ඇයි? මේ තරම් අපරාධ

46

දිනෙන් දින වැඩි වෙමින් පවතින අපරාධ සමාජයට බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනුයේ මිනීමැරුම්, මංකොල්ලකෑම්, දූෂණ ආදී අපරාධ සම්බන්ධවයි. ශ්‍රී ලංකාව තුළ අපරාධ වැඩිවීමට බලපාන සාධකයන් පිළිබඳව හා එමඟින් ඇති කරන බලපෑම, අපරාධ මර්දනය කිරීමට සමස්ත රටක් ලෙස සැමට පවතින වගකීම් පිළිබඳව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අනූෂා ඉදිරිසිංහ මහත්මිය සමග කළ සාකච්ඡාවකි.

ඇයි? මේ තරම් අපරාධ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ
ආචාර්ය අනූෂා ඉදිරිසිංහ

දිනෙන් දිනම අපරාධ වැඩිවෙනවා ඇයි මෙහෙම වෙන්නේ ?

සමාජය තුළ සමස්තයක් ලෙස අපරාධ පොදු සමාජ සංසිද්ධියක් බවට පත්වෙනවා. ඒ පොදු සමාජ සංසිද්ධිය තුළදී බලපාන ආර්ථික, සමාජීය, සංස්කෘතික දේශපාලනික යන විවිධ සාධකයන්ගේ සංකලනයන් මෙම අපරාධ චර්යාවන් සිදු කිරීමට බලපානු ලැබූව ද ආර්ථික වශයෙන් අවස්ථාවරත්වයකට පත්වන අවධියේදී මෙරට අපරාධකාරී චර්යාවන් වර්ධනය වීමේ හැකියාවක් තිබුණා. හොඳම උදාහරණය වන්නේ ආර්ථික වශයෙන් කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාව තුළ සිදු වූ අපරාධකාරී චර්යාවන්ගේ වර්ධනය වීමයි. ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් ඇතිවන්නා වූ විවිධ වෙනස්කම් ද ඊට බලපාලා තියෙනවා. සමාජීය වශයෙන් ගතහොත් සමාජ සම්බන්ධතා, මානව අන්තර් ක්‍රියාකාරකම්වල ඇතිවන වෙනස්කම්, ගෝලීය ලෝකයත් සමග අපි සම්බන්ධ වීමේ ප්‍රවණතාව, සංඛ්‍යාතය වර්ධනය වීම යනාදී කාරණා සමග අපරාධ ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එමගින් අපරාධ සඳහා මූලික බලපෑමක් සිදු කරනවා.

අපරාධකරුවන් අපරාධ සිදු කිරීමට බියක් නැති බවක් දක්නට ලැබෙනවා එය මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ?

අපරාධකාරී චර්යාවන් අතර සිදුවන දේවල් බරපතළ තත්ත්වයක්. නමුත් අපරාධ පොදු සමාජ සංසිද්ධියකක්’ිනමුත් මෙකී අපරාධ අඛණ්ඩව දිගින් දිගටම සිදුවීම තුළ සමාජය අපරාධ භීතිය ඇතිවීම නිසාවෙන් මිනිසුන්ගේ එදිනෙදා ජීවන චාර්යාව, එදිනෙදා වැඩකටයුතු ආදී වූ දේවල් සඳහා බලපෑමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එය මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුසහගත තත්ත්වයකුත් ඇතිකරන නිසාවෙන් මනුෂ්‍ය ඝාතන රැල්ල, මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ, අපරාධ කල්ලි වැනි විවිධ සාධකයන් සමග සමාජයේ සිදුවන දරුණු අපරාධත් සමග මිනිසුන්ගේ ජන ජීවිතය බොහෝ වේලාවට ඇන හිටිනවා.

සමාජ සංස්කෘතික වශයෙන් අපරාධ මගින් ඇති කරන බලපෑම මොන වගේද?

සමාජ සංස්කෘතික වශයෙන් ගත් කල්හි සමාජය තුළ පවතින අගනාකම් ඒ ප්‍රදේශයේ අපරාධ සඳහා බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන්ම නිදසුන් ලෙස බන්ධනාගාරය තුළ සියයට 75 කට වඩා වැඩි පිරිසක් සිටිනුයේ නාගරික කලාප තුළින් පැවත එන පැල්පත් නිවාසවලින් නම් ඒ සමාජය තුළ පවතින සංස්කෘතිකාංග මිනිසුන්ගේ ධර්මතා අගනාකම්වලට ගරු කිරීම, ඔවුන් විශේෂයෙන්ම අපරාධ චර්යාවන් ඔවුන්ගේ ප්‍රධාන ජීවන මාර්ග බවට පත් වී තිබීම හේතුවෙන් ඔවුන් එකී අපරාධකාරී චර්යාවන් යහපත් චර්යාවන් ලෙස දැකීම, මෙම අපරාධ වැඩිවීමට බලපානවා. ඒ නිසා කිසියම් සමාජයක පවතින ධර්මතාවල ස්වභාවය ඒ උප සංස්කෘතිවල පවතින ස්වභාවයන් සමාජය තුළ පවතින ගැටුම්කාරී වටපිටාවන් යන මේ සෑම දෙයක්ම අපරාධ සඳහා සමාජ සංස්කෘතික වශයෙන් බලපානවා.

අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති වර්තමානයෙන් උද්ගතව පවතින අපරාධවලට ප්‍රමාණවත් වන්නේද?

ඇත්තටම මම දකින විදිහට පවතින නීති රීති අපරාධ සඳහා ප්‍රමාණවත්. ඒ තුළින් අපට අපරාධ පාලනය කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා පවතින නීති රීති සුදුසු වගේම එම නීතිරීති ක්‍රියාත්මක කිරීමේදී ආයතන මගින් තීන්දු තීරණ ගැනීම, ස්වාධීනව කටයුතු කිරීම, පොලිසිය, බන්ධනාගාරය හා අධිකරණ පද්ධතිය තුළ ගනු ලබන තීන්දු තීරණ විශේෂයෙන්ම සාමය ආරක්ෂා කිරීම සඳහා බලපෑමක් කරනවා. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම, බන්ධනාගාරගත කිරීම, ඔවුන්ගේ චරිතය වෙනස් කිරීම යන කාරණා තුළින් නීතිය මඟින් අපරාධ අවම වීමට විශේෂ දායකත්වයකුත් ලබා දෙනවා.

වර්තමානයේ කුඩා දරුවන් පවා දුරකථන භාවිතා කිරීමෙන් දුරකථන හරහා ක්‍රීඩාවලට යොමුවීමෙන් ඔවුන් අපරාධ පැත්තට නැඹුරුවීමේ වැඩි අවධානයක් තිබෙනවා. මේ පිළිබඳව මව්පියන්ගේ වගකීම මොන වගේ විය යුතුද?

ප්‍රධාන අපරාධ ගතහොත් ලංකාවේ වැඩි වශයෙන් සිදුවන්නේ නිවාස මංකොල්ල කෑමයි. සෑම පොලිසියකටම විවිධ පැමිණිලි අංශයකටම වාර්තා වන වාර්තාවලින් සියයට හැටකට වඩා වැඩි ප්‍රමාණයක්ම ලැබෙන්නේ නිවාස කොල්ලකෑම් සම්බන්ධවයි. එවිට මෙම නිවාස කොල්ලකෑම් සම්බන්ධ ප්‍රධානම අපරාධය නම් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධයයි. මෙම මත්ද්‍රව්‍ය අපරාධ සමග විශේෂයෙන් බහුලව ගෙවල් බිඳීම් සිදු වෙලා තියෙනවා. ඒ වගේම මෙම අපරාධකාරී චර්යාවන් දෙකත් එක්කම ලිංගික වෘත්තිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ අපරාධ අතර සහසම්බන්ධයක් දක්නට ලැබෙන නමුත් මෙහිදී විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතය මගින් සිදුවන අපරාධ ඩිජිටල් අපරාධයන් (සයිබර් අපරාධ) වැඩි වශයෙන් සිදු වෙනවා. මේ අපරාධ අතරින් විශේෂයෙන්ම දක්නට ලැබෙන්නේ කාන්තාවන් හා ගැහැණු දරුවන්ට සිදුවන අන්තර්ජාල ආශ්‍රිත අපරාධයි. එම අපරාධ යූ ටියුබ්, සමාජ මාධ්‍ය, ඊමේල්, වට්ස්ඇප් වීඩියෝ වැනි විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් ප්‍රචාරය සිදුකරනවා. ඒ වගේම දරුවන් විශේෂයෙන්ම ජංගම දුරකථන හරහා ක්‍රීඩාවලට ඇබ්බැහි වීම, පරිගණකය හරහා දරුණු ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ වැඩි අවදානමක් දක්නට ලැබෙනවා. සමහර සංසිද්ධි ගත් කල්හි අවුරුදු පහළොව දාහතර වයසේ දරුවන් ක්‍රීඩාවලට ඇබ්බැහි වීම නිසා අද ඔවුන් මානසික රෝගීන් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක බරපතළ කාරණාවක් මේ පිළිබඳව දෙමාපියන් ලෙස ඒ අයගේ වගකීම දරුවන්ට ජංගම දුරකථන නිසි ලෙස භාවිත කිරීමට එපා කීම නොව, මන්ද දුරකථන මගින් මේ මුළු ලෝකයම ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබෙන නිසායි. ඉතින් ඩිජිටල් තාක්ෂණයක් නිසා දරුවන්ට ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා කියන්න බැහැ. නමුත් එය නිවැරදිව භාවිත කිරීම සඳහා අවවාද උපදෙස් ලබාදීම මාපියන් ලෙස ඉතාමත්ම වැදගත් වගකීමක් වෙනවා.

අපරාධ සම්බන්ධයෙන් රජයේ වගකීම මොන වගේද?

විශේෂයෙන්ම අපරාධ සම්බන්ධයෙන් රජය තමයි වග කිවයුත්තේ අපරාධ නීති පද්ධතිය, බන්ධනාගාරය, අධිකරණය යන ආයතනවල ක්‍රියාකාරීත්වය, නීතිය ප්‍රමාදය මේ සියලුම දේවල් සම්බන්ධව ගත් කල්හි ඕනෑම රටක වගකීමට රජය යටත් වෙනවා. විවිධ රජයන් විදිහට නව නීති සම්පාදනය සිදුකිරීම, ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම, ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීම ඒ පිළිබඳ පර්යේෂණය කිරීමට පදනම්ව එහි කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය නඟාසිටුවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම රජයේ වගකීම විදිහට මම දකිනවා.

මෙම අපරාධ හෙළි කිරීම සම්බන්ධව ජනමාධ්‍ය සතු වගකීම මොන වගේද ?

අපරාධ වාර්තාකරණය සම්බන්ධව විශේෂයෙන්ම ජනමාධ්‍ය සතු වගකීම අතිශයින්ම ඉතාමත්ම වැදගත් අපරාධකාරී චර්යාවන් සමාජ මාධ්‍යයෙන් ෆේස්බුක් තුළින් හා වට්ස්ඇප් පණිවිඩ හරහා අපරාධ සම්බන්ධ ගොඩක් දේවල් දෙස් විදෙස් මිනිසුන් අතර හුවමාරු වෙනවා. එවිට විශේෂයෙන්ම මෙම අපරාධ හෙළිදරව් කිරීමේදී සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සත්‍ය වසන් නොකිරීම මෙන්ම නිවැරදි තොරතුරු මහජනතාවට දැන ගැනීමේ අයිතියකුත් පවතින නිසාවෙන් මිනිසුන්ට නිවැරදි තොරතුරු ලබාදීම, නිවැරදි දත්ත ලබාදීම යන කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මොකද මාධ්‍යවල අපරාධ වාර්තා කිරීම තුළ ඔවුන් තුළ විවිධ ප්‍රතිපත්ති පවතින්නේ නම් දත්ත ලබාදීම ක්‍රියාත්මක කිරීමේදී ඒ ආකාරයෙන්ම ඒවා සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ වේලාවට ඒ දේවල් ඒ නීතිවල ඇති රෙගුලාසි අවලංගු වන අවස්ථා, කඩා බිඳ දමන අවස්ථා දක්නට ලැබෙනවා. ඒ නිසා මාධ්‍ය වගකීම ඉතාමත්ම වැදගත් වෙනවා. තවත් පැත්තකින් ගත් කල්හි මාධ්‍ය අපරාධ වාර්තා කිරීම තුළ අපරාධ නිවාරණය හා අපරාධ වැළැක්වීම සම්බන්ධව ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන බව සටහන් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තුළින් අපරාධ චර්යාවන් අවම කිරීමේ හැකියාව පවතිනවා.

මෙම අපරාධයන් වැළැක්වීමේදී ප්‍රජාවන් යම්කිසි ආකාරයකට වැදගත් වෙනවා. තනි පුද්ගලයකු වශයෙන්ම ඕනෑම පුද්ගලයකුට සුවිශේෂී කාර්යයක් පවතිනවා අපරාධ වැළැක්වීම සම්බන්ධව, ඒ රාජ්‍ය ආයතන ලෙස හා රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන ලෙස විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධීකරණය අපරාධ වැළැක්වීමේදී වැදගත්ය.

සියලු අපරාධයන් එක් රැයකින් අවසන් කර නොහැකියි. එය පොලිසියට පමණක් තනිව කළ නොහැකියි. එය සමාජයට හෝ රජයට වැළැක්විය නොහැකියි. ඒත් මෙම තත්ත්වය වර්ධනය වීම වැළැක්වීමට එකිනෙකා පසුපස දෑත් එක් කොට හිඳිමින් ඊට එකා සේ කටයුතු කළහොත් උද්ගතව පවතින අපරාධ විසඳාගත හැකි බව නම් නොරහසකි.

පී. නවෝද්‍යා දිලරුක්ෂිකා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.


advertistmentadvertistment