විවෘත වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයන් තුළ බොහෝ දුරට ක්‍රමෝපායිකව වෙළෙඳාමක් වෙත සම්පතක් වන්නේ මානව සම්පතයි. වෙනත් සෑම සම්පතකම වටිනාකම තක්සේරු වීමට හෝ ඒවා වර්ධනය කිරීමට මානව සම්පත් කළමනාකාරී ලෙස භාවිතය අවශ්‍යවේ. යටත්විජිත හෝ අධිරාජ්‍යවාදී යුගවලදී බොහෝ තාක්ෂණික හා ආර්ථිකමය හැකියාවන් ඇති රාජ්‍යයන් නොදියුණු හෝ දියුණු වෙමින් පවතින ලෙස පැවති හෝ තමන්ට යටත් රාජ්‍යවල වෙනත් සම්පත් කොල්ල කෑම සිදු කරන අතර එම රටවල මානව සම්පත් වහලුන් ලෙස තම රටවලට රැගෙන යන ලදී. ඔවුන් බොහෝ දුරට ශ්‍රමය බහුලව යෙදිය යුතු වෘත්තීන්වල හෝ අපහසු කාර්යයන් වල යෙදවීම මගින් තම ආර්ථිකයන් වඩ වඩාත් පෝෂණය කිරීම සඳහා එම වහල් ක්‍රමය යොදාගනු ලැබීය.
පසුකාලීනව අදාළ රටවලට ලබාදුන් ඊනියා නිදහස සමග කලින් පැවැති අමානුෂීය වහල් වෙළෙඳාම හෝ මානව සම්පත් භාවිතය වෙනුවට ප්‍රජාතන්ත්‍රීය හෝ විවෘත මානව සම්පත් හුවමාරුව සඳහා බොහෝ දුරට ගෝලීය සමාජය විවෘත විය. තම රටට යටත්ව තිබූ රාජ්‍යයන්වල මානව සම්පත් හැකියාවන්වල වටිනාකම් තේරුම් ගත් එම ආර්ථිකයන් මුල් කාලවලදී එම යටත් විජිතවල බුද්ධිමත් හෝ වෘත්තීමය නිපුණතාවයන් සහිත මානව සම්පත් තම රටවලට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ඔවුන්ගේ ආගමන විගමන ප්‍රතිපත්ති හරහා සිදුකරනු ලැබීය. ඒ අනුව මුල් කාලවලදී ඉතාමත් ප්‍රවේශමෙන් තෝරා ගත් බුද්ධිමතුන් වෘත්තිකයන් සඳහා වීසා බලපත් ලබාදෙමින් එම රටවලට බුද්ධිමය සංක්‍රමණය සඳහා අවස්ථාව ලබාදෙන ලදී.
ශ්‍රී ලංකාවේ වුවද මුල් යුගවලදී වැඩි වශයෙන් එංගලන්තයට සංක්‍රමණය වූ පිරිස වැඩි අගයක් ගත් අතර එය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමෙන් වෙනත් බටහිර හා ඇමෙරිකානු රාජ්‍යයන් සඳහා බුද්ධිමය හා වෘත්තීමය මානව සම්පත් ආකර්ශනය කර ගැනීමේ පුළුල් වූ පරාසය මගින් දියුණු රාජ්‍යයන් නොදියුණු රාජ්‍යයන් වල මහඟු මානව සම්පත් තම රටවලට ඇද ගැනීමට සහ පුළුල් ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමත් වූහ. එම ප්‍රවේශයන් වර්තමානය වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල මානව සම්පත් සෝදාපාළුව සඳහා පුළුල් දායකත්වයක් සපයයි.
- නව යටත් විජිතවාදී ප්‍රවේශයක්ද?
දියුණු බටහිර රටවල් විසින් අරඹනු ලැබූ බුද්ධිමය දේපළ හා මානව සම්පත් ආකර්ශනය කර ගැනීමේ ප්‍රවේශයන් හා ප්‍රතිපත්ති බොහෝ වාමාංශික හා මාක්ස්වාදී දෘෂ්ටියකින් දකින විචාරකයන් එය පුළුල් වූ නව යටත් විජිත ප්‍රවේශයක් ලෙස ද නිර්මාණය කරයි. මුලදී රත්‍රන් හෝ කුළුබඩු සොයන රටවල් යටත් කරගත් දියුණු ජාතීන් ක්‍රමයෙන් ඒවාට අමතරව මානව සම්පත් ආකර්ශනය කර ගැනීම සඳහා උපායශීලීවීම වඩා ප්‍රතිඵලදායක බව අවබෝධ කර ගනී. ඒ සඳහාවූ ආකර්ශනීය ක්‍රමෝපායයන් එක්තරා ආකාරයකට නව යටත් විජිතවාදී ඒකාබද්ධ ප්‍රවේශයන් සමග ද බැඳී පවතී. මේ සඳහා පහසුවක් ලෙස නොදියුණු රාජ්‍යයේ දේශපාලනය වෙනස් කිරීම, ආර්ථික හා යටත් ප්‍රතිපත්ති මෙහෙයවීම සඳහා කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන් ද අදාළ වේ.
එබඳු නව යටත් විජිතවාදී ඒකාබද්ධ ආක්‍රමණයන් හා ප්‍රවේශයක් තුළ “යන්න හිතෙන රටක්” නිර්මාණය කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය ද ඓතිහාසිකව නිර්මාණය වී ඇත. අවස්ථාවන් අවම රටක් සමාජයක් නිර්මාණය වූ පසු බොහෝ දෙනා “රට ගියොත් හරි” යන පුළුල් මානසිකත්වයකට හා සමාජ මතවාදයන් පුළුල් ලෙස ගොඩ නැඟේ. ශ්‍රී ලංකාවේද නිදහසින් පසු ක්‍රියාත්මක වූ භාෂා ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, සමාජ ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති ආදිය මත දීර්ඝ කාලීනව සිදුවූ පසුගාමිත්වය තුළින් පුළුල් ලෙස ප්‍රයෝජනය ගැනීමට බොහෝ දියුණු රටවලට හැකි විය. ඒ මගින් ඔවුන් මුලින්ම ශ්‍රී ලංකාවේද බුද්ධිමය හා වෘත්තීමය මානව සම්පත් ආකර්ශනය කර ගැනීමට සමත්වූ අතර වර්තමානය වනවිට එය සමාජයේ සෑම අංශයකටම කාන්දු වී “රට ගියොත් තමයි ගොඩ එන්න පුළුවන්” යන මානසික හා සමාජ ප්‍රවේශයන් ලෙස වර්ධනය වී ඇත.
- රාජ්‍ය සේවකයාත් පිටරටට
දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව තුළ පැවති දේශපාලන, සමාජ හා ආර්ථික අර්බුදයන් දේශීය හා නව යටත් විජිතවාදී සංකලනය තුළ පෝෂණය වේ. ඒ මගින් යටත්වී සමාජය තුළම මෙන්ම රාජ්‍ය සේවක ප්‍රජාව සඳහා අවස්ථාවන් අහිමිවීමේ අවදානම් තත්ත්වය වර්ධනය වේ. විශේෂයෙන්ම ගතානුගතික හා දේශපාලන ගර්භාෂයන් තුළ පෝෂණය වූ රාජ්‍ය සේවය ප්‍රමාණයෙන් වැඩි හා ගුණයෙන් අඩු රාජ්‍ය සේවයක් ලෙස ද සමාජ මතවාදයට හසුවූ සමාජ සංස්ථාවකි.
රාජ්‍ය සේවය තුළ ජාත්‍යන්තර මට්ටමේ භාෂා හැකියාවන් හෝ වෘත්තිමය හැකියාවන් සහිත පිරිස් මුල් යුගවලදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව විදේශවල පවතින ආර්ථික, සමාජ හා අධ්‍යාපනික අවස්ථා සඳහා විදේශගතවීමේ ප්‍රවේශයක් ඇති විය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ භාෂා ප්‍රතිපත්තිය ද මේ සඳහා පුළුල් හේතු සාධකයන් විය.
