ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ “කපුටු කොහෝ” සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙනවා. එහි නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය මෙම සිනමා නිර්මාණය පිළිබඳවත්, වර්තමාන සිනමාවේ තිබෙන අර්බුද පිළිබඳවත් අපත් සමග සංවාදයක නිරත වුණා.
බක්මහේ තිරගත වන “කපුටු කොහෝ” චිත්‍රපටයට මේ වෙනකොට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාර ද?
බලන අයගෙන් නම් ඉහළම ප්‍රතිචාර තියෙනවා. ඉතිං විවිධ අය විවිධ කෝණවලින් චිත්‍රපටය පිළිබඳව කතා කරනවා. රස විඳිනවා. සමස්තයක් හැටියට හැමෝම කියන්නේ ඉතාමත් මිහිරි රසයක් පැය එකහමාරක් ඇතුළත ලැබෙනවා කියලා. හදවත සමීපයට එන පැය එකහමාරක් කියලා කියනවා. විශේෂයෙන්ම මුළු රටේ ම දරුවන්ට කොහොම හරි මේ චිත්‍රපටය පෙන්නන්න ඕනෑ කියනවා. සමහර අය යෝජනා කරනවා මේ චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් සබ්ටයිට්ල් හෝ හඬ කවලා පෙන්වන්න කියලත්. ඒ වගේම විවිධ තලවල ඉන්න අයගේ මතිමතාන්තර සමාජයට නිර්ණායක හදන අයට මේ චිත්‍රපටය කොහොම හරි පෙන්නන්න කියන අදහස් බොහෝ දෙනෙක්ගෙන් ලැබෙනවා. ඉතිං ඇත්තට ම ඒක හරි සතුටක්. මොකද මෙහි අන්තර්ගතය පිළිබඳව ප්‍රේක්ෂකයන් අවබෝධ කරගන්නවා කියන එක ඇත්තට ම ලොකු සතුටක්.
චිත්‍රපටයක් තිරගත කරනවා කියන කාරණය ලේසි පහසු නැහැ. ඒක මොන වගේ අභියෝගයක් විදියට ද ඔබ දකින්නෙ?
ඒකනම් ඇත්තට ම පුදුම අභියෝගයක්. දැන් මේක දරුවන්ට සුදුසු චිත්‍රපටයක් වුණහම ළමයා කියන කෙනා තනියම සිනමා ශාලාවට එන්නේ නැහැනේ. ළමයට එන්න වැඩිහිටියෙක් අවශ්‍යයි. වැඩිහිටියන්ට ඉඩපහසු තියෙන වෙලාවට සිනමා ශාලාවක එක දර්ශනවාරයක් තියෙන්න ඕනෑ. නමුත් අපි දැන් මුහුණ දීලා තියෙන ලොකුම අභියෝගය තමයි මේ චිත්‍රපටයට බොහෝ සිනමාශාලාවල එක දර්ශනවාරයයි ලැබිලා තියෙන්නේ. බොහෝ දර්ශනවාර තියෙන්නේ පවුලක් පිටින් එන්න පුළුවන් වෙලාවක නෙවෙයි. ඉතිං ඔන්න ඔය ප්‍රශ්නයට අපි මේ දවස්වල මුහුණ දීලා තියෙනවා. චිත්‍රපටය මොනතරම් හොඳ වුණත්, මොනතරම් ආකර්ෂණීය වුණත් ප්‍රේක්ෂකයාට පවුලපිටින් සිනමාශාලාවට එන්න පුළුවන් දර්ශනවාර වේලාවක් නොලැබීම මත ප්‍රේක්ෂකයන්ට සිනමාශාලාවට එන ඉඩ අඩු වෙලා තියෙනවා. ඉතිං අන්න ඒකනම් අපි මේ දවස්වල මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක්.
වර්තමානය වනවිට ගොඩක් චිත්‍රපට නිෂ්පාදකවරු අනතුරේ කියන කාරණය හරිම ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. නිෂ්පාදිකාවක් විදියට මේ කාරණය ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඒක ඇත්තට ම මෙහෙමයි, එක සිනමා ශාලාවක චිත්‍රපට තුන හතරක් පෙන්නන දර්ශනවාර බෙදන එක ආවේ මල්ටිප්ලෙක්ස්වලට. නමුත් දැන් ඇත්තට ම ඒක ලංකාවේ එක සිනමා ශාලාවක තියෙන දර්ශනවාර හතර හෝ පහට චිත්‍රපට කීපයක් දානවා. අන්න ඒ ප්‍රශ්නය තමයි ඇත්තට ම දැඩිව ම නිෂ්පාදකවරුන්ට බලපාන්නේ. හේතුව මොකද චිත්‍රපටය හදන්න මුදල් කොච්චර වියදම් කළත් අපට දවසකට ලැබෙන තිර කාලය හා ආදායම තමයි වැදගත් වෙන්නේ. මොකද එක දවසකට වැඩි පිරිසකට පෙන්නන්න ගත්තොත් තමයි ඇත්තට ම නිෂ්පාදක දිනුම්. ලාභ ලැබීම කෙසේ වෙතත් කෙටි කාලයක් ඇතුළත වැඩි පිරිසක් චිත්‍රපටය නරඹන්න එනවා කියන්නේම දිනුම්. හේතුව මොකද, චිත්‍රපටයක් කෙටි කාලයක් තියාගෙන ඉන්නවා කියන්නේ ප්‍රචාරණයට ලොකු වියදමක්. තව කෙනකුට අවස්ථාව දෙන්නත් ඕනෑ. ඉතිං මේ කළමනාකරණයේ ලොකු අවුලක් තියෙනවා. ඇත්තට ම ඔන්න ඔය අවුල විසඳාගන්න ඕනෑ. හැම නිෂ්පාදක කෙනෙක්ටම ඔය ප්‍රශ්නේ අඩු වැඩි වශයෙන් මුහුණ දෙන්න සිද්ධවෙන ප්‍රශ්නයක්.
වර්තමාන සිනමාවේ ලොකු පිබිදීමක් දකින්නට තියෙනවා කියලා හිතනව ද?
මෙහෙමයි, දැන් වර්තමානයේ එක එක ශානරවල චිත්‍රපට මුදා හැරෙනවානේ. කලින් ඇත්තට ම බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයාට තෝරගන්න තිබුණේ නැහැනේ. එකම වර්ගයේ එකම විධියේ චිත්‍රපටයන් තමයි තිබුණේ. නමුත් දැන් එහෙම නෑ. එතකොට තමන් කැමැති චිත්‍රපට ප්‍රේක්ෂකයාගේ රුචිකත්වය අනුව එයාට තෝරගන්න පුළුවන් චිත්‍රපට මාලාවක් මේ පසුගිය දිනවල තිරගත කෙරුණා. ඉතින් ඇත්තටම ඒක හොඳයි. හැබැයි දැන් සිනමා කර්මාන්තයට ඒවා මොන වගේ රුකුලක් වෙයිද කියන එක තමයි ප්‍රශ්නය. මොකද ඉඳලා හිටලා ඒ වගේ පිබිදීමක්, තත්ත්වයක් තිබිලා වැඩක් නැහැ. සිනමා කර්මාන්තය දියුණුවක් කරා යන්නට එක දිගට ම ඒක පැවැත්වෙන්නට ඕනෑ. ඉතිං තනි තනි පුද්ගලයන්ට හොඳ වෙලා වැඩක් නැහැ. ඊළඟට එන පුද්ගලයන්ට ප්‍රේක්ෂකාගාරයක් නැත්නම්. ඉතිං ඒක නිසා ඒක පොඩි සිස්ටම් එකක් හැදෙන්න ඕනෑ. හොඳ චිත්‍රපට හැදෙන්න හොඳ ප්‍රේක්ෂකාගාරයක් සහ හොඳ ප්‍රදර්ශනයක් තියෙන්න ඕනෑ. ඔය තුනම එකට බද්ධ වෙලා යන්න ඕනෑ.
“කපුටු කොහෝ” චිත්‍රපටයට ලැබුණු දර්ශන වාර පිළිබඳව නිෂ්පාදකවරිය විදිහට සෑහීමකට පත්වෙනවද?
ඔව්. ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. බලන කෙනාගේ ප්‍රතිචාර ඉතාම ඉහළයි. නමුත් අපේ අනිත් චිත්‍රපටය මුදා හරින්නට කලින්ම ඉතාම ක්ෂණිකව ප්‍රේක්ෂකයන් අතරට ගියා. හේතුව මොකද අප ඒ චිත්‍රපටයන් මුදා හරින්න සෑහෙන කාලයකට කලින් ප්‍රචාරණ කටයුතු පටන් ගන්න අවස්ථාව තිබුණා. නමුත් දැන් මේ චිත්‍රපටයට එහෙම අවස්ථාවක් නොලැබීම මත සහ මෙහි ස්වාභාවය මත මේ චිත්‍රපටය තවම ප්‍රේක්ෂකයන් අතරට මේ මොන වර්ගයේ චිත්‍රපටයක් ද කියන අදහස ගිහිල්ලා නැති බවක් මට දැනෙනවා. ඉතිං ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒක විසඳගන්න ඕනෑ ප්‍රශ්නයක්. හැබැයි මේක බලන අය නම් ඉතාමත් සතුටට පත්වෙනවා.
පාරමී කෞෂිකා