මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

276

අතීතයෙන් සුවඳ පොදක්

බිරිඳගේ කෑකොස්සම අහන් ඉන්න බෑ. පාන්දර ඉඳලාම ඈ කෑගහනවා. ඒත් ඈ නිවැරදියි. වැස්සත් එක්ක කුස්සි වහලෙ උළු වැටිලා. බිත්ති කඩන් වැටෙන්න ඔන්න මෙන්න. ඒ මදිවාට ගෙදර වතුර බටත් කැඩිලා. වැසිකිළියට වතුර එන්නෙත් නෑ. ගෙයි පේමන්ට් එකෙත් සිමෙන්තිය ගැලවිලා. ලොකු අලුත්වැඩියාවක් හැර විකල්පයක් නෑ. ඒත් කොහොමද ඒක කරන්නෙ! කොහොමද කොල්ලාගේ පන්ති ගාස්තු ගෙවන්නෞ කොහොමද හැන්දෑවට එළවළු ටික ගේන්නෙ! මගෙ ඔළුව අවුල් වෙලා. මට ඕන වුණා කොහේ හරි යන්න. හිස හැරුණු අතේ යන්න. හිස හැරුණු අතේ.

හිස හැරුණු අතේ ගිය මං නැවතුණේ කාලයකට ඉස්සර හුරුපුරුදු ගෙයක් ඉදිරිපිට. හුඟක් කාලයකට ඉස්සර බොහොම හුරුපුරුදු ගෙයක්. මං ගෙදර ඇත්තන්ට කථා කළේ නෑ. කථා කරන්න තරම් හයියක් නෑ මට. මං පිල උඩ වාඩි වුණා. කොච්චර වෙලාවක් පිලේ හිටියාද! කියන්න බෑ. ඒත් එක මොහොතක ඈ එළියට ආවා:

“දෙයියනේ! ඇයි කථා කළේ නැත්තෙ?”

ඇගේ කටහඬ ඇසුවේ කොච්චර කාලෙකින්ද!

“එන්න ගෙට. ඉඳගන්න.” ඈ ආසනයක් පැනෙව්වා. නිමාලි! කොච්චර වයසට ගිහින්ද ඈ! හිසකේ තැනින් තැන සුදු වෙලා. නාදළු දෙතොල් නෑ. අත්දඬු කෝටු ගැහිලා. ඇස් යට කළු වෙලා. රැලි වැටිලා. ඇඳගෙන සිටි වස්ත්‍රයත් ගොමස්කඩයක්.

“ඉඳහිට ලියනවා දකිනවා. ඒත් පත්තර ගන්නෙ නෑ,” ඈ උළුවස්සට හේත්තු වෙලා කථා කළා.

මං වටපිට බැලුවා. අපේ ගෙයින් ලොකු වෙනසක් නෑ. පේමන්ට් එක කැඩිලා පස්වැටිය මතු වෙලා. වහලේ වම්පැත්තෙ උළු නෑ. උළු නැති තැන පොල්අතු වැස්මක් දාලා. පාට පාට ක්‍රෝටන්, ජපන් රෝස, සූරියකාන්ත මල් ගස් ඉස්සර විධියටම පාත්තිවල. ඒත් ගස්වල මල් නෑ. ගස් කනාටු වෙලා. මල් පිපිලා තියෙන්නෙ දාස් ගස්වලයි කූඩලු ගස්වලයි විතරයි. හෝම්පිටිවල පිපෙන මල්.

ටික වෙලාවකින් තේ එකක් ආවා. තිතට නූලට සීනි දාපු ප්ලේන්ටි එකක්. මට එදා සිහි වුණා. ප්ලේන්ටිය තොල ගාන අතරේ ගෙතුළින් කෙඳිරියක හඬක් ආවා. ඒ එක්කම කැස්සක්. මං ගෙතුළ දිහා බැලුවා.

“ඒ අපේ අම්මා!” ඈ හඬ අවදි කළා. “දැන් කාලෙක ඉඳලා ඇඳේ. අතපය හිරිවැටිලා.”

මට සුසුමක් හෙළුණා. ඒත් අඩිය උස්සලා ගේ ඇතුළට ගියේ නෑ. ගිහින් ඈ බලන්න ශක්තියක් තිබුණෙ නෑ. එච්චර කෙළෙහිගුණයක් නෑ මට. එච්චර මං නරුම වෙලා.

එතකොට අම්මාට බෙහෙත් ගන්නෙ නැද්ද?

“සිකුරාදා ඉස්පිරිතාලෙ ක්ලිනික් එකට එක්ක යනවා. ඒත් ළඟකදි බේත් අරන් දෙන්න බැරි වුණා. දැන් ක්ලිනික් ගියාට පාමසියෙන්නෙ බේත් ගන්න වෙන්නෙ.”

ගෙදර වෙන කවුරුද ඉන්නෙ?

“අම්මායි මායි විතරයි, තාත්තා තුන් මාසෙකට උඩදි කකුලෙ අමාරුවකට බේත් ගන්න ගිහින් ඉන්ජෙක්ෂන් එකක් විෂ වෙලා නැති වුණා. පස්සෙ පත්තරවල දැක්කා පරණ ඉන්ජෙක්ෂන් වගයක් පිටරටින් ගෙන්නලා ලෙඩ්ඩුන්ට දීලා කියල.”

ඔව්, එහෙම වුණා පහුගිය කාලෙ. ඒත් දැන් එහෙම කරපු සෞඛ්‍ය ඇමැති දෝෂාභියෝගයකින් එළියට දාලා. හෙට අනිද්දා හිරේට යවාවි. මට එහෙම කියන්න හිතුණා. හිතේ සහනයකට. කතාබහ අතරේ ලොම්හැලුණු බැල්ලියක් ඇවිත් පිලේ පැත්තක ඉඳගත්තා. නිමාලි ඈ එළවන්න උත්සාහ කළේ නෑ.

“මිස් නම් හුඟක් වෙලාවට මං දකිනවා. මං දැන් හන්දියේ ලොතරැයි විකුණනවානෙ. මිසුත් ඉඳහිට ලොතරැයි ගන්නවා.”

ඇගේ කතාව අහන් ඉන්න අමාරුයි. අහන් ඉන්නෙ නැතුවත් බෑ. ඇයි ඈ ලොතරැයි විකුණන්නෙ? ඉස්සර ඈ බතික් වැඩපළක් කළානෙ.

“දැන් බතික් වැඩ කරන්න අමාරුයි. ඩයි වර්ග හරි ගණන්. දරත් ගණන්. ගෑසුත් ගණන්නෙ. කට්ටිය වැඩට එන්නෙත් නෑ. තනියම වැඩ කළත් හදන බතික් රෙදි විකුණගන්න ක්‍රමයක් නෑ.”

එතකොට ලොතරැයිවල ආදායම කොහොමද?

“පහුගිය කාලෙ නම් ලොතරැයි මිල වැඩි වුණා. ඒ හින්දා දවසකට ලොතරැයි පහක්වත් විකිණුණේ නෑ. ඒත් දැන් ආයෙත් මිල බැහැලා. එකම දේ ඉස්සර වගේ මිනිස්සු දැන් ලොතරැයි ගන්නෙ නෑ.”

සුසුමක් හෙළා මං අහස දිහා බැලුවා. වැහි බීරමෙන් අහස වැහිලා. මේ මුරුගසන් වර්ෂාව කවදා ඉවර වෙයිද! කවදා ආපහු ජීවත් වෙන්න පුළුවන් දවසක් උදා වෙයිද! මේවා ගැන හිතන එකේ තේරුමක් නෑ. වැස්ස ඉවර වුණත් ඊට පස්සෙ මොන විජ්ජුම්බරයක් කඩාපාත් වෙයිද!

අවට නිහඬතාව රජ කළා. නිහඬතාව කොච්චර හොඳයිද! කතාබහේ තැවරුණු දුක නිහඬ හඬේ තැවරිලා නෑ. ඒත් නිහඬතාව හදවත පාළු කරනවා. ඒ පාළුව දරාගන්න අමාරුයි. මං වටපිට බැලුවා. නිමාලි ළඟ පාතක නෑ. මං කල්පනා කළා ආපහු යන්න. ආපහු යන්න බැරිද ආ තැනට? පටන්ගත්තු තැනට? සංවේගයක්, සන්තාපයක් නැති නිකැළැල් අතීතයට. නිමාලි එක්ක දෙණිපිටිවල, දොළපාරවල්වල ඇවිද ඇවිද ඉස්කෝලෙ ගිය කාලයට. කජු ගස්වල, දං ගස්වල, මසං ගස්වල ගඩාගෙඩි කඩපු කාලයට.

