2002 අවුරුද්දේ අත්හිටු වූ වැට් බද්ද මෙවර ක්‍රියාත්මක කරයි…

වෙළෙඳපොළේ තේ පැකට්ටුවෙ බරත් අඩු කරලා මිලත් වැඩි කරලා…

වැට් නිසා අලුත් අපනයනකරුවන්ට තේ කර්මාන්තයට එන්නත් බෑ…

දේශීය වෙළෙඳ පොළට තේ සපයන ලංකා තේ වෙළෙඳුන් නන්නත්තාරයි…

හාල්, බිත්තර වෙළෙඳාමට කරපු නස්පැත්තිය තේවලටත් කරන්න ලෑස්තිය…

තේ කර්මාන්තයේ ඉතිහාසය රට ම දන්නා, මෙරට පෙළ පොත්වල පවා අන්තර්ගත පාඩමකි. එහෙයින් තේවල ඉතිහාසය කියැවීමට අපි උත්සුක නොවෙමු. ලෝකයට විශ්වීය රසයක් උරුම කර දුන් මෙරට තේ කර්මාන්තය ‘වැට්’ නිසා ‘ලොස්ට්’ වන දුක හිතෙන කතාව මෙතැන් සිට පෙළගැස්වීමට අපි අදහස් කළෙමු.

තේ යනු තුන්සිය හැටපස් දවසෙ ම අස්වනු ලබන ආර්ථික භෝගයකි. මෙරට ආර්ථිකයට වසර මුළුල්ලේ ඍජු දායකත්වයක් සපයන අපනයන භෝගයකි. මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන හතරකට වැඩි සංඛ්‍යාවක් පෝෂණය කරන කර්මාන්තයකි. පළාත් පහක් තුළ උඩරට, මැද රට, පහත රට මහා පරිමාණ මෙන්ම මධ්‍ය, සුළු පරිමාණ තේ වතු විශාල ප්‍රමාණයකි. දැනට ක්‍රියාත්මක පවතින තේ නිෂ්පාදන කරන කර්මාන්තශාලා 562ක් වුවද මෙරට ක්‍රියාත්මක පැවැති කර්මාන්ත ශාලා 1600කි. අමු දලු එකතු කරන පිරිස 10,000ට වැඩිය.

අධික අව් රශ්මියෙන් මුළු රට ම ගිනි ගනිමින් තිබෙන මේ දිනවල දලු අස්වැන්න අඩු වුව ද ‘දලු මිල’ අඩු වී නැත. උඩරට තේ දලු කිලෝවක් 180ත් 200ත් අතර මිල මේ වනවිට පහත රට තේ දලු කිලෝවක් 230ත් 240ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව වාර්තා වේ. අපනයනය කරන තේ කිලෝවක තොග මිල ඩොලර් 5කි. එහෙත් නිෂ්පාදන වියදම අධික බැවින් තේ කිලෝවකින් අපනයකරුවන්ට ලැබෙන ලාභය ඩොලර් ශත 50ට වැඩි නැත. තේ මිල අඩුම කෙන්යාවේ තේ කිලෝවක මිල ඩොලර් 2 කි. මේ වනවිට ඉතාම අවම මිලකට ජාත්‍යන්තර වෙළෙඳ පොළට තේ කොළ සපයන කෙන්යාවේ තේ කර්මාන්තයට මුල් කාලයේ දී තාක්‍ෂණය සහ ශ්‍රමය බහුලව ලබාදී ඇත්තේ ශ්‍රී ලාංකීකයන්ය. තේ නිෂ්පාදනය කරන රටවල් අතර පෙරමුණේ සිටි අපේ රට මේ වෙනකොට හතර වෙනි තැනට වැටී ඇති බව සටහන් තැබෙනවිට ඇඟිලි තුඩු වෙව්ළන තරම් ය. එවැනි සෝදාපාළුවකට ලක් වී තිබෙන මෙරට තේ වෙළෙඳාම මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතට පත්කරවීමේ දැවැන්ත කුමන්ත්‍රණයේ ප්‍රථම ජවනිකාව පසුගිය ජනවාරි මාසයේ එළිදැක්විණි. ඒ දේශීය තේ වෙළෙඳාමට 18%ක වැට් බදු (එකතු කළ අගය මත අය කරන බද්ධ) අය කිරීම ය. එම වැට් බදු අය කිරීමත් සමග මහා පරිමාණ හාල් මෝල්ලු පාලනය කරන මෙරට සහල් වෙළෙඳාම, බිත්තර වෙළෙඳාමට සිදුව තිබෙන ඒකාධිකාරිය තේ වෙළෙඳාම තුළ ද නිර්මාණය වන බව දේශීය වෙළෙඳපොළට පමණක් තේ සපයන වෙළෙඳුන් අප සමග පැවසුවේය. නම් සඳහන් නොකර ඔවුන්ගේ හඬ පමණක් අපි මෙසේ වචන කරන්නෙමු.

