ආතතිය නිසා ඇතිකරන දිගු කාලීන පීඩා

9

ආතතිය යනු, අභියෝගයන්ට සහ අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ශරීරය සූදානම් කරන ස්වභාවික ප්‍රතික්‍රියාවකි.

ඉදිරියේදී ඇති විය හැකි දුෂ්කර අවස්ථාවකට මුහුණ දීම සඳහා ශරීරය සූදානම් කරන හෝමෝන මුදාහැරීම ආතතියෙන් ප්‍රේරණය කෙරේ.

කෙටිකාලීනව ගත් කල, මෙම ප්‍රතිචාර දැක්වීම මගින් කිසියම් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඒ පිළිබඳ ක්‍රියාකාරීත්වය ඉහළ නංවයි.

නමුත්, දිගින් දිගට ම ආතතියෙන් සිටීම නිසා කාංසාව, හදවත් රෝග මෙන් ම ප්‍රතිශක්තිය දුර්වල වීම වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වන බව ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය පවසයි. රැකියාව, මුදල් ආශ්‍රිත ගැටලු සහ පෞද්ගලික සබඳතා වැනි ආතතිය ඉහළ නංවන හේතු බොහෝවිට වැළැක්විය නොහැක. මෙහිදී ප්‍රධානතම වෙනස වන්නේ, ආතතිය පවතින කාලසීමාවයි. උග්‍ර ආතතිය කෙටිකාලීන වන අතර, එය ප්‍රතිලාභ සහිත ය. එහෙත් නිදන්ගතව පවතින ආතතිය ශරීරයට දීර්ඝ කාලීන පීඩා ඇති කරයි.

“උග්‍ර ආතතිය කියන්නේ සුවිශේෂී අවස්ථාවකට ප්‍රතික්‍රියාවක් වෙන කෙටිකාලීන එකක්. සමහර අවස්ථාවලදී එය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්,” මනෝචිකිත්සකවරියක සහ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ බ්‍රිතාන්‍ය සංගමයේ සාමාජිකාවක වන රැචල් වෝරා බීබීසී වෙත පැවසුවා ය.

“ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් මුදාහරිමින් එය සටන් කිරීම හෝ පැන යෑම යන දෙකින් එකකට ප්‍රතිචාර දක්වනවා. එමගින් අපට අවධානය තියුණු කර ගන්නත්, ප්‍රතිශක්තීකරණය තාවකාලිකව ඉහළ නංවා ගන්නත් හැකි වෙනවා.”

නිසි පරිදි පාලනය කර ගතහොත් උග්‍ර ආතතියෙන් කිසිදු දීර්ඝකාලීන පීඩාවක් හට නොගන්නා අතර, හදිසි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පුද්ගලයින්ට එමගින් ලබා දේ. නමුත්, කලක් තිස්සේ පවතින ආතතිය නිසා ශරීරයට දීර්ඝකාලීනව බලපාන පීඩා ඇති කරයි.

දිගු කාලයක් තිස්සේ පවතින ආතතිය නිසා ඉහළ යන ආතතියට සම්බන්ධ හෝමෝන මට්ටම්වලින් හදවත් රෝග හටගැනීමේ අවදානම ඉහළ යන අතර, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීමත්, ආහාර ජීර්ණ ක්‍රියාවලියෙහි ආබාධ, එනම් පීඩාකාරී බඩවැල් රෝගය (irritable bowel syndrome – IBS) සහ ආමාශයේ තුවාල හටගැනීම ද සිදුවිය හැකි බව වෝරා පැහැදිලි කළා ය.

කාංසාව සහ විශාදය කෙරෙහි නිදන්ගත ආතතියෙන් ඇති කෙරෙන බලපෑම නිසා මානසික ක්‍රියාකාරීත්වය අඩුවීම, නින්ද යෑමෙහි ගැටලු සහ ශාරීරිකව වයසට යෑම ඉක්මන් වීම වැනි ගැටලු මතු වෙයි. කාලය සහ විසඳීම අතර පවතින මෙම මූලික වෙනසෙහි බලපෑමෙන් නිදන්ගත ආතතිය ක්‍රමක්‍රමයෙන් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි වන බව වෝරා පෙන්වා දෙයි.


advertistmentadvertistment