රාජිතව ලොකු කරගෙන – ලක්ෂ්මන් විජේමාන්න
තවත් දෙදෙනෙක් නැගිටිති: වාඩි වෙන්න වාඩි වෙන්න -රනිල්
එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකයන් පත්කිරීමේ කටයුතු එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12දා) සිදුවෙද්දී උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මෙහිදී පත්වීම් 64ක් ලබාදෙන ලදී.
111කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විසින් කළුතර දිස්ත්‍රික්කයේම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා ලොකු කරගෙන වැඩ කරනවා යැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කිරීමට යෑම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
ලක්ෂ්මන් විජේමාන්න මහතා නව සංවිධායක ලිපිය ලබාගැනීමට පැමිණ, අනතුරුව “සර් මට කාරණයක් කියන්න තියෙනවා. රාජිතව ලොකු කරගෙන වැඩ කරනවා” යැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ තවදුරටත් ප්‍රකාශ කළේය. එහිදී ලක්ෂ්මන් විජේමාන්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “මම මේ පක්ෂයට කැපවීම් කරපු කෙනෙක්. රාජිත ආවාම එයාව ලොකු කරගෙන තනියම වැඩ කරනවා. ඒක බරපතළ වරදක්” යනුවෙනි.
මෙහිදී පත්වීම් ලබාගැනීමට පැමිණි තවත් ආසන සංවිධායකයන් දෙදෙනෙක් ද අසුන්වලින් නැගිට අදහස් ප්‍රකාශ කිරීමට යෑමත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා “කරුණාකරල වාඩිවෙන්න, වාඩිවෙන්න, වාඩිවෙන්න යනුවෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය. එහිදී අසුන්වලින් නැගී සිටි දෙදෙනා “සර් කියන නිසා වාඩිවෙන්නම්” යනුවෙන් පවසා අසුන්ගත්හ.
මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් හිටපු ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරළ, සභාපති වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන් සහ එජාපයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් පැමිණ සිටියහ.