රාජ්‍ය සේවය පුළුල් වීම මත එය දරා ගැනීමේ ප්‍රශ්නය රජයට මුහුණදීමට සිදුවූ අතර එයට පිළියමක් ලෙස ද රාජ්‍ය සේවකයන්ට විදේශගත වීම සඳහා දීර්ඝ කාලීන නිවාඩු ලබාදෙන ප්‍රතිපත්තිවලට යම් යම් රජයන් යොමු විය. කෙසේ වුවද තම වුවමනාව මත හෝ රජයේ පෙළඹවීම මත විදේශ ගතවීමේ ප්‍රවේශයන් වර්තමානය වනවිට වඩා සැලකිල්ලක් ඇති විය යුතු ප්‍රතිපත්ති සම්පාදනයන් සඳහා යොමුවීම වැදගත් වේ.
- රට යන්නේ ඇයි?
පසුගිය දිනක පළවූ පුවත් ලිපියකින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් 21000ක පමණ ප්‍රමාණයක් නිවාඩු ලබාගෙන ඇති බවට වාර්තා විය. ඉන් 13000ක පමණ පිරිසක් විදේශගත වීම අරමුණ කරගෙන නිවාඩු ලබාගෙන ඇත. කෙසේ වුවද මේ සඳහා රාජ්‍ය සේවයෙන් ඉවත්ව විදේශ ගත වූ පිරිස්, රාජ්‍ය සේවය අත්හැර දමා තම පවුල් සමග විදේශගත වූ පිරිස් විදේශ රටක පුරවැසිභාවය ද ලබාගෙන රාජ්‍ය සේවය දෙවැනි තැනට සලකා රටවල් දෙකේම ජීවත්වන පිරිස් ආදිය පිළිබඳව ද සැලකිල්ල දැක්විය යුතු වේ.
කෙසේ වුවද රාජ්‍ය සේවකයා ද රාජ්‍ය සේවයෙන් ඉවත්වී සෙසු රජයේ ප්‍රතිපත්ති යටතේ නිවාඩු ලබාගෙන විදේශ ගත වන රාජ්‍ය සේවකයන් ද ඒ සඳහා පෙළඹෙන හේතු පහත සඳහන් පරිදි කෙටියෙන් සඳහන් කළ හැක.
. රටේ දීර්ඝ කාලීනව පවතින සමාජ ආර්ථික ගැටලු හා අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවන් හෝ “මේ රට කවදාවත් හදන්න බෑ” යන සමාජ මතයය.
. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ පවතින ගතානුගතික කළමනාකරණ ප්‍රවේශයන්, දේශපාලන ඇඟිලි ගැසීම් දැනුම හා කුසලතාවයට නොගැළපෙන මානව සම්පත් කළමනාකරණ ප්‍රවේශයන්.
. වෙනත් දියුණු රටවල වැටුප් ක්‍රමයන්, වෘත්තිමය දීමනා අවස්ථාවන් පිළිබඳ තුලනාත්මකව තේරුම් ගැනීම්.
. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුදුසු පහසුකම් අවම වීම හෝ අනාගත අවස්ථාවන් අහිමි වීම පිළිබඳ අවිනිශ්චිත භාවයන්. . පුළුල් සමාජ බලපෑම්. විදේශගතව සාර්ථක වූ හිතවතුන්, නෑදෑයින් හෝ මිත්‍ර කණ්ඩායම්වල බලපෑම් දියුණු රටක ජීවත්වීම වෙනස්ව හෝ අධිමානසිකත්වයෙන් නිර්වචනය කරන සමාජය.
. රාජ්‍ය සේවයේ පවතින සීමා. රාජ්‍ය සේවය කරමින් වෙනත් රැකියාවන් හෝ පෞද්ගලික ව්‍යාපාර හෝ ආදියෙහි නිරතවීමට පවතින බාධා.
. රාජ්‍ය සේවා කාලය තුළ තම මූලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හෝ පවතින සීමා දේපළක් හෝ නව නිවසක් අයිතිකර ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන වියදම් ඉහළ යාම. . එකිනෙක හා සම්බන්ධිත හේතු වෙනත් අය රට යාම, පවුලේ බන්දු සබඳතා, සමාජ ආර්ථික මට්ටම් තුලනාත්මකව සලකා බැලීම් ආදිය ද මේ සඳහා බලපායි.
- යන්න හිතෙන රටක්
දේශපාලනයේදී ඉන්න හිතෙන රටක් හදන බවට බොහෝ දේශපාලකයන් පොරොන්දු ලබාදුන්න ද ශ්‍රී ලංකාව පුළුල් ලෙස යන්න හිතෙන රටක ගති ලක්ෂණ දිනෙන් දින උග්‍ර වේ. ක්‍රමයේ වෙනසක් සඳහා දීර්ඝ කාලීනව කතා බහ කළත් ක්‍රමයන් වෙනස් නොවී එලෙසම පැවතීම තවදුරටත් යන්න හිතෙන මානසිකත්වයට සමාජය ඇදදමා ඇත. පුළුවන් හැම එකාම රට යන අතර බැරි මිනිසා ද පුළුල් ලෙස උත්සාහ කරන්නේ කෙසේ හෝ රට යාමට මගක් පාදා ගැනීම සඳහා වේ. මුල් කාලවලදී දියුණු බටහිර රටවල් සඳහා ආකර්ශනය වූ බොහෝ පිරිස් පසුකාලීනව වෙනත් අර්ධ දියුණු රාජ්‍යවල හෝ මෙම කලාපයේම පවතින රටවලට සංක්‍රමණය වීම සඳහා හෝ පෙළඹී ඇත. මෙය එක්තරා ලෙසකට ශ්‍රමයට හා වෘත්තිමය භාවය සඳහා පවතින ගෝලීය ඉල්ලුමකි. ශ්‍රී ලංකාව එබඳු ගෝලීය තරගකාරිත්වයකට නොපැමිණෙන්නේ නම් සමාජය තුළ පවතින රට යෑමේ මානසිකත්වය හා ප්‍රායෝගිකත්වය තවදුරටත් ඉහළ යනු ඇත.
මෙම තත්ත්වයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙන් ද ඉවත් කළ නොහැකි අතර රාජ්‍ය සේවය තුළ ද පිටරටකට පැනගැනීමේ වුවමනාව ඉහළ යනු ඇත.
- රටට පාඩුද?
ශ්‍රී ලංකාව හා එහි දේශපාලනය විසින් තම රටේ පවතින වටිනාම සම්පතවූ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ අවම අවධානයක් පවතින නිසා සමස්ත වශයෙන්ම එම සම්පත් වෙනත් රටවල ආර්ථික සංවර්ධනය සඳහා යොමුවීම රටට බරපතළ පාඩුවකි. පිටරට යන සෑම ශ්‍රම ඒකකයක්ම එම රටවල ආර්ථික සමාජ සංවර්ධනය සඳහා උදව් කරයි. ඉන් ලැබෙන වැටුපෙන් කොටසක් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලෙස ලැබුණ ද එය තුලනාත්මකව වාසිදායක ගනුදෙනුවක් නොවේ. විශේෂයෙන් එම ප්‍රමාණය ද ලැබෙනුයේ විදේශගතවන ශ්‍රමික මට්ටමේ පුරවැසියන්ගෙන් වන අතර ස්ථිරවම විදේශගත වන අයගෙන් ලැබෙන විනිමය ගනුදෙනුව අවාසි සහගතය. ඔවුන් පිටරට යෑමේදී හොර පාරෙන් පිටරට ගෙනියන ඩොලර් ප්‍රමාණය මෙරටට එවන ඩොලර් ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි වේ.
- රාජ්‍ය සේවයේ දක්ෂයන් පිටරට යෑම
බොහෝ විට රාජ්‍යය සේවයේ වෘත්තිමය හැකියාවන් සහිත පිරිස් විදේශගතවීම පැහැදිලිවම රටට පාඩුවකි. වර්තමානයේදී ජනතාව මෙය අත්විඳිමින් සිටිති. රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන් විවිධ වෘත්තිකයන් විදේශගතවීම තුළ එබඳු අයෙක් නිර්මාණය සඳහා ජනතාව දැරූ පිරිවැය අපතේ යෑමකි. එය සැබැවින්ම ගණන් බැලිය යුතු හා පර්යේෂණය කළ යුතු ප්‍රමාණයකි. එම හිඟය පියවීම සඳහා ආදේශකයන් නොමැති තත්ත්වයකට ශ්‍රී ලංකාව මුහුණදී සිටී. එය කාගෙන් හෝ පිරිමසා ගත හැකි බව පාලකයන් අදහස් කරන්නේ නම් එය මුලාවකි. අඛණ්ඩව එබඳු ආදේශකයන් නිර්මාණය කිරීමට හෝ දක්ෂයන් තෝරා ගැනීම සඳහා ප්‍රවේශයක් හෝ ඔවුන් රඳවා ගැනීමේ ප්‍රවේශයක් වෙත යොමු නොවන්නේ නම් රාජ්‍ය සේවය දැනුම හා කුසලතා තවදුරටත් අවම රාජ්‍ය සේවයක් වනු ඇත.
- අනාගතයට රට ගෙන යෑම
බොහෝ විදේශ රටවල වීසා ප්‍රතිපත්තිය ඔවුන්ගේ අනාගතය සඳහාය. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් හෝ රාජ්‍ය සේවයේ හැකියාවන් සහිත පිරිස් විදේශගත වන්නේ තම දරුවන්ගේ අනාගතය සඳහාය. ඔවුන් විදේශගත වූ පසු දරුවන් එම රටට හුරුවෙනු ඇත. එහි පහසුකම් හා දියුණු සමාජය හා ආර්ථිකය අත්විඳිනු ඇත. එය රටේ අනාගතය පිටරට පැටවීමකි. ක්‍රමෝපායික බුද්ධිමය දේපළ අහිමිවීමකි. මෙම තත්ත්වය වෙනස් කිරීමට හා අනාගතය රටේ ආර්ථිකයට යොමුකර ගැනීම සඳහා වූ ක්‍රමෝපායික ප්‍රතිපත්ති නිර්මාණය නොවන්නේ නම් එම තත්ත්වයන් තවදුරටත් දුෂ්ට චක්‍රයක් වනු ඇත.
- රාජ්‍ය සේවය වැඩ බැරි අය අතට
රට යෑම සඳහා සුදුසුකම් සපුරා ගැනීම රාජ්‍ය සේවය තුළ ද පුළුල් වශයෙන් දක්නට ඇත. ඒ සඳහා මූලිකව රාජ්‍ය සේවකයා ද අධ්‍යාපනය සඳහා රට යෑමට පෙළඹේ. වීසා ගැනීමට අපහසු නම් අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමට පළමුව විදේශ ගත වී දිගටම එහි රැඳී සිටීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දැනුම කුසලතා මැනීමක් හෝ ඒ අනුව මානව සම්පත් කළමනාකරණය නොවන රටකි. ඒ අනුව රාජ්‍ය සේවය ඉගෙනීම සඳහා යොමු නොවූ ආයතන රාමුවකි. ඉගෙනීම දැනුම හා කුසලතා මෙන්ම සේවයට අවශ්‍ය සහසම්බන්ධය සමග පුළුල්ව බැඳී නොපවතී. සහතික පත්‍ර ගැනීමට හෝ වැටුප් වර්ධක ලබා ගැනීමට යොමුවූ ඉගෙනීමේ රාමුවක් තුළ රාජ්‍ය සේවය හිරවී ඇත.
රාජ්‍ය සේවයේ බොහෝ දේශපාලන හා කළමනාකරණ බැඳීම් මත වැඩ බැරි අයට රාජ්‍ය සේවය පත්වීමේ සම්භාවිතාව ඉහළය. රාජ්‍ය සේවකයා විදේශ ගතවීම් හා ඒ සඳහා පෙළඹවීමේ ප්‍රතිපත්ති තවදුරටත් රාජ්‍ය සේවය වැඩ බැරි අය අතට පත්වීමේ ප්‍රවණතාවයන් ශක්තිමත් වෙනු ඇත. ඒ අනුව තවදුරටත් විකල්ප නැති රාජ්‍ය සේවයක් වෙත ප්‍රවේශය ශක්තිමත් වනු ඇත.
ජිනසිරි දඩල්ලගේ