වැට් නිසා ලොස්ට් වන තේ වෙළෙඳාම

“2002 අවුරුද්දෙත් තේවලට වැට් බදු දැම්මා. ඒත් අය කළේ නෑ. අත්හිටුවූ බදු විදිහට මිල පත්‍රයට ඇතුළත් කළා විතරයි. එහෙම වුණේ එවකට හිටිය අගමැතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණගැහිලා එම බදු අය කිරීමේ විෂමතාවය ගැන පැහැදිලි කරපු නිසයි. එවකට කරලා තිබුණෙත් තේ අපනයනකරුවන්ව වැට් බදුවලින් නිදහස් කරලා,දේශීය තේ වෙළෙඳාම මත බදු පැටවීම. ඒත් අපනයනකරුවන්ගෙන් බොහෝ දෙනෙක් දේශීය වෙළෙඳ පොළටත් තේ නිකුත් කරනවා. ඒ වගේම අපනයනකරුවන් බහුතරය තේ වැවිලි සමාගම්වල හිමිකරුවෝ. අපනයනය සඳහා කොළඹ තේ වෙන්දේසියෙන් මිලදී ගන්නා තේ තොගවලින් යම් ප්‍රමාණයක් දේශීය වෙළෙඳ පොළට නිකුත් කරනවා. ඒ තේ තොග මිලදී ගැනීමේදී වැට් බදු අය කිරීම් නෑ. ඒ වගේම මෙරට වෙළෙඳ පොළට පිටරටවලින් තේ අපනයනය කරනවා. කසළ තේ දේශීය වෙළෙඳ පොළට නිකුත් වෙනවා. කසළ තේ හඳුනාගැනීමේ නිසි ක්‍රමවේදයන් මෙරට තුළ තවම නෑ. වැට් බදු අය කිරීමෙන් පීඩාවට පත් වෙන්නෙ දේශීය වෙළෙඳ පොළට තේ සපයන ව්‍යාපාරිකයන් පමණයි කියලා පැහැදිලි කරනකොට 2002 අවුරුද්දේ හිටපු අගමැතිවරයා යථාර්ථය තේරුම් ගෙන තේ වෙළෙඳාමට පැන වූ වැට් බද්ද අත්හිටු වූ බද්දක් ලෙස නම් කළා. එවකට අගමැතිවරයා සිටි රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ලෙස සිටිය දී පසුගිය ජනවාරි මාසයේ දී දේශීය තේ වෙළෙඳාමට 18%ක වැට් බද්දක් නිකුත් කිරීම අපිට හිතාගන්නවත් බෑ. කෙටියෙන් කියනවා නම් 18%ක නව වැට් බද්ද දේශීය වෙළෙඳ පොළට පමණක් තේ සපයන වෙළෙන්දගේ බෙල්ලට දාපු තොණ්ඩුවක්…”

“උදාහරණයක් විදිහට රුපියල් 1000ට වෙන්දේසියෙන් තේ කිලෝවක් ගන්නකොට වැට් බදු විදිහට රුපියල් 180ක් වැඩිපුර ගෙවන්න ඕන. ඒ මුදලත් එකතු කරලා අපිට දේශීය වෙළෙඳ පොළට තේ නිකුත් කරන්න බෑ. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ඊට අඩු මුදලට වෙළෙඳ පොළට තේ නිකුත් කරන්න පුළුවන්. අපි මිල වැඩි කළොත් වෙළෙඳ පොළෙන් අපේ තේ ප්‍රතික්ෂේප වෙනවා. ඒත් 18%ක වැට් බර දරාගෙන වෙළෙඳාම කරගෙන යන්නත් බෑ. දෙපැත්තෙන්ම හිර කරලා දේශීය වෙළෙඳ පොළෙන් අපිව තල්ලු කරනවා. මෙරට හාල් වෙළෙඳාම, බිත්තර වෙළෙඳාම වගේ තේ වෙළෙඳාමත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතට පත් කරවීමේ පළමු තුරුම්පුව ඇදලා තියෙනවා. ජනවාරි පළමු වැනිදා ඉඳලා ලංකා තේ වෙළෙන්දෝ වෙන්දේසියෙන් තේ ගත්තෙ නෑ. එහෙම අරගෙන මිල කරන්න බෑ. ඒ වගේම තේවලට නිකුත් කරපු වැට් බද්දෙන් රජයට වාසියක් වුණා ද යන්න අපිට සැකයක් තියෙනවා. අවබෝධ වෙන ආකාරයට එම බද්දෙන් රජයට සහනයක් නෑ. ව්‍යාපාරයේ ලාභයට බද්දක් අය කළා නම් රජයට විශාල ආදායමක් ලබාගන්න තිබුණා. අපිට තේරෙන දේ අදාළ නිලධාරීන්ට, බලධාරීන්ට නොතේරීම ගැන ලොකු සැකයක් තියෙනවා. ඒ වගේම මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කළා. නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග මේ ගැටලුව ගැන සාකච්ඡා කළා. තේවලට බදු අය කිරීමේ විෂමතාවයක් තියෙන බව එතුමා අවබෝධ කරගෙන සිටින බවත් අපි සමග පැවසුවා. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග මේ ගැන සාකච්ඡා කළා. තේ මත පැටවූ වැට් බදුවල විෂමතාවයක් තියෙන බව ඔහුත් අවබෝධ කර ගත්තා. දේශපාලන පක්‍ෂ නායකයන්ට මේ ගැටලුව දැනුම් දුන්නා. ඒත් තවම ගැටලුවට සාධනීය පිළියමක් නෑ. ලංකා තේ වෙළෙඳුන්වත්, කුඩා තේ වගාකරුවන්වත් ආරක්‍ෂා කරලා නව වැට් බද්ද ඉවත් කරල දෙන්න කියලා රජයෙන් අපි බැගෑපත්ව ඉල්ලා සිටිනවා. තේ කර්මාන්තයට පොදු සාධරණ බද්දක් අය කළාට අපේ අකමැත්තක් නෑ…” දේශීය වෙළෙඳ පොළට තේ සපයන ලංකා තේ වෙළෙඳුන්ගේ පොදු හඬට අපි විරාමයක් තැබුවෙමු.

