කලකිරුණු අලි ගැන විගණනයෙන් හෙළි වෙයි

152

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයක සිට නැරඹිය හැකි ලෝකයේ සුවිශේෂී උද්‍යානයක් වන මින්නේරිය ජාතික උද්‍යානයට වර්තමානයේ දී අලින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී ඇති බව ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

උද්‍යානය තුළ ආක්‍රමණශීලි ශාක පැතිරීයෑම හේතුවෙන් උද්‍යානයේ තෘණ භූමි පැතිරී පවතින වපසරිය අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ද මින්නේරිය ජාතික උද්‍යානයට වාර්ෂිකව අලි එක් රැස්වීම අඩුවී ඇති බව ද අනාවරණය වී ඇත. මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් මින්නේරිය ජාතික උද්‍යානයට පැමිණෙන අලි සංඛ්‍යාව අඩුවී තිබෙන බව හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරනු ලැබූ පර්යේෂණයකදී අනාවරණය වී ඇත. මෙකී උද්‍යානයට අලින් වැඩිපුර පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ දීය. එම පර්යේෂණයට අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී අලින්ගේ පැමිණීම සියයට 95කින් අඩුවී ඇත.

මින්නේරිය ජාතික උද්‍යානය හෙක්ටයාර් 1160ක තෘණ භූමියකින් යුක්ත වන අතර තෘණ භූමිය පුරා ආක්‍රමණික ශාක පැතිරී ගොස් ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ නිසා තෘණ ආහාරයට ගන්නා සතුන්ගේ පැවැත්මට මෙන්ම උද්‍යානයේ පැවැත්මට ද බාධාවක් විය හැකි බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment