මොරගහකන්දෙන් කළුගඟ ඉහත්තාවට ගිය සංචාරේ…

මෙවර අපගේ ‘සංචාරේ’ මාතලේ සුන්දරත්වය විඳීම සඳහාය. මාතලේ නගරය පමණක් නොව, මාතලේ දිස්ත්‍රික්කය පුරා විසිර පවතින සොබා සෞන්දර්යයෙන් අනූන ස්ථාන රැසකි. එමෙන්ම පුරාවිද්‍යාත්මක, ආගමික, සංස්කෘතිකමය ස්ථාන රාශියකින් සමන්විත මාතලේ පුරවරය අපූර්වත්වය විඳින්නට කදිම, වටිනා පරිපාලන දිස්ත්‍රික්කයකි. සැබැවින්ම එවන් පරිපූර්ණ අපූර්වත්වයක් විඳින්නට තවත් පරිපාලන දිස්ත්‍රික්කයක් මෙරට නොමැති තරමටම මාතලේ වටිනාකම් රැසකින් සමන්විත වේ. එනිසාම මෙවර අපගේ ‘සංචාරේ’ මාතලේ ට යොදාගනු ලැබුවේ ‘ඓතිහාසික මාතලේ’ පිළිබඳව ද වැඩිමනත් කතා කරනු පිණිසය.

කළුපානා කන්ද පිසගෙන ඇදෙන කළුගංගා සුකොමළිය

මාතලේ සංචාරයේදී අප මෙවර පළමුව අවධානය යොමුකරන ලද්දේ මීට පෙර සංචාරය කර ඔබට ඉදිරිපත් කරන ලද දඹුල්ල ආශ්‍රිත කලාපයේ සෞන්දර්යමය ස්ථාන අතර අපට මගහැරුණු ස්ථාන පිළිබඳව පළමුව කතා කරනු පිණිසය. එනම්, මාතලේ, රත්තොට, ලග්ගල සහ දඹුල්ල ලෙස මැතිවරණ බලප්‍රදේශ 4 කින් සමන්විත මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ මීට පෙර අප දඹුල්ල සහ ලග්ගල ආශ්‍රිත ස්ථාන කිහිපයක් පිළිබඳව කතාකර ඇති අතර, එහිදී අපට මගහැරුණු ආගමික, පුරාවිද්‍යාත්මක සහ සෞන්දර්යාත්මක ස්ථාන පිළිබඳව මෙතැන් පටන් අවධානය යොමු කෙරෙන අතර අනතුරුව දිස්ත්‍රික්කයේ ඉතිරි මැතිවරණ බලප්‍රදේශවල ඇති එවන් වටිනා තැන් සොයා යෑම මාතලේ සංචාරයේදී සිදුකිරීම අපගේ අරමුණයි.

දඹුල්ල සහ ලග්ගල මායිමේ නාඋල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මායිම්ව මෑත කාලයේදී ගොඩනගන ලද ‘වෑමැඩිල්ල’ ජලාශය, නාඋල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි ‘මොරගහකන්ද’ ජලාශය ගැන මීට ඉහතදී අපි ඔබට කරුණු කියා ඇත. මෙවර සංචාරයේදී අපි තවදුරටත් මොරගහකන්ද පසුකර ඔබව ලග්ගල නගර ආශ්‍රිත ‘මාතලේ කළුගඟ’ ජලාශය සහ කළුගඟ ආරම්භ වන දුම්බර කළුපහන වෙත රැගෙන යෑමට අදහස් කරන්නෙමු. මන්ද, මෙවර මාතලේ පැමිණි ගමනේදී අප මොරගහකන්ද, කළුගඟ පසුකර ලග්ගලින් රත්තොට දෙසට වැටී ඇති ඉලුක්කුඹුර මාර්ගයේ පැමිණ ලග්ගල උඩසිය පත්තුවේ පිහිටි පිටවල, ඇටන්වල හා වල්පොලමුල්ල යන දුෂ්කර හා කඳුකර ගම්මානවල සැරිසරන අතර මෙහිදී පළමුව අපට හමුවන නූතන වාපි ව්‍යාපෘතියක් වන ‘කළුගඟ’ සහ ‘කළුගඟ ව්‍යාපෘතිය’ පිළිබඳව කතා නොකර ලග්ගල උඩසියට යා නොහැකි බැවිනි.

