උසාවියට අපහාස කළාද මෛත්‍රිට නොතීසි

369

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන ජූලි මස 10 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (30දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභික මොන්ටිගු සරත්චන්ද්‍ර මහතාට අවසර දුන්නේය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා මොන්ටිගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහෙන්ද්‍රන් යන මහත්වරු එම අවසරය ලබාදුන්හ.

තමන් විසින් පවරා තිබූ නඩුවක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම හා පක්ෂයේ කටයුතුවලට මැදිහත්වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව පෙත්සම්කාර මොන්ටිගු සරත්චන්ද්‍ර මහතා සිය පෙත්සම මඟින් අභියාචනාධිකරණයට කියා තිබිණි. කොළඹ දිසා අධිකරණය හමුවේ තමන් ගොනු කළ පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙනතුරු බලපැවැත්වෙන පරිදි පසුගිය අප්‍රේල් 24 වැනිදා එකී අතුරු තහනම් නියෝගය නිකුත් කොට තිබියදීත් එම නියෝගය නොතකා මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන්නේ යැයි සිය පෙත්සම මඟින් කියා දී තිබූ මොන්ටිගු සරත්චන්ද්‍ර මහතා එලෙස කටයුතු කිරීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට දැඩි අපහාසයක් සිදුකර ඇති බවත් එබැවින් නිසි විමර්ශනයක් පවත්වා ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙසත් එමඟින් ඉල්ලා තිබිණි.

නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ හිරන්‍යා දමුණුපොළ, චමෝදි රාජනෙත්ති හා නීතිඥ සදලි පෙරේරා යන නීතිඥ මණ්ඩලය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය අහෝසි වීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාට නීත්‍යනුකූල බලයක් නොමැති බව කියමින් මොන්ටිගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා පසුගිය අප්‍රේල් 24දා මෛත්‍රිපාල සිරිසේන මහතාට එම අතුරු තහනම් නියෝගය නිකුත් කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment