ඉන්දු – පකිස්තානු ගැටුම දෙදරයි

327

මෝදි මෙහෙයුම් බලය ත්‍රිවිධ හමුදාවට පවරයි
ඉදිරි පැය 24දී ඉන්දියාව ගහයි – පාකිස්තාන රජය

ඉතා නුදුරේදීම පාකිස්තානය හා ඉන්දියාව අතර යුදමය ගැටුමක් ඇති විය හැකි බවට තොරතුරු පළව තිබේ. ඊයේ උදෑසන පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තාරාර් පැවසුවේ, ඉන්දියාව ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලයේ දී තම රටට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන බවට ‘විශ්වාසදායක බුද්ධි අංශ’ වාර්තා ලැබී ඇති බවයි. පසුගිය 22 වැනිදා ඉන්දු කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය ජාතිකයින් 26 දෙනකු මියයෑම නිසා දෙරට අතර යුද උණුසුම දැඩි විය. පසුගිය දින පහ පුරාම ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ දෙරටේ හමුදා භටයින් අතර වෙඩි හුවමාරු සිදුවිය. මේ අතර ඊයේ දහවල් කාලයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් රෆායල් ප්‍රහාරක යානා කාශ්මීර කලාපයේ පියාසර කරමින් තිබූ නමුත් පාකිස්තාන සීමාවට ඇතුළු වී නැත. මේ නිසා පාකිස්තාන ගුවන් හමුදා ප්‍රහාරක යානා ද ගුවන්ගත කර තිබේ.

අඟහරුවාදා රාත්‍රියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මෙහෙයුම් කිරීමේ බලය ලබා දී තිබිණි. ඒ අනුව හමුදා නායකයන්ගේ අභිමතය පරිදි සුදුසු අවස්ථාවක ප්‍රහාර එල්ල කළ හැකිය. මෙම සාකච්ඡාව අගමැති නිල නිවෙසේදී පැවැති අතර ඒ සඳහා ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම ජාතික ආරක්ෂක උපදේශකවරයා ද සහභාගි වී තිබිණි.

පසුගිය සතියේ ඉන්දීය අගමැතිවරයා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමට මෙසේ අනතුරු අඟවා තිබිණි. “මම මුළු ලෝකයටම කියනවා: ඉන්දියාව සෑම ත්‍රස්තවාදියෙකුම සහ ඔවුන්ට සහාය දක්වන්නෙකුම හඳුනාගෙන, ලුහුබැඳ ගොස් දඬුවම් කරනු ඇත. අපි ඔවුන් පෘථිවියේ කෙළවර දක්වා ලුහුබඳින්නෙමු”.

මේ අතර පාකිස්තානය චෝදනා කරන්නේ පහල්ගම් ප්‍රහාරයට තම රට සම්බන්ධ බවට ඉන්දියාව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර නිකරුණේ චෝදනා කරන බවයි. මේ ප්‍රහාරයට තම සම්බන්ධයක් නැති බව පකිස්තානයේ දේශපාලන හා හමුදා නායකත්වය පවසා තිබෙන අතර ඉන්දියාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

එසේම පවතින යුද උණුසුම මධ්‍යයේ වගකීමෙන් කටයුතු කරන ලෙස ඉන්දීය රජයට උපදෙස් දෙන ලෙස අගමැති ෂෙබාස් ෂරීෆ් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලා ඇති අතර, ඉන්දියාව ඉන්දු ද්‍රෝණියේ ජලය තම රටට අහිමි කිරීම පිළිගත නොහැකි බවත් දන්වා තිබේ.

මේ අතර ඉන්දියාව සහ පකිස්තානය යුද ආතතිය අවම කිරීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, තුර්කිය සහ කටාර් යන රටවල් නිවේදනය කර තිබිණි.

චතුර පමුණුව


advertistmentadvertistment