගර සභාව මඟින් දැනුම් දී ඇතැයි ද ඇය කියා සිටියාය.

මේ අතර කොළඹ නගර සභා සීමාවේ තිබූ අවදානම් සහිත ගස් දෙසීයෙන් මේ වනවිට ගස් 80ක් කපා ඉවත් කර ඇතැයිද ඇය කියා සිටියාය.

රාජ්‍ය දැව සංස්ථාව හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම කටයුත්ත සිදුකරන බවද ඈ කීවාය.

එසේම පවතින වැසි සමඟ හඹාගිය දැඩි සුළඟින් ගතවූ දින තුන තුළ කොළඹ නගරයේ පැරණිතම ගස් 25ක් පමණ ඉදිරී වැටී ඇතැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment