ඕපනයික ගුණයෙන් බබළන බුදු පණිවුඩය

474

බුදු දහමින් ප්‍රකට වන අදහස් අතිශයින් සුවිශේෂී, නවතම, විපුල, මනස්කාන්ත ලෙස ශ්‍රේෂ්ඨ වන බැවින් බුදු බැතියන් නොවන අයට ද බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය හා බුද්ධත්වයට පත්වීම ද ඉතා වැදගත් වේ. බුද්ධ පරිනිර්වාණයෙන් පුරා සිය වස් විසිපහකට වැඩි කාලයක් ඉකුත්ව ගොස් ඇතත් භාග්‍යවතුන් වහන්සේගේ

ශ්‍රී මුඛ දේශනාවලින් පළවනු යේ නූතන මනසක අදහස් පළ කිරීමක් ම වේ. මෙසේ බැවින් පෙර අපර දෙදිග පඬිවරුන් මෙන්ම චින්තකයන් ද බුදුරජාණන්වහන්සේට හිස නමා ආචාර කොට උන්වහන්සේ මෙලොව උපන් අසමසම පුරුෂෝත්තමයාණන් වහන්සේ ලෙසද මෙලොව දක්නට ලැබුණු හදවත හා මනස පිළිබඳවූ උතුම් සංකලනය ලෙස ද පිළිගනු ලැබේ.

නොකැළැල් පිරිසිදු චරිතයක් භාග්‍යවතුන් වහන්සේ සතුව පැවති බැවින් අගතිගාමී නොවූ එමෙන් ම අපක්ෂපාතීවූ සිතට බුදුරජාණන් වහන්සේගේ පෞරුෂත්වය පිළිබඳව විශේෂ වශීවීමක්, ආකර්ශනයක් ඇත්තේය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මැක්ස්මුලර් නමැති ජර්මන් ජාතික මහා පඬිරුවන මෙසේ පවසා ඇත. බුදුරජාණන් වහන්සේ වනාහි තමන් වහන්සේ විසින් දේශනා කරන ලද සත් ගුණයන්ගේ පිළිරුවකි. පුරා පන්සාළිස් වසක් තුළ වූ සාර්ථක වූද, වැදගත් වූද සේවා කාලය මුළුල්ලෙහි බුදුරුවන උන්වහන්සේගේ සෑම වදනක්ම ක්‍රියාවට නැගූ අතර කිසිම අවස්ථාවකදී උන්වහන්සේ මිනිස් දුබලකම් හෝ නිහීන ආශාවනට (කෙලශයකට) හෝ ඉස්මතුවීමකට ඉඩතබා නොමැත. භාග්‍යවතුන් වහන්සේ දක්වා වදාරන ලද විනය නීති මාලාව වනාහි ලෝකයා අබියස තබන ලද අතිශය සර්ව සම්පූර්ණ සුචරිතමය නීති පද්ධතිය වේ.

අත්‍යතම පාර ලෞකික දෙයක හෝ සර්වඥ දෙවි කෙනකුගේ හෝ ආධාරයක් නොමැතිව බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ තුළ පැවති බල මහිමයෙන් ම පිරිපුන් නිදොස් බවෙහි අග තැනට ද, ප්‍රඥාවෙහි මුදුන් පෙත්තට ද නැඟීමෙහි සමත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙසේ අත්පත් කරගත් ජයග්‍රහණය ගැන සළකා බලත්ම දහසක් කම්කටොලු මැද ජීවන යාත්‍රාව පදවාගෙන යනු ලබන අප වැනි සාමාන්‍ය ජනයා ද නියම පරිදි වැර වඩනුයේ නම් බුද්ධත්වය නැමැති අත්‍යුත්තම තත්ත්වය ලබාගැන්මට සමත් වන ලෙසට චිත්ත ධෛර්ය්‍ය හා ආභාෂය ද ලබාගත හැක. ලෝක ශාස්තෘවරුන් අතුරින් පාර ලෞකික සත්ත්‍වයෙකු කෙරෙහි විශ්වාසය නොතබා ස්වකීය විමුක්තිය තමා විසින්ම ලබා ගැනීමට මිනිසා සතුව පවත්නා හැකියාවේ මහිමය නියම පරිදි අවබෝධ කර ගත් එකම උතුමා බුදුරජාණන්වහන්සේ පමණක් වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ශ්‍රේෂ්ඨයයි හැඳින්විය හැකි පුද්ගලයෙකුගේ අගය මණිනු ලබනුයේ එතුමා මිනිස් පරපුරේ තත්ත්වය නඟාලීමට ක්‍රියා කරනු ලබන ආකාරය සළකා බැලීමෙන් නම් බුදුරජාණන් වහන්සේ මිස අන් කවරකු නියම උත්තමයකු ලෙස හැඳින්වීමට සුදුසුවේද? මිනිසාට ඉහළින් වෙනත් සත්ත්‍වයකු තබමින් මිනිසාගේ තත්ත්‍වය පහත හෙළනු වෙනුවට භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාව හා කරුණාව පිළිබඳ මුදුන් පෙත්ත දක්වා මිනිසා උසස්කර දක්වා ඇත. ආධ්‍යාත්මික ප්‍රභාව හරහා ශාරීරික මානසික බැමිවලින් නිදහස්ව අවසන් විමුක්තිය ද වෙනුවෙන් යෙමුව ඇති මාර්ගය දැක්වීමෙන් බුදු දහම භෞතික වාදය පිළිබඳවූ මඩ වගුරෙහි එරී සිටින්නාවූ පුහුදුන් ජනයාට ඉෂ්ඨාත්‍ර්‍ථයක් ලබාදෙයි. මානසික මෙන්ම ආධ්‍යාත්මික වහල් බවේ බැමිවලින් ඈත්ව සාමය, ප්‍රීතිය හා පිරිපුන් නිදහස් බව පිළිබඳ පැතිර පවත්නා අවකාශය තුළට පිවිසෙන මෙන් බුදුරජාණන්වහන්සේ මිනිසාට අනුශාසනා කරන සේක.

අප අද දින දිවි ගෙවනුයේ වෛරය හා කෲර බව නමැති කුණාටුවේ පවත්නා යුගයක වේ. ඒ වනාහි ශ්‍රේෂ්ඨ ඉන්දීය පුත්‍ර රත්නය වන බුදුරජාණන්වහන්සේ විසින් දුක් විඳිනු සත්ත්‍වයාට බුදුරජාණන්වහන්සේ විසින් දෙවා වදාරණ ලද එම අමරණීය පණිවුඩය අප සියලු දෙනාම විසින් සිහියට නඟා ගැනීම අද තරම් මිනිස් ඉතිහාසයෙහි කවර දිනකවත් අවශ්‍ය නොවීය. මීට වසර 2500කට පෙර දේශනා කර වදාරණ ලද අරිඅටෙඟි මගින් දැක්වෙන එම පණිවුඩය සැබවින්ම ජීවිතයේ දහසක් කම්කටොළුවලට මුහුණපෑමට කෙනකු දිරිගන්වන ජීවන පණිවුඩයකි. ඉන්‍දියාවේ හිටපු ජනාධිපතිවරයා වූද කින්දර දර්ශනවාදියකු ද වන ආචාර්ය රාධක්‍රිෂ්ණන් තුමා ඉහත දක්වන ලද කරුණු මෙසේ සනාථ කර ඇත.

බුදුරජාණන්වහන්සේ දක්වා වදාරණ ලද පණිවුඩය වත්මන් ලෝකයට උචිත වන බවට කිසිම සැකයක් නොමැත. උන්වහන්සේ පෙන්වා වදාරණ ලද මූල ධර්මයනට කාලය අවකාශය හෝ වර්ගය පිළිබඳ සීමාවක් නොමැත. මේ මිහිපිට සහෝදරත්‍වය හා යුක්තිය රජයීමට මේ ගුණදම් පුරුදු පුහුණු කිරීමට අවශ්‍ය වේ. ලෝකය දෙව් විමනකට පරිවර්තනය කිරීමට සමත් වන තරම් ප්‍රමාණයක් ලොවට විiාවෙන් ලැබී ඇත. ප්‍රායෝගික ගැටලු විසඳා ගැන්ම සඳහා විදු දැක්ම උපයෝගී කර ගැන්මට කාර්මික විiාව ආධාර වේ. එහෙත් මේ සියල්ල මධ්‍යයෙහි අප වඩා හොඳින් කල් ගෙවන්නේ යැයි විශ්වාස විය නොහැක. ලෝකයෙන් එල්ල වන අභියෝගයනට පිළිතුර බුදු දහමෙහි දක්නට ලැබේ. බුදු රජාණන්වහන්සේ ලෝකයෙහි අවධානය තමන් වහන්සේ වෙත යොමු කරගෙන ඇත. ෂෝවන් හෝවර් පඬිතුමාගේ නිදන කාමරයෙහි බුදුරුවක් එල්ලා ඇත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිය නෙත් යොමු කරත්ම කොතැනකදී වුවද එතැන දෙවියන් වහන්සේ පොළව මතුපිට ගමන් ගන්නාක් මෙන් හැඟෙන්නේ වේ යැයි ඇනටෝල් ෆ්‍රාන්ස්තුමා පවසා ඇත. මණ්ඩලේ නුවර විහාරයක තිබී සොයාගන්නා ලද බුද්ධ ප්‍රතිමාවක් ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් තුමාට පිළිගන්වමින් ඉයන් හැමිල්ටන් ජෙනරාල්තුමා මෙසේ පවසා ඇත. “ඔබ සිත්තැවුලින් පසුවන අවස්ථාවලදී මේ ශාන්ත පිළිරුව දෙස බලා ඔබගේ කම්කටොළු ගැන සිනහසෙන්න.” ලෝකය බේරාගෙන සභ්‍යත්‍වයන් ගොඩනඟාලීමට හා සාමය ළඟාකර ගැන්මට ද ආධාර වන එකම මග බුදු දහම වේ.

බුදු රජාණන්වහන්සේ දේශනා කොට වදාරන ලද මග මැදුම් පිළිවෙත හෙවත් දහම් මග නමින් හැඳින්වෙන අතර එය යහපත් දැකීම යහපත් සිතුවිලි යහපත් වචන, යහපත් කර්මාන්ත, යහපත් ආජීවය, යහපත් වෑයම, යහපත් සිහිය හා යහපත් සමාධිය යන අංගයන්ගෙන් සමන්විත වේ. මේ මාර්ගාංග සීල සමාධි ප්‍රඥා යනුවෙන් කොටස් තුනකට බෙදෙන අතර එම අදහස ඉතා විසිතුරු අන්දමින් ධම්මපදයෙහි දැක්වෙන පහත සඳහන් ගාථා රත්නයෙන් ප්‍රකට වේ.

“සබ්බ පාපසස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං – එතං බුද්ධානු සාසනං

සියලු පාපයන්ගෙන් මිදීමද, කුසල් දහම් වැඩීමද, සිත පිරිසිදු කරගැන්මද යනු සියලු බුදුවරුන්ගේ අනුශාසනය වේ.

මතු සම්බන්ධයි..

ඕපනයික ගුණයෙන් බබළන බුදු පණිවුඩය

ධර්මකථික ඇලෙක් රොබට්සන් මහතාගේ ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි.
පරිවර්තනය – ජයසුමනා ද සිල්වා රොබට්සන් අතිනි


advertistmentadvertistment