වැට් නිසා ලොස්ට් වන තේ වෙළෙඳාම

මෙරට ප්‍රධාන ආහාරය බත් මෙන්ම තේ ද ප්‍රධාන පානයයි. මෙරට බහුතරය තේ පානය කරන බව සැබෑය. දිනකට තේ හතර, පහ බීමට තරම් තේ පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙරට බොහොමයකි. එමෙන්ම මෙරට නිෂ්පාදනය කරන තේවලින් 5%ක් දේශීය පරිභෝජනයට ගනු ලැබේ. දේශීය වෙළෙඳ පොළේ තේ මිල වැඩි වෙන්න තේ පරිභෝජනය පහත වැටෙනු නියතය. එහෙත් මේ වනවිට නගරයේ සුපර් මාර්කට්ටුවේ, හන්දියේ මිනි ෆුට් සිටියේ අලෙවියට තබා ඇති තේ පැකට්ටුවෙ මිලට වැට් බදු එකතු කර තිබේ. ඇතැම් මහා පරිමාණ තේ නිෂ්පාදන ආයතන අතිශය සූක්‍ෂම ආකාරයට තේ පැකට්ටුවෙ බරත් අඩු කර මිලත් වැඩි කර තිබෙන අයුරු අපි නිරීක්‍ෂණය කළෙමු. ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ අලෙවිට තබා ඇති තේ ග්‍රෑම් 40, 50 පැකට්වල මිල අස්ප ගණන්ය. එම තේ කිලෝවක මිල රුපියල් 3600ට වැඩිය. නව වැට් බදු අය කිරීමත් සමග තේ කිලෝවක මිල රුපියල් 150 සිට 200 දක්වා වැඩි වී තිබේ. එහෙත් ලංකා තේ වෙළෙඳුන් වෙළෙඳ පොළට නිකුත් කරන ගුණාත්මක තත්ත්වයෙන් උසස් ම තේ කිලෝවක මිල රුපියල් 1800කි. එමෙන්ම ගුණාත්මක තත්ත්වය අනුව වර්ග කර තේ වෙළෙඳ පොළට නිකුත් කරනුයේ ලංකා තේ වෙළෙඳුන් පමණි. එහෙත් සුපිරි වෙළෙඳ සැල්වලට ලංකා වෙළෙඳුන්ගේ තේ මිලදී ගනු නොලැබේ. ගමේ සිල්ලර කඩේට තේ කුඩු සපයන ලංකා තේ වෙළෙන්දා මිල වැඩි කිරීමට බියෙන් සිටිති. ඒ මෙරට තේ පරිභෝජනය අඩු වෙන්න ප්‍රථමයෙන් පහර වදිනුයේ ඔවුන්ට බව හොඳින් දැන සිටින නිසාය. මේ වනවිටත් දේශීය වෙළෙඳ පොළට පමණක් තේ සැපයුම් කළ ව්‍යපාරිකයන් බහුතරය තේ කර්මාන්තයෙන් ඉවත් වී සිටිති. 2002 වර්ෂය වනවිට 85%ක් පමණ දේශීය තේ සැපයුම්කරුවන් යටතේ තිබුණු වෙළෙඳාම සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. එහෙත් මෙරට වැඩිම දැන්වීම් ප්‍රමාණයක් ප්‍රචාරණය වනුයේ තේ කොළ සම්බන්ධයෙන් බව ද වාර්තා වේ. එමෙන්ම නව වැට් බදු අය කිරීම තුළ අලුත් අපනයනකරුවන්ට තේ වෙළෙඳ පොළට පැමිණීමේ දොරටුව සම්පූර්ණයෙන්ම ඇහිරී තිබේ. එහෙයින් දැනට තේ වෙළෙඳ පොළේ සිටින මහා පරිමාණ අපනයනකරුවන්ට නිරායාසයෙන්ම ඒකාධිකාරියක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලිය. එය තේ කර්මාන්තයේ යහ පැවැත්මට අගුණය.

1965 වර්ෂය වනවිට ලෝකයේ තේ අපනයනය කරන රටවල් අතර මෙන් ම නිෂ්පාදනය කරන රටවල් අතර මෙරට අංක එක ස්ථානයේ වැජඹිණි. සිලෝන් ටී නාමය ලොව බැබළිණි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෝකය හඳුනාගත්තේ සිලෝන් ටී නිසාය. එහෙයින් තේ කර්මාන්තය මෙරට ට සම්පතකි. එහෙත් නිදහසින් පසු මෙරට තේ කර්මාන්තය ද වේගයෙන් ප්‍රපතයට තල්ලු විය. 1972 වර්ෂයේ දී මෙරට වතු රජයට පවරාගෙන අක්කර 50ට වැඩි සියලු තේ වතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතට පත්වීමත් සමග එම කඩා වැටීම වේගවත් විය. තේ කර්මාන්තය සංවර්ධනය කිරීමට පත් කළ බලධාරීන් සහ නිලධාරීන් තේ දල්ලෙන් පෝෂණය වුණා විනා මෙරට තේ කර්මාන්තයේ දියුණුවට කළ සෙතක් නැත. අදට ද එසේය. එහෙයින් දැන්වත් සුදුසුකම්ලත් විශේෂයෙන්ම රටේ තේ කර්මාන්තයට ආදරය කරන, මහා පරිමාණ අපනයනකරුවන්ව මෙන්ම සිල්ලර තේ වෙළෙන්දවත් ආරක්‍ෂා කරන, තේ වතුවල වැඩ කරන අසරණ මිනිසුන් ගැන සංවේදී මනුෂ්‍ය ගතිගුණ තිබෙන පුද්ගලයන්ව අදාළ තනතුරුවලට පත් කළ යුතුය. ලංකා තේ වෙළෙඳුන්ව වැට්වලින් නිදහස් කර තේ කර්මාන්තය පෝෂණය කිරීමේ වගකීම රජය සතුය. වැට් බද්ද අත්හිටු නොවන්න අපේ රටේ මිනිසුන්ට තේ ‘තිත්ත’ වන දවස වැඩි ඈතක නොවෙනු ඇත. එමෙන්ම මෙරට ක්‍රියාත්මක සුපර් මාර්කට් සංස්කෘතිය තුළ සුළු වෙළෙඳුන්ට තේ කුඩු ටිකක් හෝ වෙන යම් දෙයක් අලෙවි කරගැනීමට සිල්ලර වෙළෙඳ සැලක් නැති කොට තිබීම ද මහා ඛේදවාචකයක් බව සඳහන් කළ යුතුය. එය වෙනම කතාවකි.

වැට් නිසා ලොස්ට් වන තේ වෙළෙඳාම

තේවලට වැට් ගැසීමේ වරදක් දකින්න නෑ…

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල්

වැට් නිසා ලොස්ට් වන තේ වෙළෙඳාම

මෙරට තේ කර්මාන්තය සම්බන්ධයෙන් පෙළගැසෙන ප්‍රශ්න පත්තරය ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු. පහතින් පෙළගැසෙනුයේ අපේ ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරුය.

පසුගිය ජනවාරි මාසයේ සිට වැට් බදු අය කිරීම නිසා ලංකා තේ වෙළෙඳුන් අසරණ වෙලා ඉන්නවා…?

“වෙළෙඳ පොළේ විකුණන සෑම භාණ්ඩයකට වැට් බදු අය කරනවා. තේවලට වැට් එකක් ගැහුවා කියලා අසාධාරණයක් වෙන්නෙ නෑ. ඒ නිසා තේවලට වැට් ගැසීමේ වරදක් දකින්න නෑ. මමත් රාජ්‍ය සේවකයෙක් නිසා ඊට වඩා යමක් ප්‍රකාශ කරන්න අමාරුයි…”

තේ අපනයනකරුවෝ බදුවලින් නිදහස් කරලා තියෙන්නෙ ඇයි?

“ලෝක වෙළෙඳ පොළට තේ අපනයනය කරන සෙසු රටවලට සාපේක්‍ෂව අපේ රටේ තේ මිල වැඩියි. ගුණාත්මක තත්ත්වයෙන් කොච්චර ඉහළ වුණත් අපේ රටේ තේ මිල වැඩි නිසා ලෝක වෙළෙඳ පොළේ ඉල්ලුම අඩු වෙලා. බදු ගහල තව මිල වැඩි වුණොත් අපේ තේවලට තියෙන මේ ඉල්ලුමත් නැති වෙනවා. එහෙම වුණොත් මීට වඩා ප්‍රශ්නවලට රටක් වශයෙන් මුහුණ දෙන්න වෙනවා…”

නව වැට් බදු අය කිරීමත් සමග හාල් වෙළෙඳ පොළේ වගේ තේ වෙළඳාමෙත් ඒකාධිකාරියක් ගොඩනැඟෙයිද?

“එහෙම දෙයක් මට පෙන්නෙ නෑ. ඊට වඩා යමක් කියන්නත් බෑ. ඒ ගැන අහන්න ඕන ආර්ථික විශේෂඥයෙක්ගෙන්…’

වැට් බදු අය කිරීමත් සමග අලුත් අපනයනකරුවන්ට තේ කර්මාන්තයට ඇතුළුවීම අපහසුයි නේද?

“එහෙම දෙයක් නෑ. වාර්ෂිකව බිලියන හැටකට වැඩි මුදලක තේ අපනයනය කරනකොට බදුවලින් නිදහස් වෙනවා. බිලියන හැටකට වඩා අඩු වුණොත් තමයි වැට් බදු ගෙවන්න වෙන්නෙ. වාර්ෂිකව බිලියන හැටකට වඩා අපනයනය කරන්න අපනයනකරුවන්ට ශක්තිය තියෙන්න ඕනෑ. එහෙම නැති අයට කරන්න දෙයක් නෑ…”

තේවලට වැට් අය කිරීමේදී රජයට සැලකිය යුතු බදු ආදායමක් ලැබෙනවා ද?

“ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒ ගැන අපි පැහැදිලි කරල තියෙනවා. අපි පැහැදිලි කරපු දේ ඒ අය අවබෝධ කරගෙන තියෙනවා නම් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒ ප්‍රශ්නය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අහන්න ඕනෑ…”

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment