ඇමෙරිකානු බදු මුදල් ඩොලර් ටි‍්‍රලියන 14ක් අළුකර දැමීම

174

වියට්නාම යුද්ධය නිසා එක්සත් ජනපදය පිළිබඳව ලොව පුරා බලවත් අප‍්‍ර‍්‍රසාදයක් ගොඩනැඟුණු අතර ඒ යුද්ධයට ඩොලර් බිලියන ගණනක් වැය වූවා පමණක් නොව, ඇමෙරිකානු ජීවිත 58,000කට අධික සංඛ්‍යාවක් අහිමි විය. 1975 සයිගොන් බිඳ වැටෙනවිට ඇමෙරිකාවේ ජනපති වූයේ ජනාධිපති ජෙරල්ඞ් ෆෝඞ් වේ. ඇෆ්ගන් යුද්ධයට ඇමෙරිකාව වැය කළ මුදල ඩොලර් ටි‍්‍රලියන දෙක කි. මියගිය ඇමෙරිකානුවන් ප‍්‍ර‍්‍රමාණය 2300කට අධික ය. ඩොලර් බිලියන 83කට ආසන්න මුදලක් වැයකර තැනූ ඇෆ්ගන් හමුදාව තලේබාන් සාමාජිකයන් ඉකුත් අගෝස්තුවේ කාබුල් නුවරට පැමිණෙනවිට එකදු වෙඩිල්ලක් හෝ තැබුවේ නැත. ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඉවත්වීම අගෝස්තු 31 වැනි දා දිනයේ සිදුකිරීමට නියමිතව තිබූණත් අතර නමුත් පසුගිය වසරේ අගෝස්තු 15 වැනි දා කාබුල් ජනපති මන්දිරයේ තලේබාන් නායකයෝ සිය තුවක්කු මේසය මත ප‍්‍රදර්ශනය කරමින් ඉස්ලාමික එමීරය ප‍්‍රකාශයට පත්කළ හ.

තලේබාන්වරු බලය අල්ලා ගැනීමෙන් පසුව කාබුල් ගුවන් තොටුපළේ සිට ගුවන්ගතවූ ඇමෙරිකානු හමුදා ප‍්‍රවාහන ගුවන් යානයක ඇෆ්ගන් ජාතිකයන් එල්ලී සිටින අවස්ථාව, ඇමෙරිකානු පරාජය පැහැදිලිව නිර්වචනය කරන සේයාරුව බවට පත්විය. කාබුල් මොහොත ලෙස මෙය ජාත්‍යන්තර මාධ්‍ය මගින් අර්ථ දක්වා තිබිණි. පසුගිය වසරේ ඇමෙරිකාව කාබුල් නුවරින් පලා යෑම සිහි කළේ ඇෆ්ගනිස්තානයේ, ඉරාකය හා මැද පෙරදිග කලාපයේ දශක දෙකක් පුරා පැවැති යුද්ධ වෙනුවෙන් එක්සත් ජනපද ආණ්ඩුව ඩොලර් ටි‍්‍රලියන 14ක් වියදම් කර ඇති බව වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත අනාවරණය කිරීම නිසා ය. 2001 සැප්තැම්බර් 11 වැනි දින සිට එක්සත් ජනපද ආණ්ඩුව ආරක්ෂාව වෙනුවෙන් වැයකර ඇති මුදලින් තුනෙන් එකක් හෝ අඩක් ම ගොස් ඇත්තේ පෞද්ගලික හමුදා කොන්ත‍්‍රාත්කරුවන්ට බව හෙළි ව තිබේ. ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කළ ආකාරය පිළිබඳ එම පුවත්පත මගින් උදාහරණ ගණනාවක් දක්වා ඇති අතර ‘‘ඇෆ්ගනිස්තානයේ එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉතාලි එළුවන් නවදෙනකු ආනයනය ට පෙන්ටගනය ඩොලර් මිලියන 6ක් වියදම් කර ඇති ආකාරයත් හෙළි කර තිබේ. එළුවන් සඳහා එපමණ මුදලක් වැය කිරීම ඇමෙරිකානු බදු ගෙවන්නන් කෝප කරන බව පැහැදිලිය. ලොක්හීඞ් මාර්ටින්, බෝයින්ග් ඇතුළු ආරක්ෂක සමාගම් පහක් ආයුධ, සැපයුම් සහ අනෙකුත් සේවාවන් සඳහා ඩොලර් ටි‍්‍රලියන 2.1ක් ලබා ගෙන තිබේ. වෝල් ස්ටී‍්‍රට් ජර්නල් පුවත්පත ඇමෙරිකාවේ බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයේ යුද ව්‍යාපෘතියේ පිරිවැය මැයෙන් සිදු කළ පර්යේෂණයක තොරතුරු යොදා ගෙන මෙම වාර්තාව එළිදක්වා ඇත. මෙම වාර්තාවේ ලස්සන කතාන්දර ඇතුළත් කර ඇත. එක් තරුණ ඇෆ්ගනිස්තාන පරිවර්තකයකු ඇමෙරිකානු හමුදාවට ඇඳ ඇතිරිලි සැපයීමේ ගනුදෙනුවක් ආරම්භ කර එයින් උපයාගත් මුදල් යොදා රූපවාහිනී මධ්‍යස්ථානයක් සහ දේශීය ගුවන් සේවයක් ඇතුළු ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැඟීමට සමත්ව තිබේ. කිර්ගිස්තානයේ මත්පැන් හලක් පවත්වා ගෙන ගිය කැලිෆෝනියාවේ ව්‍යාපාරිකයෙක් හමුදාවට ඉන්ධන සැපයීම ආරම්භ කළ අතර එයින් ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයා ගත්තේය. ඔහියෝහි හමුදා ජාතික ආරක්ෂකයන් දෙදෙනකු ඇෆ්ගනිස්තාන පරිවර්තකයන් ඇමෙරිකානු හමුදාවට සපයන කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය. එයින් ඩොලර් බිලියන 4කට ආසන්න කොන්ත‍්‍රාත්තු මුදලක් උපයා ගනිමින් පෙන්ටගනයේ පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවන් ගෙන් ඉහළ ම තැනට පැමිණීම ට හැකිව තිබේ.

ඇෆ්ගනිස්තාන ප‍්‍රතිසංස්කරණය සඳහා ඇමෙරිකානු බදු මුදල් යොදා ගෙන ගොඩනැඟූ සිගාර් සංවිධානය මගින් එම කටයුත්ත සඳහා වැය කරන ලද ඩොලර් බිලියන 150කට ආසන්න නමුත් එම මුදලින් බොහොමයක් අපතේ ගොස් ඇති බව හෙළිව තිබේ. 2021 මුලදී නිකුත් කරන ලද එම සංවිධාන වාර්තාවකින් හෙළි වූයේ ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ඩොලර් බිලියන 7.8න් ඩොලර් බිලියන 1.2ක් එනම් සියයට 15ක් පමණක් නව මාර්ග, රෝහල්, පාලම් සහ කර්මාන්ත ශාලා සඳහා වැය කර ඇති බවයි. 2008 දී, ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ 187,900 සෙබළුන් සහ කොන්ත‍්‍රාත්කරුවන් 203,660 ක් සිටිය හ. ජනාධිපති බැරැක් ඔබාමා ඔහුගේ දෙවන ධුර කාලය අවසානයේ බහුතර එක්සත් ජනපද භටයන්ට ඇෆ්ගනිස්තානයෙන් පිටව යන ලෙස නියෝග කරනවිට, 9,800ක භටයන් හා කොන්ත‍්‍රාත්කරුවන් 26,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිය හ.

ඇමෙරිකාවේ විනාශකාරී මැදිහත්වීම් සහ රාජ්‍ය වෙනස් කිරීමේ මෙහෙයුම් නිසා සිදුව ඇත්තේ ක‍්‍රියාකාරී රාජ්‍යයන් අසාර්ථක රාජ්‍යයන් බවට පත්වීම පමණි. ලිබියාව එයට ඉතා ම හොඳ උදාහරණයකි. ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණ නොකරන්නට කිසි දිනක අයිසිස් බිහිවන්නේ ද නැත. සුන්නි ෂියා ගැටුම් උග‍්‍ර වන්නේද නැත. සදාම් හුසේන් සමයේ සතුටින් සිටි ඉරාක වැසියනට අද අඬා වැටෙන්නට සිදුව ඇත. අනෙක් පසින් මේ වැය කරන ලද ඩොලර් ටි‍්‍රලියන 14 නිසා ඇමෙරිකාවට සිදුවූ යහපත කවරක් ද? හමුදා මිනී පෙට්ටි ඇමෙරිකාවට පැමිණීම වැඩිවුණා පමණකි. එම නිසා ම හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ධුර කාලය තුළ කිසිම යුද්ධයක් ආරම්භ නොකළේය. බැනුම් අසමින් හෝ වත්මන් ජනපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත්කර ගත්තේ මේ වියදම් දැරීම ලෝකයේ බලවත්ම රාජයට පවා ඉසිලිය නොහැකි නිසා ය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment