තනි අශ්වයකුගේ තරගයකට වඩා මෙහෙම ජයග්‍රහණයකට කැමැතියි  – ඉන්දීය නායක රෝහිත් ශර්මා

245

පාකිස්තාන තරගය ජයගත හැකි බවට ඉනිමේ හරි අඩක් ගත වනවිට අවබෝධ වූ බවත් තනි අශ්වයෙකුගේ ජයග්‍රහණයකට වඩා තියුණු මුහුණුවරක් ගන්නා මෙවැනි ජයග්‍රහණයන්ට තමා කැමති බවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කළේය.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පෙරේදා (28 වෙනිදා) ඩුබායි  ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලිය යටතේ පැවැති තරගයෙන් ඉන්දියාව කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූයේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 147 ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු වාර 19.4 ක් තුළදී කඩුලු 5ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් වූයේය.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාන්ඩයා දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය.

පන්දු යැවීමෙන් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත් හර්දික් පාන්ඩයා ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 6, හයේ පහරකින් ලබා ගෙන නොදැවී ලකුණු 31ක් ලෙස සිය ඉනිම සටහන් කර ගත්තේය.

“හර්දික් නැවත කණ්ඩායමට පැමිණීම විශිෂ්ට අවස්ථාවක්. ඔහුගේ පිතිහරඹය පිළිබඳව අපි හොඳට දන්නව. පසුගිය අයිපීඑල් තරගාවලියේ දී ඔහු තවත් ශක්තිමත් වුණා. අපේ වේග පන්දු යවන්නන් පසුගිය මාස 12 ක කාලයේ පටන් ඉතා හොඳ කාර්යයක් ඉටු කළා. පිටිය මැදදී කරන්න ඕන දෙය පිළිබඳව හැමැදෙනාම ලොකු අවබෝධයකින් ඉන්නවා” යැයි ද ඉන්දීය නායකයා ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශ කර සිටියේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුවනේශ්වර් කුමාර් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේ දී නවක ක්‍රීඩක නසීම් ශා කඩුලු 2ක් ද, මොහොමඩ් නවාස් කඩුලු 3ක් ද දවා ගත්හ.

පාකිස්තානය පන්දු වාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147 (මොහොමඩ් රිස්වාන් 42, ඉෆ්තිකාර් අහමඩ් 28)

ඉන්දියාව පන්දු වාර 19.4දී කඩුලු 5ක් දැවී ලකුණු 148 (විරාත් කෝලි 35, රවීන්ද්‍ර ජඩේජා 35, හර්දික් පාන්ඩයා නොදැවී 31)

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment