මැයි දිනය ප්‍රකාශයට පත් කළේත් අපේ ආණ්ඩුව
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු නොවී තිබියදී මෙහෙ අඩු කළේ ඡන්දය ඉලක්ක කරගෙන – මහින්ද අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම
කම්කරු ජනතාවගේ අයිතීන් වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට හැකි වූ එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
අද සෑම පක්ෂයක්ම කම්කරු දින සැමරුම් සිදුකළ ද එහි සැබෑ උරුමක්කාරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ඊට හේතුව මැයි දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේ බවත් නිමල් සිරිපාල ද සිල්වා කීවේය.
ශ්‍රීලනිප මැයි දින සැමරුම් උත්සවය ඊයේ (01දා) එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
කොළඹ පිහිටි ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැති අතර එහිදී වැඩිදුරටත් කතා කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් රැල්ලට ගසාගෙන ආ අය නෙවෙයි. දක්ෂතාවයෙන් පිරි වෘත්තීය සමිති නායකයන් අප සතුව සිටිනවා. නිදහස් පක්ෂය බණ්ඩාරනායක මැතිනියගේ කාල වකවානුවේදී මැයි දිනය ප්‍රකාශයට පත් කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල පිහිටුවන්නත් නිදහස් පක්ෂයට හැකිවුණා. අද ජනතාව ඒ වරප්‍රසාද ලබාගන්නවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නිදහස් පක්ෂය මැයි දිනය යොදා ගත්තේ නැහැ. ඒ නිසා කම්කරු ජනතාවගේ අයිතිය වචනයේ පරිසමාප්ති අයුරින්ම ඉටු කිරීමට අපට හැකි වුණා.
ඒ වගේම මේ රටේ ඉතිහාසය හා දේශපාලනය වෙනස් කරපු පක්ෂයක් අපි. පක්ෂය තුළින් දක්ෂ නායකයන් බිහිකර රටට මෙන්ම වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදෙන්න අපට හැකිවුණා. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා සෑම පක්ෂයක්ම කැඩී වෙන්වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වැටි වැටී නැඟිටින පක්ෂයක්. ඉතිහාසයේ බිමට සමතලා වූ පක්ෂයක් අපි. එහෙත් වෘත්තීය සමිති හරහා නැවත හිස එසවීමට අපට හැකි වුණා. එම නිසා මේ මැයි රැලියෙන් පසුව නිදහස් පක්ෂ වෘත්තීය සමිතිවල පිබිදීමකින් නැවත පක්ෂය නඟාසිටුවීම අපගේ අරමුණයි. ඒ නිසා ජනතා බලාපොරොත්තු හා අභිලාෂයන් ගැන අපිට වාදකරන්න බැහැ. ජනතාව ගන්නා තීන්දු වලට අපිට විරුද්ධ වෙන්න බැහැ.
පසුගිය මැතිවරණවලදී ජනතාව ගත්ත තීරණවලට අපි විරුද්ධ වෙන්නේ නැහැ. ඒ අද ඔවුන් ගත්තු තීන්දු හරිද වැරදි ද කියල ඔවුන්ටම දැනෙනවා ඇති. එම නිසා පක්ෂයක් ලෙස තරුණ තරුණියන්ට පක්ෂයේ දොර විවෘත කර තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයට වැඩි තරුණ පිරිසකට අවස්ථාව ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. එම තරුණ ජවයත් සමග වෘත්තීය සමිති නායකයන්ගේ උපදෙස් මතින් ශක්තිමත් පදනමක් අපි හදාගත යුතුයි. ඒ වෙනස සිදුකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් අනාගතයේ බිහි කිරීමේ අරමුණු කරගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් මහින්ද අමරවීර මහතා
වෙනසකට මුල පුරමින් එදා වේදිකාවේ සිටියේ දේශපාලන නායකයන්. අද ඉන්නේ වෘත්තීය සමිති නායකයන්. අලුත් විදිහට ගමනක් යන්න අපි සූදානම්. ඒ සඳහා පක්ෂයේ වෘත්තීය සමිති ශක්තිමත් කරමින් ඉදිරියට යන්න ඕනෑ.
