මෙවර උ.පෙළ A-3 හපන්නු 9458 ක්
3 ම අසමත් 29,244 ක්
456 කගේ ප්‍රතිඵල අත්හිටුවයි
සිසුන් පරදා සිසුවියන් ඉදිරියෙන්
ජීව විද්‍යාව – කුරුණෑගල මලියදේව බාලිකාවේ – සඳිනි
ගණිත – ගම්පහ බණ්ඩාරනායක – විදුහලේ ලෙසඳු
ඉංජිනේරු තාක්‍ෂණය – නාරම්මල මයුරපාදයේ – රවිහංස
වාණිජ්‍යය – කොළඹ විශාකාවේ – අමාෂා
කලා-ගම්පහ රත්නාවලී බාලිකාවේ – සෙනලි
ජෛව පද්ධති තාක්‍ෂණය – සඳලංකාව මැදිවිදුහලේ – නෙත්මි
විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් මුල්තැන වයඹට
විභාගය සමතුන්ගේ සියලු තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කරන්න එපා
විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලයි
මෙවර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් සිසුන් 9458 ක් මෙන්ම විෂයන් තුනම අසමත් සිසුන් 29,244 ක් සිටින බවත් විවිධ අක්‍රමිකතා හේතුවෙන් සිසුන් 456 කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (27දා) පැවැසීය.
2024 උසස් පෙළ විභාගය සඳහා සිසුන් 329,704 ක් අයදුම් කළ ද සිසුන් 274,361 ක් පමණක් විභාගයට පෙනී සිට ඇති අතර ඒ අතරින් සිසුන් 177,588 දෙනකු විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඊයේ විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
විභාගය සමත් සිසුන්ගේ නම, හැඳුනුම්පත් අංකය, විභාග අංකය ඇතුළු සියලුම තොරතුරු සමාජ මාධ්‍යවල ප්‍රචාරය නොකරන ලෙසද ඉල්ලා සිටි ඒ මහතා, එම සියලු තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් විවිධ අක්‍රමිකතාවයන් සිදුවිය හැකි නිසා එසේ ඉල්ලා සිටින බවද කීය.
උසස් පෙළ විෂය ධාරා 06ක් යටතේ පැවැති විභාගයේදී ඒ ඒ විෂයන්වලදී දිවයිනේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගත් සිසුන්ගේ නම්, පෙනීසිටි මාධ්‍ය සහ ඉසෙඩ් ස්කෝර් අගයන් පිළිබඳ මෙසේය.
ජීව විද්‍යා විෂය ධාරාව යටතේ පළමු ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සඳිනි නිම්හාරා හෑගොඩ ආරච්චි මාධ්‍ය සිංහල ඉසෙඩ් ස්කෝර් අගය 2.9664, දෙවැනි ස්ථානය අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කල්පා විදුසරණි සිංහල මාධ්‍ය 2.9325, තෙවැනි ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ ජමුනානන්ද පුනවන් දෙමළ 2.9281 වේ.
ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ රවිහන්ස රොසයිරෝ සිංහල 3.2693, හිදැල්ලන සීවලී මහා විද්‍යාලයේ උෂාන් මලිත් ජයසූරිය සිංහල 3.1521, හික්කඩුව තලගස්දෙනිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ පසිඳු මදුසංක කුසුම්සිරි සිංහල 3.1521වේ. වාණිජ්‍යය විෂය ධාරාව කොළඹ විශාඛා විද්‍යාලයේ අමාෂා දුලාරි පෙරේරා ඉංග්‍රීසි 2.5881, කොළඹ රාජකීය විද්‍යාලයේ ඉඳුවර සන්හිත කුමාරපේලි ඉංග්‍රීසි 2.5216, නුගේගොඩ සුජාතා විද්‍යාලයේ ලෙසඳි ලුතාරා පෙරේරා ඉංග්‍රීසි 2.4990වේ.
භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රන්සර කුමාරගේ සිංහල 2.8440, පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලයේ තෙවිඳු දිල්වින් දහනායක සිංහල 2.8332 වේ. කලා විෂය ධාරාව යටතේ ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ සෙනාලි චමත්කා රණසිංහ සිහංල 2.8128, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ දිනෙත්මි මෙතන්ගා ජනකාන්ත සිංහල 2.5696, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉසුරි අන්ජලිකා පීරිස් ඉංග්‍රීසි 2.5440 වේ. ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ කුලියාපිටිය සඳලංකා ජාතික පාසලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිංහල 2.9092, මහනුවර පුෂ්පදාන බාලිකා මහා විද්‍යාලයේ මහේෂා පාරමී පතිරණ සිංහල 2.7832, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ චමෝදි හංසිකා අදිකාරම් සිංහල 2.7230 වේ.
සිසුන් විශ්වවිද්‍යාල වරම් ලැබීමේදී වයඹ පළාත සියයට 66.36ක්, උතුරු පළාත සියයට 65.96ක්, බස්නාහිර පළාත සියයට 65.89ක්, සබරගමුව පළාත සියයට 65.87ක් සහ දකුණු පළාත සියයට 65.74ක් ලෙස ඉහළ අගයක පවතින බවද ජයසුන්දර මහතා කීය. ඒ සමාර්ථ තුනම ලබාගත් සිසුන් වැඩි සංඛ්‍යාවක් වාණිජ්‍යය විෂය ධාරාව යටතේ ද ඉන් පසු භෞතීය විද්‍යා විෂය ධාරාව යටතේ ඇති බවද කී ඒ මහතා මෙවර වාණිජ සහ කලා විෂයධාරා සඳහා ඉදිරිපත් වන සිසුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවද පැවැසීය. ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන පිරිස් දෙස බැලීමේදී පිරිමි පාර්ශ්වය අබිබවා කාන්තා පාර්ශ්වය සිටින බවද ඔහු කීය.
විෂයන් තුනම අසමත් පිරිස දෙස බැලීමේදී භෞතික විද්‍යා විෂය 5290ක් ද, ජෛවවිද්‍යා විෂය අසමත් 8733ක් ලෙස සිටින බවත්, සිසුන් සහ අනෙකුත් පාර්ශ්වයන් විෂයන් තෝරා ගැනීමේදී මීට වඩා සැලකිලිමත්වීම වඩා සුදුසු බවත් ඒ මහතා කීය. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 566ක් විභාගයට පෙනී සිටි බවද ඒ මහතා කීය.
විභාගයට අදාළව ප්‍රතිඵල ලේඛන Online ක්‍රමය යටතේ ද කඩිනමින් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ලබාගත හැකි බවද කී ඒ මහතා නැවත සමීක්‍ෂණ මාර්ගගත ක්‍රමයට සිදුකරන බවත් එය නොබෝ දිනකින් මාධ්‍ය හරහා දැනුවත් කරන බවත් වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා