රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අස්වැසුම වැඩසටහන නිසා සමස්ත සමෘද්ධි ව්‍යාපාරයම අක්‍රියවී ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ අරමුදල, නිවාස ලොතරැයි අරමුදල සහ අනිවාර්ය ඉතිරි කිරීමේ අරමුදල මේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇති බවත් ඉන් සමෘද්ධිලාභීන්ට හිමිවූ ප්‍රතිලාභ සියල්ල අහිමිවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 16ක පිරිසෙන් ලක්ෂ 08ක් පමණක් අස්වැසුම වැඩසටහනට තෝරාගෙන ඇති අතර ඒ කිසිවකුත් සමෘද්ධි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ හා සම්බන්ධ කර නොමැති නිසා ඔවුන්ගෙන් සමාජ ආරක්ෂණ අරමුදලට, නිවාස ලොතරැයි අරමුදලට සහ අනිවාර්ය ඉතිරි කිරීමේ අරමුදලට කිසිදු මුදලක් බැර නොවන නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි ද පැවසීය.
එබැවින් ඔවුනට මෙතෙක් හිමිවූ මරණයකදී රුපියල් විසිදහසක මුදල, විවාහයකදී රුපියල් දස දහසක මුදල, තුන් නිවුන් දරු උපතකදී හිමිවූ රුපියල් විසි දහසක මුදල, රෝහල් ගතවීමකදී දිනකට හිමිවූ රුපියල් තුන්සීය පනහක මුදල, දරුවන්ට ලබාදුන් ශිෂ්‍යත්ව ආධාර, නිවාස ඉදිකර දීම ඇතුළු සියලු ප්‍රතිලාභද අහෝසිවී ඇතැයිද ජගත් කුමාර මහතා සඳහන් කළේය.
නිවාස ලොතරැයි අරමුදල මගින් සමෘද්ධිලාභීන් එක් ලක්ෂ හතළිස් දහසකට නිවාස ඉදිකර දුන් බවත් දරුවන් හතළිස් තුන්දහසකට ශිෂ්‍යත්ව අරමුදල් ලබාදුන් බවත් පැවසූ ඒ මහතා මින් ඉදිරියට ඒ කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක කළ නොහැකි යැයිද කීවාය.
වසර විස්සකට ආසන්න කාලයක් සමෘද්ධි ව්‍යාපාරය තුළ සිටි අඩු ආදායම්ලාභී ජනතාවට අස්වැසුම වැඩසටහන නිසා මේ සියලු ප්‍රතිලාභ අහිමිවීම බරපතළ ඛේදවාචකයක් බවත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට තම සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇතත් මෙතෙක් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ජගත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උපාලි ද සේරම්