IIESL සභාපතිනි සහාය මහාචාර්ය භද්‍රානි තෝරදෙණිය / ඉංජිනේරු එන්. ඒ. නන්දසේන
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ කාර්යභාරය සහ එමගින් රටේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා සිදු කෙරෙන මෙහෙය පිළිබඳව එම ආයතනයේ සභාපතිනිය, සහාය මහාචාර්ය භද්‍රානි තෝරදෙණිය මහත්මිය සහ එහි උප සභාපති, අධ්‍යාපන සහ පුහුණු කමිටු සභාපති ඉංජිනේරු එන්. ඒ. නන්දසේන මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙනි.
ප්‍රශ්නය – “ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය” එසේත් නැතිනම් IIESL කියන්නේ මොකක්ද?
පිළිතුර — Institution of Incorporated Engineers Sri Lanka-IIESL එසේත් නැතිනම් ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය කියන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෘත්තීකයන් සමූහයකගේ වෘත්තීය ආයතනයක්. නැතිනම් professional institute එකක්. හරියට කියනවා නම් 1992 අංක 04 සහ 2000 අංක 11 දරණ පාර්ලිමේන්තු පනත්වලින් පිහිටවූ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සහ සංස්ථාගත ඉංජිනේරුවන්ගේ වෘත්තීය ආයතනය තමයි මේ අපේ ආයතනය. අපි තවත් සරලව පවසනවා නම් පිළිගත් ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරූ අය අප ආයතනයේ සාමාජිකතවය ලබාගැනීමෙන් අනතුරුව තමයි ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු වෘත්තිකයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබෙන්නේ.
ප්‍රශ්නය – ඉංජිනේරු ඩිප්ලෝමාධාරියකු සහ සංස්ථාගත ඉංජිනේරුවකු අතර ඇති වෙනස සහ ආයතනයේ ආරම්භය ගැන කතා කළොත් ?
පිළිතුර – අප ආයතනය බිහිවන්නේ 1977 දී ඒ All Ceylon Engineering Diplomate Association නැතිනම් ACEDA ආයතනය ලෙස. මෙහි පරමාර්ථය වුණේ එම කාලයේදී ලංකාවේ තිබූ එකම ඉංජිනේරු ඩිප්ලෝමාව වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරීන්ගේ සහ එයට පූර්වගාමීව පැවති Junior Technical Officers-JTO ඩිප්ලෝමාධාරීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෘත්තීය ආයතනයක් පිහිටුවා ගැනීම. ඉන්පසු 1992 දී මෙම ආයතනය Institute of Engineering Diplomates Sri Lanka ලෙස වෘත්තීමය වශයෙන් අනෙකුත් සම මට්ටමේ ඇති ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් හා එක්ව ආයතනයේ පරාසය විහිදුවා ගනු ලබනවා. නැවත වර්ෂ 2000 දී අංක 11 දරණ පනතින් ආයතනයේ නම Institution of Incorporated Engineers Sri Lanka-IIESL ලෙස වෙනස් කරනු ලැබුවා.
අප ආයතනයෙන් සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් ලබන අනෙකුත් වෘත්තිකයින් වන්නේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ HNDE ඩිප්ලෝමාධාරීන්, කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ NDES ඩිප්ලෝමාධාරීන් සහ විවෘත විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු ඩිප්ලෝමාව සාර්ථකව හැදෑරූ ඩිප්ලෝමාධාරීන්. පෙර සඳහන් කළ ඩිප්ලෝමා පාඨමාලා හතරට අමතරව ආයතනයේ පාලක මණ්ඩලය විසින් කලින් කලට පිළිගන්නා සමාන සුදුසුකම් ඇති අයට ද සාමාජිකත්වයට පිරිනමනවා. අප ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය එසේත් නැතිනම් Associate Membership of IIESL මේ සඳහන් කළ සියලුම ඩිප්ලෝමාධාරීන් හට ලබාගත හැකියි.
