ඊශ්‍රායාලයට එරෙහිව විරෝධය පාමින් රුසියාවේ ගුවන් තොටුපළකට කඩා වැදුණු විරෝධතාකරුවන් 60 දෙනකු පමණ ඊයේ (30) දිනයේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාවේ මුස්ලිම් ජාතිකයන් වැඩි වශයෙන් වෙසෙන ‘ඩජේස්ටන්’ කලාපයේ පිහිටි ‘මක්හච්කළා’ ගුවන් තොටුපළට ඊශ්‍රායාලයේ අගනුවර වන ටෙල් අවිව් නගරයේ සිට පැමිණ ඇති ගුවන් යානයක් ගොඩබාන අවස්ථාවේ ඊශ්‍රායල විරෝධී විරෝධතාකරුවන් 150 දෙනකු පමණ මෙසේ ගුවන් තොටුපළට කඩා වැදී ඇති බව අනාවරණය වී තිබේ.
මෙසේ කඩා වැදී ඇති විරෝධතාකරුවන්ගෙන් කොටසක් ආරක්ෂක හමුදාවන් සමග ගැටී ගුවන් ධාවන පථයේ ‘අල්ලා හු අක්බාර්’ යනුවෙන් කෑගසමින් දිවගොස් ඇති බව වාර්තා වී තිබේ. මෙම විරෝධතාකරුවන් සමග ගැටීමෙන් පොලිස් නිලධාරීන් නව දෙනකුට තුවාල සිදු වී ඇති අතර ඉන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