තම සංගමයේ ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් 2024.07.31 දිනට පෙර නොලැබුණොත් අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනේ සියලුම රාජකාරි කටයුතුවලින් 2024.08.01 දින සිට තම සාමාජිකයන් ඉවත් වන බව ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත.
සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ක්‍රියාකලාපය හමුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු පරිපාලන නිලධාරීන් දැඩි අසාධාරණයට ලක්ව කලකිරීමට පත්ව සිටින බව එම සංගමය විසින් සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට දන්වා තිබේ.
මේ අනුව සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරීන්ට තම තනතුරේ වගකීම හා කාර්යභාරය සලකා අදාළ ලිපි ලේඛනවල සංශෝධනයන් සිදුකිරීමට කටයුතු කරන ලෙස ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් ඉල්ලා ඇත. අදාළ සංශෝධන ගැන ලිඛිතව එම සංගමය විසින් සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයට දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තම සංගමය සූදානම් බවත් තම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලැබෙන තෙක් සමාජ සුභසාධක වැඩසටහනේ සියලුම රාජකාරි කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට 2024.08.01 දින සිට එළැඹෙන බවත් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය කියා සිටී.
ශ්‍යාම් නුවන් ගනේවත්ත