අපගේ ආශ්‍රිත සාමාජිකත්වය ලබාගත් පසු ඔවුන් නිසි අත්දැකීම් සහ අවශ්‍ය නිපුණතාවයන් ලබාගත් බවට තහවුරු කරගත් පසුව ආයතනය විසින් පිළිගත් ක්‍රියාපටිපාටියකට අනුව සිදුකරන Professional Review (වෘත්තීයමය පුනරීක්ෂණයකින්) පසුව ආශ්‍රිත සාමාජිකයන්ට පූර්ණ සාමාජිකත්වය එසේත් නැතිනම් Member of IIESL ලබාගත හැකි වනවා. Member Class එකට ඇතුළු වන අපගේ සාමාජිකයන් සංස්ථාගත ඉංජිනේරුවරුන් ලෙස අනතුරුව හඳුන්වනවා.
ප්‍රශ්නය – ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව සහ ඔබ ආයතනය අතර ඇති සම්බන්ධය මොනවගේද?
පිළිතුර – ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වූ ඉංජිනේරු වෘත්තිකයන්ට පමණයි ලංකාව තුළ ඉංජිනේරු රැකියාවේ නිරත වෙන්න පුළුවන්. 2017 අංක 04 පනත අනුව IIESL ආයතනය සවිබලගන්වා තිබෙනවා ඉංජිනේරු සභාවේ සිටින සාමාජිකයන් 17 දෙනාගෙන් සිව්දෙනෙක් නම් කිරීමට. ඉංජිනේරු වෘත්තිකයන් අතර ප්‍රධාන කාණ්ඩ දෙකක් වන ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් සහ සංස්ථාගත ඉංජිනේරුවරුන් අප ආයතනය විසින් ඉංජිනේරු සභාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ ලියාපදිංචිය සිදුකර දෙනු ලබනවා.
ප්‍රශ්නය – ඔබ ආයතනයෙන් පිළිගන්නා ඉංජිනේරු ඩිප්ලෝමාවක් හදාරන්න සුදුසුකම් ලබන්නේ කවුරුන්ද….කොහොමද…?
පිළිතුර – ඉංජිනේරු ක්ෂේත්‍රයේ නොයෙකුත් විදිහේ පාඨමාලා තිබෙනවා සහතික පත්‍රවල සිට ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා දක්වා. අප ආයතනය බලාපොරොත්තුවන මට්ටම නම් මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව හෝ ඒ සමාන සුදුසුකම් පැවතීමයි. මේ ඉංජිනේරු ඩිප්ලෝමාවක් හැදෑරීම සඳහා ශිෂ්‍යයින්ට උසස් පෙළ ගණිත අංශයෙන් විෂයන් තුනම සමත්වීමේ මූලික සුදුසුකම අවශ්‍යයි. අපේ රටේ දශක 5 කට වැඩි කාලයක් පවතින ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා වසර තුනක හෝ හතරක ශිෂ්‍ය කාලයක් ගත කරන්න සිදුවෙනවා.
මේ සමාන ඉංජිනේරු අධ්‍යයන පාඨමාලා මහා බි්‍රතාන්‍යයේදී 90 දශකයේ මුල් භාගයේදී තුන් අවුරුදු උපාධි පාඨමාලා බවට පත්කර තිබෙනවා. ඒ අතින් ලංකාව වසර 30 ක් පමණ පසුපසින් සිටින්නේ. නමුත් අපේ ඩිප්ලෝමා පාඨමාලාවල තත්ත්වය සාමාන්‍ය උපාධියක මට්ටමට සමාන කළ හැකියි. උසස් පෙළ විභාගයෙන් විෂයන් සියල්ලම සමත් නොවුණත්, වෙනත් යම් ආකාරයේ ඉංජිනේරු පාඨමාලාවන් හැදෑරූ අයටත්, උසස් පෙළ ගණිත, භෞතික විද්‍යා විෂයන්වල අන්තර්ගතය පූර්ණ කරන මූලික පාඨමාලාවක් හැදෑරූ ශිෂ්‍යයින් බඳවා ගන්න අප සලකා බලනවා.
ප්‍රශ්නය – INCO Fusion ලෙස ඔබ ආයතනයෙන් පවත්වන වැඩසටහන කුමක්ද..?
පිළිතුර – INCO Fusion කියන්නේ අපේ ආයතනය විසින් මේ වසරේ පවත්වනු ලබන වාර්ෂික තාක්ෂණික සැසිය එසේත් නැතිනම් Annual Technical Session එක. මෙවර අප එය
INCO Fusion ලෙස නම් කර තිබෙනවා. මෙවර අපගේ තේමාව වන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කර්මාන්තයේ අනාගතය හැඩගැස්වීම ˜Shaping the Future of Engineering Industry of Sri Lanka˜ යන තේමාව.
ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ අධ්‍යාපන සහ පුහුණු කොමිටිය මගින් ආයතනයේ සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනයට අදාළ සහ උපකාරවන වැඩමුළු, පාඨමාලා, දේශන, අධ්‍යාපන චාරිකා සංවිධානය කරනවා. අපගේ සාමාජිකයින්ගේ දැනුම සහ නිපුණතා වර්ධනය කිරීමට අපි බැඳී සිටිනවා. මසකට අවම වශයෙන් එවැනි වැඩසටහන් දෙකක්වත් අප විසින් සංවිධානය කරනු ලබනවා. වසරක් පුරා අප පැවැත්වූ එවැනි වැඩසටහන් මාලාවක වර්ෂ අවසාන තාක්ෂණික සැසිය තමයි INCO Fusion ලෙස මෙවර පවත්වනු ලබන්නේ.
ඉංජිනේරු සහ තාක්ෂණ අංශවල වෘත්තිකයන්, නවෝත්පාදකයින් සහ අධ්‍යාපනවේදීන් එකට හමුවන වේදිකාවක් මේක. ඒ වගේම ඉංජිනේරු සහ තාක්ෂණයේ අනාගතය හැඩගස්වන නවතම ප්‍රගතීන් සහ ප්‍රවණතා ඉස්මතු කරමින් සිදු කරන දේශන මාලාවකින් මෙම වැඩසටහන සමන්විතයි. ඉංජිනේරු වෘත්තිකයන්ට ආකර්ෂණීය අත්දැකීමක් ලබාගත හැකි අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
මෙවර INCO Fusion පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මේ මස (ජුනි) 27 වෙනි දින සවස 3.30 සිට බත්තරමුල්ල waters edge පරිශ්‍රයේ දී. මේ සඳහා දේශකවරුන් ලෙස ප්‍රවීණ දේශක ඩයන් ගෝමස් මහතා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ආචාර්ය උදයශංකර් තයාසිවම් මහතා සහභාගි වීමට නියමිතයි. ව්‍යවසායකත්වය සඳහා ඉංජිනේරුවරුන් යොමුකිරීම, ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය සහ ආර්ථික වර්ධනය සඳහා ඉංජිනේරුවරුන්ගේ දායකත්වය යන මාතෘකා තුන යටතේ දේශන පැවැත්වෙනවා.
ඉංජිනේරු ක්ෂේත්‍රයේ නියුතු ඕනෑම අයකුට මේ සඳහා සහභාගි වීමට අපි අවස්ථාව සලසා දී තියෙනවා. ප්‍රවීණ දේශක මඩුල්ලක් සහභාගි වන නිසාම අපි ආරාධනා කරනවා සහභාගි වන්න කැමති සියලුම දෙනාට පෙර දැනුම්දීමක් කර අපිත් එක්ක එකතු වෙන්න කියලා. සහභාගී වන සියලු දෙනාට සහතික පත්‍රයක් බැගින් ලබාදෙනවා.
අපගේ 46 වන වාර්ෂික සැසිවාරය නිමිත්තෙන් පළමු දිනය අපේ තාක්ෂණික සැසිය මෙසේ ජුනි 27 වෙනිදා පවත්වා ජුනි 28 වන දින තාක්ෂණික චාරිකාවක් සැලසුම් කරලා තියෙනවා කොළඹ වරාය ආශ්‍රිතව. ජුනි 29 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ Lotus Hallහි සවස 2 සිට මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික සැසිවාරය පැවැත්වීමටත් අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. එහිදී බංගලාදේශය, ඉන්දියාව සහ නේපාලයේ වෘත්තීය මට්ටමින් අප හා සමාන වන ඩිප්ලෝමා ඉංජිනේරුවරුන්ගේ නියෝජිතයන්ද සහභාගී වීමට නියමිතයි.
සකස් කළේ
ජගත් කණහැරආරච්චි
සමිල්කා මෙන්ඩිස්