හැඳුනුම්පත් අංකයට අනුව සේ.අ.අ. සාමාජිකයන් නැවත ලියාපදිංචිය

626

ස්ථිර විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන පෞද්ගලික හා වෙළෙඳ ආයතනයන්හි සහ රාජ්‍ය සංස්ථාවන්හි සේවය කරන සේවක ප්‍රජාවගේ විශ්‍රාම දිවියෙහි සුරක්ෂිතතාවය සහ අභිවෘද්ධිය සාක්ෂාත් කිරීමේ මූලික පරමාර්ථය පෙරදැරි කොටගෙන 1958 වර්ෂයේ දී සේවක අර්ථසාධක අරමුදල පිහිටුවන ලදී. ඒ සඳහා නෛතික රාමුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් ස්ථාපිත කරන ලද අතර, අරමුදලෙහි මෙහෙයුම් කටයුතු 1958 ජුනි මස 01 වැනිදා සිට ආරම්භ කරන ලදී. ඒ අනුව, විශ්‍රාම ප්‍රතිලාභයකට හිමිකම් නොලබන උක්ත සඳහන් ශ්‍රම බළකායෙහි විශ්‍රාම දිවිය සමෘද්ධිමත් කිරීම පිණිස ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වන විශාලතම විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල ලෙස සේවක අර්ථසාධක අරමුදල වඩාත් ශක්තිමත් වෙමින්, කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක සාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි ඒකාබද්ධ වූ සක්‍රීය ක්‍රියාකාරිත්වය තුළින් වර්තමානය දක්වා ඉතා සාර්ථක අඛණ්ඩ ක්‍රියාකාරිත්වයක් සනිටුහන් කිරීමට සමත් වී ඇත.

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව සේවක අර්ථසාධක අරමුදලෙහි පරිපාලක ලෙස කම්කරු දෙපාර්තමේන්තුවත්, අරමුදලෙහි මූල්‍ය කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවත් මූලික වශයෙන් අරමුදලෙහි සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය කේන්ද්‍රකරගත් සාමාජික දත්ත පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යෑමේ අරමුණින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ එහි සඳහන් සම්පූර්ණ නමට අනුව සාමාජිකයන් අරමුදලෙහි නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය 2008 වසරේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ දියත් කර ඇති අතර, 1 වන අදියර 2008 වසරේ සිට ක්‍රියාත්මක වේ. ව්‍යාපෘතියෙහි II වන අදියර යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ ඇතිකරගන්නා ලද අවබෝධතා ගිවිසුමක් යටතේ එම දෙපාර්තමේන්තුවෙහි දත්ත පද්ධතිය වෙත ප්‍රවේශ වීමේ අවකාශ ලබා ගැනීමත් සමඟින් මෙම ව්‍යාපෘතිය නව්‍ය මුහුණුවරක් ගන්නා ලදී. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීම උදෙසා ආරම්භයේ සිට වර්තමානය දක්වා පියවර රැසක් ගෙන තිබේ.

ව්‍යාපෘතියෙහි අරමුණු සහ ප්‍රතිලාභ

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ කම්කරු දෙපාර්තමේන්තුව යන ආයතන ද්විත්වයටම, සාමාජිකයන් හඳුනා ගැනීමේ අනන්‍ය අංකයක් (Unique Identification Member Number -UIMN) හාවිත කිරීම එනම්, සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හාවිත කිරීම මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන ආයතන විසින් සේවක අර්ථසාධක අරමුදලෙහි ලියාපදිංචි වී ඇති ආයතන අංකය කේන්ද්‍රකරගත් (Employee Centric) දත්ත පද්ධතිය, සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය කේන්ද්‍රකරගත් (Member Centric) සාමාජික දත්ත පද්ධතියක් බවට පරිවර්තනය කොට පවත්වාගෙන යෑම මෙම ව්‍යාපෘතියෙහි මූලික පරමාර්ථය වේ. ඊට අමතරව, මෙම ව්‍යාපෘතිය යටතේ දත්ත පද්ධතිය තුළ පවත්වාගෙන යනු ලබන නව සාමාජික ලේඛනය එනම්, සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක අනුව නැවත ලියාපදිංචි කර පවත්වාගෙන යනු ලබන සාමාජික තොරතුරු ඇතුළත් දත්ත පද්ධතිය (New Member Registry – NMR) මගින් පහත සඳහන් ප්‍රතිලාභද ළඟා කරගත හැකිය.

සාමාජිකයන්ගේ පෙර සේවායතනවලට අදාළ සාමාජික ගිණුම් ඔවුන්ගේ සාමාජිකයන් හඳුනාගැනීමේ අනන්‍ය අංකයට එනම්, සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට (UIMN) සම්බන්ධ කිරීම සඳහා නව සාමාජික ලේඛනයක් (NMR) නිර්මාණය කිරීමේ හැකියාව. එනම්, එක් සාමාජිකයෙකු සතු සියලුම සාමාජික ගිණුම් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි භාවිත පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කරන ලද සාමාජිකයාගේ ජාතික හැඳුනුම්පත් අංකයට සම්බන්ධ කිරීමේ හැකියාව.

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති අරමුදලෙහි මූල්‍ය කළමනාකරණය කිරීමේ කාර්යභාරය යටතේ, ආයෝජන කටයුතු සහ ප්‍රතිලාභ නැවත ගෙවීම පිණිස අවශ්‍ය වන ද්‍රවශීල අවශ්‍යතා නිවැරදිව කළමනාකරණය කිරීම/ පුරෝකථනය කිරීම සඳහා අදාළ වන සාමාජිකයන් විශ්‍රාම ලබා ගන්නා වයස පිළිබඳ දත්ත විශ්ලේෂණයක් (Age Analysis) සිදු කිරීමේ හැකියාව.

සාමාජිකයන්ගේ රැකියා විස්තර සනාථ කර ගැනීම සඳහා අවම තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වීම සහ ඔවුන්ගේ සාමාජික තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය කේන්ද්‍ර කොටගෙන දත්ත පද්ධති තුළ ගබඩා වී තිබීම හේතුවෙන් ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ හැකියාව.

ජංගම දුරකථන යෙදුම්, අන්තර්ජාලය හෝ වෙනත් මාර්ගගත ක්‍රමවේද හරහා සේවක අර්ථසාධක අරමුදල මගින් සාමාජිකයන් වෙත ලබාදෙන නවතම සේවාවන් කාර්යක්ෂමව ලබාදීම පිණිස අදාළ සේවා සපයනු ලබන ආයතනය සමඟ ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම් යටතේ සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය අනුව ඔවුන්ව හඳුනා ගැනීමේ හැකියාව.

සාමාජිකයන්ට සහ සේවායෝජකයන්ට අවම තොරතුරු ඉදිරිපත් කිරීම තුළින් සේවක අර්ථසාධක අරමුදල මගින් ලබාදෙන සේවාවන් ඉතා කඩිනමින් ඉටුකර ගැනීමේ හැකියාව. වර්තමානයේ අධික ලෙස දක්නට ලැබෙන සාමාජික නම් සහ ජාතික හැඳුනුම්පත් අංක සම්බන්ධයෙන් වන සංශෝධන අවම කිරීමට හැකි වීම හරහා සාමාජිකයන්හට/ සේවායෝජකයන්හට මෙන්ම සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන්හට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා රැසක් පිටු දැකීමේ හැකියාව.

2022 වසරේදී සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද විදේශ තානාපති කාර්යාල/මහ කොමසාරිස් කාර්යාල වෙත විවිධ පුද්ගලයන් විසින් වීසා ලබා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශවල සත්‍ය/අසත්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීමේ හැකියාව. එනම්, අදාළ පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි භාවිත පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කළ සැණින් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතට අනුව සම්පූර්ණ නම හඳුනාගත හැකි අතර එමගින්, අදාළ තොරතුරු සත්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ඉතා පහසුවෙන් සිදුකිරීමේ හැකියාව පැවතීම.

සේවායෝජකයන් විසින් සැපිරියයුතු, සිය සේවකයන් අරමුදලෙහි නැවත ලියාපදිංචි කිරීම සඳහා වන ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්වල සඳහන් තොරතුරු ඇතුළත් “RR – 6˜
ලෙස හඳුන්වන ආකෘති පත්‍ර සම්පූර්ණ කර එවීමේ අවශ්‍යතාව ඉවත් වීම. මෙමගින් අනවශ්‍ය ලෙස කඩදාසි භාවිතය අවම වීම මෙන්ම සේවායෝජකයන්ට සහ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන්ට මුහුණදීමට සිදුවන අපහසුතා ඉවත් වීම.

ව්‍යාපෘතියෙහි ෂ වන අදියරෙහි ක්‍රියාකාරීත්වය

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් සාමාජිකයන් නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර පවත්වාගෙන යෑම සඳහාම වෙන්වූ නැවත ලියාපදිංචි කිරීමේ අංශයක් 2008 වර්ෂයේදී දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කරන ලදී. ඒ අනුව, ව්‍යාපෘතියෙහි ෂ වන අදියර යටතේ පහත දක්වා අති පරිදි පියවර කිහිපයකින් සමන්විත ක්‍රමවේදයක් අනුගමනය කරමින් සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයන් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය අනුව නැවත ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය සිදු කරනු ලැබේ.

දත්ත රැස් කිරීම

සියලුම සේවායෝජකයන් විසින් තම ආයතනයෙහි සේවය කරනු ලබන සේවකයන්ගේ ජාතික හැඳුනුම්පත්වල සඳහන් තොරතුරු වලට අනුව තොරතුරු සපයනු ලබන “RR – 6˜ ලෙස හඳුන්වන ආකෘති පත්‍ර සහ අදාළ සේවකයන්ගේ ජාතික හැඳුනුම්පත්වල සහතික කළ පිටපත් සේවක අර්ථසාධක අරමුදලේ දෙපාර්තමේන්තුවෙහි නැවත ලියාපදිංචි කිරීමේ අංශය වෙත ඉදිරිපත් කළ යුතුය. නැවත ලියාපදිංචි කිරීමේ අංශය විසින් සියලුම සක්‍රිය සේව්‍යායතන වෙත “RR – 6˜ ආකෘති පත්‍ර යැවීමට කටයුතු කර ඇති අතර සියලුම සේව්‍යායතනවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි නිල වෙබ් අඩවිය වන www.epf.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් “RR – 6˜ ආකෘති පත්‍ර බාගත කරගැනීමේ හැකියාව පවතී.

දත්ත ඇතුළත් කිරීම

“RR – 6˜ ආකෘති පත්‍රයෙහි දක්වා ඇති සාමාජික දත්ත සිදුරුපත් කිරීම සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද බාහිර සේවා සපයන ආයතන විසින් හෝ දෙපාර්තමේන්තුවෙහි අභ්‍යන්තර කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබේ. එසේ ඇතුළත් කළ දත්ත සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව හා අනුබද්ධ තොරතුරු තාක්ෂණ අංශය විසින් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි භාවිත පරිගණක දත්ත පද්ධතිය වෙත මාරු කරනු ලැබේ.

දත්තවල නිරවද්‍යතාවය තහවුරු කිරීම

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි භාවිත පරිගණක පද්ධතියට ඇතුළත් කරන ලද දත්ත, සේවායෝජකයන් විසින් “RR – 6˜ ආකෘති පත්‍ර හරහා ඉදිරිපත් කරන ලද තොරතුරු සමග සංසන්දනය කර පරීක්ෂා කරනු ලැබේ. අනතුරුව, එම දත්තවල නිරවද්‍යතාව තහවුරු කිරීමෙන් පසුව දත්ත සත්‍යාපනය කරනු ලැබේ.

දත්ත සංශෝධනය

“RR – 6˜ ආකෘති පත්‍රවල සහ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි භාවිත පරිගණක දත්ත පද්ධතියෙහි ඇතුළත් දත්ත අතර කිසියම් විෂමතාවක් පවතීනම්, එම සංශෝධන සිදු කිරීම සඳහා වන ආකෘති පත්‍ර (RR-AMD) අදාළ සේවා යෝජකයන් වෙත යවනු ලැබේ. එසේ සංශෝධන ආකෘති පත්‍ර මගින් සේවායෝජකයන් විසින් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි නැවත ලියාපදිංචි කිරීමේ අංශය වෙත එවනු ලබන තොරතුරු සියල්ල නිසි පරිදි පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ සංශෝධන සිදු කරනු ලැබේ.

කේ. ඒ. තමරා එන්. සේනාරත්න,
නියෝජ්‍ය අධිකාරී, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව.


මෙම ලිපියේ ප්‍රකාශිත අදහස් සහ මතයන් ලේඛකයාගේ ස්වාධීන අදහස් වන අතර ඒවා කිසිදු ආයතනයක නිල ප්‍රතිපත්තිය හෝ ස්ථාවරය පිළිබිඹු නොකරයි.

මතු සම්බන්ධයි..

advertistmentadvertistment
advertistmentadvertistment