ආණ්ඩුව හැම අතින්ම අසමත් වෙලා – සජබ තලවකැලේ මැයි ජන රැලියේදී සජිත් කියයි

68

ආණ්ඩුව ජනතාවට ලුණු ටිකවත් දීගන්න බැරි තරමට අසාර්ථක වෙලා

ගම දිනවන සටන මැයි 6දායින් පසු අරඹනවා

ඊ.ටී.එෆ්. හා ඊ.පී.එෆ්. එකටත් පොකැට් ගහන්න හදනවා

ඡන්ද දෙකක්ම දිනුවේ බොරු කියලා

අද හැම තැනම මිනිස්සු වෙඩි කා මැරෙනවා

රටේ නීතිය හා සාමයත් බිඳවැටිලා

ලබන මැයි මස 6 වැනිදාට අති බහුතරයක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමෙන් පසුව සුභ මොහොතෙන් දිනවන ගමන ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි මැයි රැලිය අමතමින් ඊයේ (01දා) පැවසීය.

තලවකැලේ මහජන ක්‍රීඩාංගණයේ පැවති සමගි මැයි රැලියට විශාල පිරිසක් එක්ව සිටි අතර එම පක්ෂයේ මැයි දින යෝජනා හතක් සුභාෂ් කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කළේය.

එහිදී සමගි මැයි රැලිය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

මේ යුගය වැඩකරන ජනතාවගේ අයිතීන් අහිමි කරන යුගයක්. පසුගිය රජයත් මේ රජයත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. එකට පික් පොකට් ගහන්න සූදානම් වෙනවා. වැඩකරන ජනතාවට අපි කියනවා හැමදාමත් සමගි ජන බලවේගය ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක.

ආණ්ඩුව හැම අතින්ම අසමත් වෙලා - සජබ තලවකැලේ මැයි ජන රැලියේදී සජිත් කියයි

මේ ආණ්ඩුව මැතිවරණ දෙකම දිනුවේ බොරු කියලා. ඒ අය පොරොන්දු වුණු පොහොසත් ජීවිතය ඔබට උදාවෙලාද කියලා මම අහනවා.

පිට පිටම තුන්වෙන පාරටත් මේ මැතිවරණයේදී ආණ්ඩුවේ පච මල්ල එළියට දාලා. අපි ආණ්ඩුවට කියනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවලින් අතිමහත් බහුතරය ජයගන්නේ සමගි ජන බලවේගයයි කියලා. මේ රටේ ජනතාව ආණ්ඩුවේ බොරුවට තවදුරටත් රැවටෙයි කියලා හිතන්න එපා කියලා අපි අනුර කුමාර ජනාධිපතිට වහාම කියනවා.

මේ මැතිවරණය අවසන් වූ වහාම විදුලිබිල වැඩිකිරීමට අයි.එම්.එෆ්. එකත් එක්ක එකඟතාවකට ඇවිත් තියෙනවා කියලා අපිට ආරංචියි. 33%කින් විදුලිබිල අඩුවෙනවා කියපු ජනාධිපතිවරයාගෙන් අපි අහනවා ඇයි මේතරම් ජනතාවට බොරු කරන්නේ කියලා.

අපි ජනතාවට කියනවා එළැඹෙන මැතිවරණයේදී මේ ආණ්ඩුවට රතු එළියක් පෙන්වන්න සමගි ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා.

ආණ්ඩුව කිව්වා බදු බර නිසයි තෙල් මිල අඩු කරන්න බැරි කියලා. අනුර කුමාර පොරොන්දු වූ පරිදි වරායේ බාන මිලටම දැන් තෙල් දෙනවාද කියලා අපි අහනවා.

උපාධිධාරීන් 35,000කට රැකියා දෙනවා කියපු ආණ්ඩුවේ පච මල්ලට මේ පාර රැවටෙන්න එපා කියලා මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දෙන්න බැරි ආණ්ඩුවක් අද තියෙන්නේ. ලැජ්ජයි. මහලොකුවට කියනවා උගතුන්, මහාචාර්යවරුන් රට පාලනය කරනවාලු, ඔන්න මෙයාලා ගොඩනඟපු ලස්සන රට.

අද හැමතැනම මිනිස්සු වෙඩි කනවා, මරනවා, උපාධිය ඇතුළේ විනිසුරුවරු ඉදිරියේ මිනී මරනවා. රටේ නීතියක් නැහැ. නීතිය පාතාලය අතට ගිහිල්ලා. ආණ්ඩුව මොනවාද රටේ නීතිය හා සාමය වෙනුවෙන් කරලා තියෙන්නේ. අපි ජනතාවට පොරොන්දු වෙනවා විපක්ෂයක් හැටියට වුණත් මේ රටේ නීතිය හා සාමය ගොඩනඟන්න ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා කියලා.

ආණ්ඩුව හැම අතින්ම අසමත් වෙලා - සජබ තලවකැලේ මැයි ජන රැලියේදී සජිත් කියයි
සජිත් සහ දිගම්බරම්

මේ මැතිවරණය ඉතා තීරණාත්මකයි. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ වැරදියි කියන පණිවුඩය මේ මැතිවරණය හරහා ලබාදිය යුතුයි. ලබන 6 වැනිදාට අපි සුභ මොහොතින් ගම දිනවන ගමන ආරම්භ කරනවා. ඒ සඳහා අප සමග එකාවන්ව එකතුවන මෙන් මේ රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා

මේ රටේ ඉතිහාසයේ හිටපු රජවරු අතරින් චේතිය රජු තමයි වැඩිම බොරු කියපු රජා. අද දෙවන චේතිය රජ්ජුරුවෝ අපේ අනුර කුමාර දිසානායක නමැති පචමල්ල ජනාධිපති විදියට පවත්වන පළමු මැයි රැලිය අද ගාලු මුවදොරදී පැවැත්වෙනවා. ඒ මැයි රැලියේ කලින් වගේ දෑකැත්ත, මිටිය නැහැ. ලෙනින් විජේවීර නැහැ. අපේ රටේ මෙච්චර කාලයක් අපේ කම්කරුවෝ නොමඟ යවලා පාරට බස්සලා රට විනාශ කරපු ආණ්ඩුව අද කම්කරුවන්ට පයින් ගහලා හාම්පුතුන්ගේ පැත්ත අරගෙන.

පසුගිය මාස 7ටම මේ ආණ්ඩුව කළේ ව්‍යාපෘති 4යි. පළමුවැන්න ජපන් ජබර ගැළවීමේ ව්‍යාපෘතිය, දෙවැන්න ස්ටිකර් ගැලවීමේ ව්‍යාපෘතිය, තුන්වැනි එක වඳුරන් ගණන් කිරීමේ ව්‍යාපෘතිය, අනික දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම. අපි ආණ්ඩුවට කියනවා පුළුවන්නම් ඡන්දෙට කලින් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් 7 මොනවාද කියලා කියන්න. 6 වැනිදාට මේ පච කුමාරලාට මතක හිටින පාඩමක් උගන්වන්න මේ රටේ ජනතාව සූදානමෙන් සිටිනවා කියලා අපි විශ්වාස කරනවා.

ආණ්ඩුව හැම අතින්ම අසමත් වෙලා - සජබ තලවකැලේ මැයි ජන රැලියේදී සජිත් කියයි

සමගි වතු සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා –

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මේ රටේ ජනතාවට විශාල පොරොන්දු රාශියක් දීලා බලය ගත්තා. ඒ වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගත්තා. මම අහන්න කැමැතියි මේ ආණ්ඩුව එදා දුන්න පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවාද? කියලා. මේ ආණ්ඩුව තරම් බොරු පොරොන්දු දීපු ආණ්ඩුවක් තවත් නැහැ.

වතුකරය නියෝජනය කරමින් පත්වුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ඔබලාගේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේදී කතා කරනවාද? අදත් වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ අපේ මන්ත්‍රීවරු විතරයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු වචනයක් කතා කරන්නේ නැහැ. වතු ජනතාව වෙනුවෙන් මේ අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ මිලියන 2000යි. ඒ මුදලින් මොනවාද කරන්න පුළුවන්. දැන් නැවතත් ඔබලා ඉදිරියට ඇවිත් අර පරණ පොරොන්දු ආපසු දෙන්න පටන් අරන් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට වතුකරයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳීමට විශාල බලාපෙරොත්තුවක් තියෙනවා. ඒ සඳහා එතුමාට ඉතා හොඳ වැඩපිළිවෙළක් තියෙනවා. එකවර ඉඩම් කැබලි 50,000ක් ලබාදීමට අපේ පක්ෂයේ වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් රටේ අවාසනාවට අපිට එතුමා බලයට ගේන්න බැරිවුණා. අද ජනතාවට තේරිලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතාගේ වටිනාකම. තව වැඩිකලක් නොගිහින් මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමායි.

කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන් මහතා

පසුගිය ජනාධිපතිවරණයේදී නුවරඑළියේ ජනතාව ලක්ෂ එකහමාරකට වැඩියෙන් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දුන්නා. මහා මැතිවරණයේදී අපේ පක්ෂයේ මන්ත්‍රීවරු 3 දෙනෙක් පත්වුණා. ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු 5 දෙනෙක් පත්වුණා. ඒ පස්දෙනා කවුද කියලවත් මේ ජනතාව දන්නේ නැහැ. අද ඒ මන්ත්‍රීවරු කොහෙද කියලා හොයාගන්න නැහැ. අපි කවදාවත් ජනතාව අමතක කරන්නේ නැහැ.

සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, භාණ්ඩාගාරික, ආචාර්ය හර්ෂ ද සිල්වා, ජාතික සංවිධායක, තිස්ස අත්තනායක, ජාතික කම්කරු පෙරමුණේ නායක පී. දිගම්බරන්, නලින් බණ්ඩාර, චමින්ද්‍රානි කිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම මැයි රැලියට එක්ව සිටියහ.

කමල් බෝගොඩ, අකිත පෙරේරා සහ හැටන් – මනුර සුදත් සෙල්ලහේවා


advertistmentadvertistment