ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ගන්න

90

ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා වෙත යොමුකර ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොමැති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේදී නැවත විභාගයට ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123, 125 සහ 132.3 ව්‍යවස්ථා යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය ක්‍රියාත්මක කර ගැනීම සඳහා වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම හා වෛද්‍ය වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන මහත්වරුන්, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වෙත එම පැමිණිල්ල ගොනුකර තිබේ.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් මතුකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ පවතින හේතු නොදැක්වීම ඇතුළු දෝෂ නිවැරදිකරන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 ව්‍යවස්ථාව අනුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හේතු දක්වන තීරණයක් යොමුකරන ලෙසත් සිංහල භාෂා පාඨය බලපැවැත්වෙන පනත් කෙටුම්පතක ඇති වෙනස්කම් විෂමතා නිශ්චිතව සහ නිවැරදිව දක්වන තීරණයක් යොමු කරන ලෙසත් එමඟින් ඉල්ලා තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment