ඒ ඇයම විය

2160

කෙටි කතාව

දෙවියන්ට ස්තුති කළ යුතුද නැතහොත් ඇයගේ ඉරණමට ස්තුති කළ යුතුද යන්න ගැන කිසිම අදහසක් ස්වේ සින් හට නොතිබුණි. නමුත් මෙම නිවසට පැමිණෙන අවස්ථාවේදීම තමාගේ වාසනාව යහපත් අතට හැරී ඇති බව ඇයට හැඟී ගියාය.

එහි හිමිකරු වූයේ ලියු මහතා ය. ස්වේ සින් සෑම කාමරයකටම ගිය අතර මුළු නිවස පුරාම ප්‍රසන්න සුවඳක් දැනුණි. ඒ සෑම කාමරයකම තිබෙන කුඩා මල් බඳුන් නිසාද නැතිනම් සුවඳ දුම් නිසා දැයි ඇයට සිතාගත නොහැකිවිය. සුවඳ නිසා නැවුම් සතුටක් ඇයට දැනුණි.

ලියු මහතාගේ කාමරයේ අතුරා තිබුණු විල්ලුද බුමුතුරුණු, ඇයගේ යටි පතුල්වලට ඉතා සුවපහසුවක් ගෙනාවේය. ස්වේ සින් තම දෙපා මෘදු ලෙස අතුල්ලමින් ඒ මත ඇවිද ගියා ය. පාණ්ඩු කහ පැහැය වටේ බිත්ති මත ආලේපකර තිබුණි. ස්වේ සින් සිතුවේ තමා එහි හිමිකාරිය නම් බිත්ති මත පරෙවියන්ගේ බිත්තරවල වර්ණය පින්තාරු කරනු ඇති බවයි. විදුලි පහන් ලා නිල් පාට වූයේ නම් කාමරය කෙතරම් සුන්දරදැයි ඈ සිතුවාය.! නමුත් නිවැසියන් ඔවුන් රෝස සහ කහ පැහැය බහුලව භාවිතා කර තිබුණි.

බිත්ති මත ඇලවූ මල් රෝසපැහැ ගත් අතර විදුලි ආලෝකයෙන් කාමර බැබළුණි. කෑම මේසය ඉදිරිපස වූ වීදුරු අල්මාරියෙන් මිදි සහ ඇපල් ගෙඩිවල සුවඳ පැතිරුණි. ඈ මේ නිවසේ සේවිකාවක් වූ නමුත් අනෙක් සියලුම සේවකයන් අතර පහසුම රාජකාරිය ඇයට පවරා තිබුණි. ඔවුන් ආහාර ගන්නා අවස්ථාවන්හිදී ඇය ලියු මහතා අසල වාඩිවී ඉතා කලාතුරකින් පැමිණෙන මැස්සෙක් දෙන්නෙක් වටාපතෙන් පළවා හැරියාය. ආහාර වේලෙන් පසු ලියු මහත්මියට අත් සේදීම සඳහා ජල බඳුනට කොලෝන් බින්දු කිහිපයක් වත් කිරීමට ද ස්වේ සින් හට පැවරී තිබුණි.

සවස් යාමයේ වීදුරු බඳුනක සිසිල් කළ ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් දමා නිවස පසුපස උයනේ උණ ලී පුටු මත හිඳගෙන සිටින ලියු මහතා හා මහත්මිය වෙත ගෙන යෑමට ස්වේ සින්හට සිදු විය. ඉනියා විල මතින් එන සිසිල් සුළඟ නැවුම් බවක් ඉසිලී ය. ඈ උද්‍යාන මේසය මත බන්දේසිය තබා හැන්දකින් ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් රැගෙන කුඩා භාජන දෙකට දැමුවා ය. මේ සියලුම කටයුතු ස්වේ සින්හට පුදුම එළවන සුළුය. ඔවුන්ගේ ජීවිත කොතරම් ප්‍රසන්නද?, කොතරම් සැහැල්ලුද?, බොහෝ දිනයන්හි ඈ කල්පනා කළා ය.

වැව දෙසට පිටුපසින් ඉදිකර ඇති මෙම නිවස හිරු බැස යනවිට දීප්තිමත් පෙනුමක් ඉසිලී ය. උද්‍යානයේ තණකොළ පෙරදින කපා තිබූ බැවින් ඒවා ලා කොළ පැහැයෙන් දිස්විය. තණ බිම මත ඇයගේ විවෘත දෙපා ස්පර්ශ වන විටදී ඒවා කොතරම් මෘදු දැයි ඇය තමාටම පවසා ගත්තා ය. ස්වේ සින් විල දෙස බැලුවා ය. නිල් ජලතලය මතින් ඉවුරට කිට්ටුව සුදු රුවල් ඔරු සෙමින් ඇදී ගියේ ය. සමහර අවස්ථාවලදී හිරු එළිය රළ මත වැටී නැගෙන දියරැළි අතරින් දියමන්ති කැට දිස්වන බවක් පෙණුනි. දෑස් පියාගත් ඈ මොහොතක් ඒ සතුට භුක්ති වින්දා ය.

සෑම උදෑසනකම ස්වේ සින්ට ඕට්ස් කැඳ සහ උණුසුම් කිරි රැගෙන ලියු මහතාගේ නිදන කාමරය වෙත යෑමට සිදුවිය. බටහිරකරණය වූ යුවළ නිදාගත්තේ කාමර දෙකක ය. වෙහෙස මහන්සිවී වැඩ නොකර, පිළිවෙළට, වෙලාවට කා බී හොඳට ඇඳපැළඳ සිටීම ලියු මහත්මිගේ දින චරියාව විය. ඈ කැඳ බඳුන මේසය මත තබා ලියු මහතාගේ නිදන කාමරයේ ප්‍රංශ කවුළු විවෘත කිරීමට ගියා ය. විලෙහි සිසිල් සුළඟ උදෑසනම ජනේලයෙන් කාමරය තුළට හමා ආවේ ය.

“මොනතරම් පිරිසිදු සිසිල් සුළඟක් ද!” ලියු මහතා පැවසුවේ ය.

කාලයත් සමග වැඩුණු ස්වේ සින් ගේ සුන්දරත්වය ඉන් තවතවත් දිස්විය. ඇය බැල්කනියේ කෙළවරට ගොස් පහළ බැලුවා ය. රෝස මල්! කොතරම් සුන්දර ද! ඇය දුටුවේ රෝස මල් ඇතිරිල්ලකි.

නිවස හා උද්‍යානය ඉදිකිරීම සඳහා විශාල මුදලක් මෙන්ම දිගු කාලයක් වැය වූ බව ලියු මහත්මිය වරක් ඇයට පවසා තිබුණි.

“අනේ …මට මේ ගෙදර අයිති නම්..!” ඈ මිමිණුවා ය.

ඇයගේ සිත තුළ වූ ආශාව වැඩිවන විටදී. ලියු මහත්මිය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති විය. කිසිවිටෙකත් නිවසෙන් බැහැරවීමට සිදුනොවේවායි ප්‍රාර්ථනා කළ ඈ, නැවත කාමරය දෙසට හැරී බැලූ විට ලියු මහතා කැඳ බොමින් සිටිනු දුටුවා ය. ස්වේ සින් මේසය අසලට ඇවිද ගොස් සුපුරුදු පරිදි බලා සිටියේ බඳුන ආපසු රැගෙන යෑම සඳහා ය. උදෑසන නැවුම් හිරු එළිය කහ බිත්ති දීප්තිමත් කළේ ය. ලියු මහතා හිස ඔසවා ස්වේ සින් දෙස බැලී ය.

“ඔයාගේ කම්මුල් රෝස මල් වගේම යි…” ඔහු පැවසී ය.

ස්වේ සින් ට සිනහසෙනවාද නැද්ද යන්න ගැන කිසිම අදහසක් නොතිබුණි. ඇය වදන්වලට සවන් දුන්නා පමණි. ලියු මහතා තම පුටුවෙන් නැගිටවිත් ඇයගේ නිකට ඔහුගේ අතින් අල්වා ගත්තේ ය. ඉන්පසු ඔහු ඇයගේ කම්මුල මෘදු ලෙස සිපගත්තේ ය. ඇයගේ හදවත ගැහෙන්නට විය. නිසොල්මන්ව සිටි ඇයගේ දෙඅත් වෙව්ලුවේ ය.

“මම යන..යන.. වා…ආයි…” ඇයට වචන පැකිලිණි. හිස් කැඳ බඳුන රැගෙන ක්ෂණයෙන් ඈ කාමරයෙන් පිටව ගියා ය.

තමාට කුමක් සිදුවේදැයි ඈ සිතුවා ය. ඇයට සදහටම මෙම නිවසේ රැඳී සිටිය හැකි නම් ඇය ලියු මහතාගේ කැමැත්තට ඉඩදිය යුතු වේ. දින කිහිපයක සිට ලියු මහතා ලියු මහත්මිය සමග රාත්‍රියේ උද්‍යානයේ ඇවිද යෑම නවතා දැමූ අතර නිවසේ නැවතී රැඳී සිටීමට පටන් ගත්තේ ය. ඔහුට ස්වේ සින් සමග දොඩමළුවීම තරම් සතුටට කරුණක් නොතිබුණි. එහි ප්‍රතිඵලය වූයේ ඇය ඉක්මනින් ගැබ්ගෙන ඇති බව ලියු මහතා වටහා ගැනීම ය. එය දැනගත් ස්වේ සින් ට තමා ගැන කනගාටු නොවී ය. ඇය අනාගතය ගැන කරදර නොවූවා ය. ඇයට වේදනාවක් ගෙන ආවේ ලියු මහතා දරු ප්‍රසූතිය සඳහා නිවසින් පිටව යන ලෙස ඉල්ලා සිටිමින් ස්වේ සින්හට විශාල මුදලක් ලබා දෙන අවස්ථාවේදී ය. නිවසින් පිටව යෑම ඇයට ඉතා වේදනාකාරී දෙයක් වුණි.

ස්වේ සින් ඇයගේ සිහින් ඉණ වසාගෙන බොහෝ දුර බැහැරකට ගියා ය. ඇයට විවාහයක් කරදීමට ඔවුන් වෙත පැමිණෙන ලෙස දෙමව්පියන් ස්වේ සින්හට දන්වා ඇති බවලියු මහත්මිය හට ඔහු පවසා සිටියේය. එය ඇයගේ කතාව විය. නිවස ගැන සිහින දකින සෑම අවස්ථාවකම ඈ සිතෙන් හැඬුවා ය. කලකට පසු, එම පුවත ඇසූ ලියු මහතා ඇය සොයාගෙන පැමිණියේ ය. ඇය පිරිමි දරුවකුගේ මවක වූවා ය. ඔහු මව සහ දරුවා තම නිවසට කැටුව ගොස් ලියු මහත්මිය අමතා මෙසේ පැවසීය;

“ස්වේ සින්ගේ මහත්තයා මැරිලා. අපි මේ ළමයව හදාවඩා ගත්තොත් නරකද?”

දරුවා ගැන ඔහුගේ පියා එතරම් සාධාරණ විය. දරුවා කෙරෙහි ලියු මහත්මියගේ සිත තුළ සෙනෙහස මෝදු වුණි. දරුවන් නොමැති වූ ඈ, හදාවඩා ගන්නට පුතකු ලැබීම පිළිබඳව සතුටු වූවා ය.

“අපි දරුවව නීත්‍යානුකූලව දරුකමට හදා ගනිමු. ස්වේ සින් මෙහෙ හිටියොත් නම් දරුවා එයාට කැමති වෙයි. එයත් ආදරය කරයි. ඒ හින්දා එයාට මෙහෙ ඉන්න දෙන්න බැහැ.” ලියු මහත්මිය රහසින් තම සැමියා වෙත පැවසුවා ය.

මේ වතාවේ නැවතත් ඇය නිවසින් පිටව ගියේ තම පුතා වෙනුවෙනි. ස්වේ සින්හට නිරන්තරයෙන්ම දැනුණු නොසන්සුන් බව වසර ගණනාවක් පුරා පැවතිණ. කාලය වේගයෙන් ගෙවී ගියේ ය. ගෙවී ගිය සෘතු ඇයට වැටහුණේ නැත. පිනි වැටෙන හෝ අඳුරු වැසි වැටෙන දින ගැන කිසිදු හැඟීමක් දැනුණේ ද නැත. ඇයගේ සතුට රැඳුණේ නිවස හා තම පුතා කෙරෙහි ය. හදවතින්ම ආදරය කළ දෙදෙනාගෙන් ඈත්වී සිටීම පිළිබඳව හැර වෙනත් කිසිවක් ඇයට නොදැනුණේ ය.

ඇයගේ දෑස තවදුරටත් බැබළුණේ නැත. කොණ්ඩය සුදු පැහැවී ඇත. එක් ගිම්හාන දිනක ඇයගේ පුතා සමග ලියු මහතා, ස්වේ සින් වෙත පැමිණියේ ය. ඈ තම පුතා දෙස බොහෝ වේලාවක් බලා සිට එක්වරම ඔහුව සිප ගත්තා ය. ඇයගේ දෑස්වලින් වැගිරෙන කඳුළු හේතුවෙන් ඔහුව පැහැදිලිව දැකගත නොහැකි විය. ළමයා යෞවනයකු දක්වා වැඩී සිටියේ ය.

“ඉතින් ඔයාට මාව මතකද පුතේ…?” ඈ තම පුතා දෑතින් බදාගෙන හඬමින් විමසුවා ය.

කහ පැහැ ගත් ඇයගේ දෑත් රැළි ගැසී තිබුණි. සමට යටින්, නිල් පැහැති නහර පණුවන් මෙන් ඉපිලී දිස්විය.

“මං එයාට අපි ගැන කිව්වා…” ලියු මහතා පැවසී ය.

“මගේ නෝන මැරුණා..”

“මොකක්” ඈ ලියු මහතා දෙස බැලුවා ය.

ඔහුට මුලින්ම ඇස ගැටුණේ ඇයගේ ගිලී ගිය කම්මුල් ය. ලියු මහතා ද වයසට ගොස් තිබූ නමුත් ඔහුගේ ජීවගුණය නැති වූ බවක් නොපෙනුණි.

“අම්මේ… අපි ආවේ ඔයාව එක්කගෙන යන්න. මට ඉනියා විල ළඟ තියෙන ගේ උරුම වුණා… අම්මේ…” ඇයගේ පුතා මහත් උද්දාමයෙන් ඈ වෙත පැවසුවේ ය.

“ඒ…ගෙදර..?”

එම වචනය ඇසූ අවස්ථාවේ ඇයගේ දෑස් එක්වරම විසල්වී බැබළුණි. ඈ සිනාසීමට උත්සාහ කළ නමුත් ඒ සිනහව තවදුරටත් ලස්සන නොවී ය. ඔවුන් ඇයව ආපසු රැගෙන ගිය අතර මෙවර ඈ ගෙට ඇතුළු වූයේ සේවිකාවක ලෙස නොවේ. ලියු මහතා ඇයට පඩිපෙළ නැඟීමට උදව් කළේ ය. ස්වේ සින් සෙමෙන් සෙමෙන් පඩි නඟින විට බිත්ති දෙස බැලූ නමුත් වර්ණය හඳුනාගැනීමට අපහසු විය. ලියු මහතාගේ කාමරය තුළ ඇයට ඇඳක් සකසා තිබුණි. දෙපා මාරුකරමින් බුමුතුරුණුවල මෘදු බව ස්පර්ශ කිරීමට උත්සාහ කළ මුත් ඇයට කිසිවක් දැනුණේ නැත. ඒ ගැන ඈ පුදුම වූවා ය. ඈ නැවතත් තම දෙපා අතුල්ලාගෙන යෑමට උත්සාහ කළා ය.

“මගේ කකුල් හිරිවැටිලද…?”

ඇඳ මත හිඳගෙනම ඈ කාමරය සිසාරා බැලුවා ය. බිත්ති තවමත් කහ පැහැයෙන් යුක්ත වූ අතර විදුලි පහන් රෝස පැහැයෙන් යුක්ත විය. ආලෝකයේ දීප්තියෙන් සැබැවින්ම එම වර්ණ හඳුනාගත්තේ දැයි ඇයට නොතේරුණි.

“අම්මේ… මිදි හරි ස්ට්‍රෝබෙරි හරි ඔයාට දෙන්නද…?” ඇගේ පුතා මුදු මොළොක් ලෙස ඇසී ය.

ඇය උත්සාහ කළේ තමා තරුණ වියේ දී වීදුරු බඳුන්වල දමා රතු පාට සිසිල් ස්ට්‍රෝබෙරි බෙදා දුන් අයුරු මතකයට නඟා ගැනීමට ය.

“ස්ට්‍රෝබෙරි…” ඈ මිමිණුවා ය.

පුතා වීදුරු බඳුනකට ක්‍රීම් ටිකක් රැගෙනවිත්, “මෙන්න… අම්මේ….” යැයි කියමින් ක්‍රීම් තැවරූ ස්ට්‍රෝබෙරි ඇයගේ කටට දැමුවේ ය.

ඇය සෙමෙන් සෙමෙන් රස බැලුවා ය. එය තරමක් ඇඹුල් හා කටුක විය. ඇයගේ සිතට කිසියම් පීඩාවක් දැනුණි. ඈ කොට්ටය මත හිස තබා දෑස් පියා ගත්තා ය. මේසය මත ඇති බඳුනේ රෝස මල් සුවඳ විසුරුණි. ඇයගේ ඇඳ අසලින් මිදි සුවඳ පැතිරුණි. නමුත් ස්වේ සින්හට කිසිවක්ම දැනුණේ නැත.

ඈ, සිය ජීවිතයේ මිහිරි මතකයන් පිළිබඳව මෙනෙහි කරන්නට තැත්කළා ය. නමුත් ඇයට කිසිවක් පිළිබඳව යළි මතකය අවදිකරගත නොහැකි විය. ඇයගේ සිතුවිලි ඈතට ගසාගෙන ගොස් අතුරුදන් විය. ඇයට සෑම දිනකම සිල්ක් ලුංගියක් ඇඳීමට හැකිවිය. එහෙත් ඇවිද යන්නට හැකියාවක් තිබුණේ නැත. ඒ ඇඳුමෙන් සැරසුණ ඇයගේ සිහින් ඇඟ ලියු මහතාගේ පැරණි ඇඳ මත නිදිවැරී ය. ඇය ගැහැණියක මෙන් පෙනෙන්නේ ස්වේ සින් පැළඳ සිටි ඇඳුම් නිසා පමණකි. එසේ නොවීනම් ඇය ඇටසැකිල්ලක් මෙන් දිස්වනු ඇත.

තරුණ සේවිකාව පැමිණියේ ඇයට බෙහෙත් ලබාදීමට ය. අසීරුවෙන් ඈ බැල්කනිය කෙළවරට ගොස් විල දෙස බලා සිටියාය. සෞම්‍ය ජලතලය එදා මෙන් මරකත වර්ණයෙන් දිස් විය. රුවල් බෝට්ටු සෙමෙන් පාවී ගියේ ය. අඩවන්වූ දෑසින් ඈ ඇඳ අසලට පැමිණියා ය. ස්වේ සින්ගේ ලුංගිය ඇයගේ ඉණෙන් ලිස්සා ගොස් ඇති අයුරු දුටු සේවිකාව එය ඉනට ඉහළින් සිටින පරිදි යළි පැළඳුවා ය.

“මොන උකුළක්ද…මේ…!” තමාටම පවසා ගනිමින් සේවිකාව සිනාසුණාය.

විවර වූ කවුළුව හරහා මෘදු සුළඟ හමා ආවේ ය. නිවස සුපුරුදු තේජසින් යුක්ත විය. ඇයගේ හැඟීම්වලට කුමක්වීද.? එහි පහස භුක්ති විඳීමට ස්වේ සින් හට අවස්ථාවක් උදා නොවුණි.

(කිං හින් යූ Khin Hnin Yu දෙවරක්ම මියන්මාර් ජාතික සාහිත්‍ය සම්මානය ලැබූ ලේඛිකාවකි. ඇය මියන්මාර් කාන්තා ලේඛිකාවන් අතර වඩාත් බලගතු චරිතයක් ලෙස සැලකේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු මියන්මාර ජනතාවගේ ජීවන තත්ත්වයන් සැබෑ ලෙසම තම කෘති තුළින් නිරූපණය කිරීම පිළිබඳව ඈ ප්‍රසිද්ධියට පත් වූවාය. 1925 සැප්තැම්බර් 07 දින මියන්මාරයේ උපත ලද මෙම ලේඛිකාව විසින් ප්‍රකාශිත නවකතා ගණන 50 කට අධිකය. ඒ බහුතරයකම පාහේ දිවෙන හුය එරට ජනතාවගේ පැවැත්ම සඳහා අරගල කළ තරුණ වීරවරියන් සම්බන්ධිත වේ. කිං හින් යූ Khin Hnin Yu වසර 20 කට වැඩි කාලයක් මියන්මාරයේ අගමැති ධුරය හෙබවූවකු ගේ ඥාති සහෝදරියකි. වසර 78 ආයු වළඳා, 2003 ජනවාරි 21 දින දී ඈ මියගියේය.)

(මෙය මියන්මාර් ජාතික කිං හින් යූ Khin Hnin Yu විසින් රචිත Body and Sense කෙටි කතාවේ පරිවර්තනයයි.)

පරිවර්තනය;
එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
මත්තේගොඩ


advertistmentadvertistment