“මේක මතකද?” මං කල්පනාවෙන් මිදුණේ නිමාලි මා අත තැබූ පිංතූර අලවන පොතෙන්. මං බැලුවා මොකක්ද කියල. පිටු පෙරළුවාම දැක්කෙ ඉස්සර ඉස්කෝලෙ නෝටිස් බෝඩ් එකට මං ලියපු ලිපි: ‘සුබ අනාගතයක්’, ‘අදට වඩා හෙට හොඳයි’, ‘ගහකොළින් පිරි රටක්’…. “කැමති නම් තියාගන්න,” මං පිටු පෙරළන සැටි බලා සිටි ඈ කිව්වා. ඒත් මට ඒ දිහා බලන්නවත් හිතුණෙ නෑ. මේ ජරා ලිපි මංමද ලිව්වෙ? මට ඇත්තට අප්පිරියාවක් දැනුණා.

අන්තිමේ පොත ආපහු දීලා මං පුටුවෙන් නැඟිට්ටා. නිමාලිගෙන් සමුගන්න කලින් මට අහන්න ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නය මගෙ හිතේ නලියෙව්වා: “ඇයි ඈ විවාහ නොවුණෙ?” ඒත් ඒක අහන්න මට හයියක් තිබුණෙ නෑ

ඇගෙන්. එක අතකට එහෙම ප්‍රශ්නයක් අහන්න මට අයිතියක් නෑ. මිනිහෙකුට දුක් ගින්දර දුන්නු මිනිහෙක් ආපහු ඇවිත් “උඹ ඊට පස්සෙ මොකද කළේ?” කියල ඒ මිනිහාගෙන් අහන්න පුළුවන්ද! මං එච්චරටම අමනුස්සයෙක්ද! ඔව්, මං අමනුස්සයෙක් තමයි. ඒත් ඒ ප්‍රශ්නය අහන්න මට දිරියක් තිබුණෙ නෑ. ඇහුවා නම් ඒකට දෙන උත්තරේ නම් මට හිතුණා:

“ප්‍රේමය කියන්නෙ සුලබ දෙයක් නෙවෙයි!”

ඇවිදගන්න බැරි තරම් අමාරුවෙන් පිය ඔසොවා මං ආපහු පාරට ආවා. යන අතක් මට හිතාගන්න බැරි වුණා. හිතන්න හිතන්න ඔළුව අවුල් වෙනවා මට දැනුණා. ඔළුව අවුල් වෙලා තමයි කොහොමත් මගෙ. ඇත්තටම දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලා මගෙ ඔළුව අවුල් වෙලා. ඒත් මං ඔළුව අවුල් වෙලා ආතපාත නැතුව ඉද්දි මේ අහස යටම තව පිරිසක් සැහැල්ලුවෙන්, සන්තෝසෙන් හිනාවෙලා ඉන්නවා! එහෙම ඉන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ. මට එතකොට හිතෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා කියල. එක වර්ගයක් ප්‍රීතිමත් මිනිස්සු. අනෙක් වර්ගය කාලකන්නි මිනිස්සු. කාලකන්නි! එතකොට මං කාලකන්නියෙක්! ඒක හරි. නියම කාලකන්නියෙක්! කාලකන්නි රටකට ඕන නෑ. මේ රටට ඕනම නෑ. මේ රටේ ඉන්න කාලකන්නි හොඳටම ඇති. තවත් ඕන නෑ! මේ රටට මේ මොහොතේ ඕන කරන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ රටේම ඉන්න මිනිස්සු. තව මිනිහෙකුගේ සාක්කුවට විදින මිනිස්සු. හොර මැරකම් කරන මිනිස්සු. පාතාල ලෝකයේ රජවරු. එහෙම නොවන උන් මේ රටේ ඉන්න ඉන්න මේක තවත් කාලකන්නි වෙනවා. ඉතින්, එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment