මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම පෙරේදා (26දා) රාත්‍රී හදිසියේ කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පාලම කඩා වැටෙන අවස්ථාවේදී කිසිවකු හෝ ඒ මත ගමන් කර නොමැති බවත්, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයකුට අනතුරක් සිදුවී නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී ඇති අතර, ඊට මඳ වේලාවකට පසු පෙරේදා (26දා) රාත්‍රී 7.40 ට පමණ මෙය සිදුවී තිබේ. මොරටුව සිට පානදුර දක්වා ධාවනය වන මං තීරුව ඊයේ උදෑසන වනවිටත් අවහිර වී තිබූ අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදු වෙමින් පැවැතිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීහු හා විදුලි බලමණ්ඩලයේ නිලධාරීහු පැමිණ දුම්රිය මාර්ගය හරහා කඩා වැටී ඇති පාලමේ සුන්බුන් කොටස් ඉවත් කරමින් සිටියහ.
එම අවහිරතාවය මතුව ඇති දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ රන්සිරි ආරියරත්න – රත්මලාන