ඒ වගේම තමයි මේ ආණ්ඩුව බලයට පැමිණියේ කම්කරු ජනතාවගේ, වෘත්තීය සමිති නායකයන්ගේ කර මතින්. අද වෘත්තීය සමිති නායකයන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු වෙලා. ඒ නිසාමද කොහෙද ජනතාවට සහන දීම පැත්තකට දාල සහන කප්පාදු කරගෙන යෑම සිදුකරගෙන යනවා. අද වනවිට වැඩියෙන් කතා කරන දේශපාලනඥයන් බන්ධනාගාර ගත කරනවා. මාධ්‍යවේදීන් අහන විවිධ ප්‍රශ්න අහල උත්තර දෙන්න බැරි වෙන නිසා ඔවුන්ට ද බලපෑම් සිදුකරන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වී තිබෙනවා.
මේ ආණ්ඩුවට බලය දුන්නේ වෙනත් අයට වඩා හොඳට රට කරගෙන යාවිය කියලා. මෙතෙක් ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න බැරිවෙලා තියෙනවා. මේ අය කිව්වා බලයට ආපු ගමන් මුල්ම අයවැයෙන් අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා අත්‍යවශ්‍ය බඩුවලට තිබෙන බදු අයින් කරනවා කියලා. ඒත් ආපු ගමන් කළේ බදු වැඩිකිරීම. ඒ වගේම එදා හාල් ප්‍රශ්න විසඳන්න බැරි නම් ආණ්ඩු ඕනේ නැහැ කියපු අයට තවමත් හාල් ප්‍රශ්නේ විසඳගන්න බැරුව ඉන්නවා. මෙවර ගොවීන්ගෙන් වී මෙටි්‍රක්ටොන් ලක්ෂ තුනක් ගන්න සල්ලි වෙන්කරා කිව්වට වී මෙටි්‍රක් ටොන් 55යි අරගෙන තියෙන්නේ. ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකරපු විදිහට හාල් මිල පාලනය කරන්නට ටෙන්ඩර් හතරක් දාපු එකම ආණ්ඩුව මේ. ඒ කරලත් සහල් මිල පාලනය කරන්න බැරි වුණා. ඒ වගේම තෙල් මිල පොඩ්ඩක් අඩුකර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ නොගොස් තිබියදී අඩු කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙනයි. ඡන්දෙන් පස්සේ තවත් හොඳ ප්‍රතිඵලයක් එයි. ඒ තමයි විදුලි බිල වැඩිවීම, විදුලිබිල වැඩි කරන්න මේ වනවිට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ ආණ්ඩුවට රැවටෙන්න එපා.
වංචාව දූෂණයට විරුද්ධයි කියල ආපු මේ ආණ්ඩුව මුලින්ම කන්ටේනර් තුන්සීය ගාණක් හොරෙන්ම පිටකළා. ඒවායේ මොනවද තිබුණේ ්කියලා අදටත් දන්නේ නැහැ. අපට මේ ආණ්ඩුව පලවා හරින්න වුවමනාවක් නැහැ. අපි ඉල්ලන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරල දෙන්න කියලා. බොරුව හැමදාම ගෙනියන්න බැහැ. ජනතාව හැමදාම රවටන්නත් බැහැ. ඒ නිසා නිදහස් පක්ෂය ලෙස පොදුජන එක්සත් පෙරමුණ යටතේ හොඳ කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. සියලු දෙනාගේ සහයෝගයෙන් ඉදිරියට යන්නත් වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා ශක්තිමත් ලෙස නැගී සිටින්නත් අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, පොදුජන එක්සත් පෙරමුණේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, හිටපු ඇමති ෆයිසර් මුස්තාපා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් හා ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොළඹින් තරග කරන අපේක්ෂකයෝ ද සහභාගි වී සිටියහ.
ඡායාරූප – ධර්මසේන වැලිපිටිය
අරුණ බෝගහවත්ත