කළුපානා කන්ද පිසගෙන ඇදෙන කළුගංගා සුකොමළිය

මොරගහකන්ද සහ කළුගඟ යනු පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී සැලසුම් කර මෛත්‍රිපාල සිරිසේන යුගයේදී අවසන් කරන ලද යුගල ජලාශ ව්‍යාපෘතියකි. නොහොත් බහුකාර්යය යෝජනා ක්‍රමයකි. මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන ලද අවසන් බහුකාර්ය යෝජනා ක්‍රමය ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදනය සේම, යල-මහ දෙකන්නය වගාකිරීම සඳහා විශේෂයෙන්ම පොලොන්නරුව දිස්ත්‍රික්කය සහ එතැනින් ඔබ්බට වන වයඹ සහ රජරට ගොවීන්ට දියවර සැපයීම වැනි කටයුතු
රැසක් සැලසුම් කර ඇත. තවමත් නිමානොවුණු මෙම ව්‍යාපෘතියේ වයඹ සහ උතුරු ඇළ මාර්ග සැකසීම, මොරගහකන්ද සහ කළුගඟ ජලාශ යාකරන උමග ඉදිකර නිමාකිරීම වැනි කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතී. කෙසේ වෙතත් මේ වන විට තනා නිමකර ඇති මොරගහකන්ද සහ කළුගඟ ජලාශ අවස්ථා කිහිපයකදීම උතුරා පිටාර ගලන (වාන් දමන) තත්ත්වයට පැමිණ තිබේ. මීට මාස දෙකකට පමණ ඉහතදී ඇද හැලුණු වර්ෂාව නිසාද මෙම ජලාශ දෙකම උපරිම ජල මට්ටමට පැමිණියේය. එවන් අවස්ථාවන්හි මෙම ජලාශ දෙකේ සුන්දරත්වය නරඹන්නට පැමිණෙන ජනයාගෙන් අඩුවක් නැත. මේ නිසාම වන්නට මොරගහකන්ද සහ කළුගඟ සඳහා නැරඹුම් පළවල් ස්ථාපිත කරන්නට ද මහවැලිය කටයුතු කර තිබේ. වන අලින් යහමින් ගැවසෙන මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයේ සුන්දරත්වය තීව්‍ර කරනු ලබන්නේ එම ප්‍රදේශයටම ලාක්ෂණික වූ මහා වනගහණය මගිනි. නොහොත්, මොරගහකන්ද ජලාශය සහ එහි අතුරු ඇළ මාර්ග ඉදිව ඇත්තේ ගිරිතලේ-මින්නේරිය ස්වභාව රක්ෂිතය තුළ වන අතර, කළුගඟ ජලාශයේ ඉහත්තාව ‘නකල්ස් රක්ෂිතය’ට අයත් වන අතර, අනෙකුත් කැලෑ සියල්ලම අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලග්ගල අඩවියටය. ‘නකල්ස් රක්ෂිත වනාන්තරයේ’ ඉහත්තාව අපගේ ඉදිරි ‘සංචාරේ’ ගමන් මග වන අතර මෙවර අප ප්‍රවිෂ්ට වී සිටින්නේ කළුගඟ ජලාශයේ වේල්ල බැඳි ලග්ගල නව නගර ආශ්‍රිත ප්‍රදේශයට සහ එතැනින් දුම්බරට මග විවර කෙරෙන කළුගඟ දකුණු සහ වම් ඉවුරු කලාපය වෙතය.

‘මාතලේ කළුගඟ’ යනු මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර කඳුකරයේ ඊසාන දිග බෑවුමේ පිහිටි ‘තුන්හිස්ගල’ නොහොත් ‘කළුපහන’ නමැති ඉතා සුප්‍රකට කඳුවැටියෙන් පහළට ගලාහැලෙන සුපිරිසිදු, සිහිල් දිය දහරාවකි. ‘උඩ දූවිලි ඇල්ල’ සහ ‘පාත දූවිලි ඇල්ල’ නොහොත් අපේ වචනයෙන් කියන ‘දුම්බර ඇල්ල’ නිර්මාණය කරමින්, ගිරි හෙල් අතරින් පෙණ පිඬු නංවාගෙන සහ දුම්බර වනපෙත පිසගෙන ගලාහැලෙන ‘කළුගඟ’ අනතුරුව ළඟාවෙන්නේ දුම්බර ආවේණිකත්වය සුරකිමින් වසර සිය දහස් ගණනක ඉතිහාසයක් තිබූ පැරණි ‘රඹුක්ඔළුව’ සහ අනතුරුව ‘ගඟහේන්වල’ ගම්මාන දෙකටය. අනතුරුව (පැරණි) ලග්ගල නගරය ආශ්‍රිතව ගලාගොස් වස්ගොමුව මායිමේදී ‘අඹන්ගඟ’ සිපගත් මේ සුන්දර කළුගං සුකොමළිය, මෛත්‍රිපාල සිරිසේන පාලන සමයේදී (2015-2019) තම ගමන ‘ගඟහේන්වල‘ පැරණි දුම්බර ගම්මානය ආසන්නයේදී ගමන නිමාකර කළුගඟ ජලාශයට එකතු වන්නේ තමාගේ ගමන හරස්කර, ලග්ගල පැරණි නගරය ද යට කරමින් ඊට ඔබ්බෙන් බඳින ලද යෝධ බැම්මක් හේතුවෙනි.

කළුපානා කන්ද පිසගෙන ඇදෙන කළුගංගා සුකොමළිය

පැරණි ලග්ගල පොලිසිය අසලදී නිර්මාණය වන කළුගඟ ජලාශ වේල්ල මගින් හරස් කරන ලද මෙම දුම්බර කළුගඟ මෙතැන් පටන් වෙනම ජලාශයක් ලෙස වැඩෙන අතර, මීට සමගාමීව අඹන්ගඟ හරහා බඳින ලද මොරගහකන්ද ජලාශය හා එක්ව මෙම ජලාශ දෙක යුගල ජලාශයක් ලෙස මහවැලිය 2019 දී මෙහි මූලික වැඩ නිමාකර ජලය පිරවීම ආරම්භ කරනු ලබයි. නමුත්, මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාවය අදාළ බහුකාර්ය ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් නොවන හෙයින් කළුගඟ ඔස්සේ එම ජලාශයට අඛණ්ඩව එකතුවන ජලය ද භාවිතයට ගනිමින් මොරගහකන්ද පෝෂණය කිරීම සඳහා කළුගඟ ජලාශය සහ මොරගකන්ද ජලාශය අතර උමගක් ඉදිකර ජලය මොරගහකන්ද වෙත ගෙන එනු ලබන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. තවමත් ඉදිවෙමින් පවතින්නේ එම උමගයයි. කළුගඟ ජලාශ වේල්ලට වම් පසින් දිවෙන මෙම උමග, මොරගහකන්ද ජලාශයේ ඉහත්තාවේ පිහිටි පොත්තටවෙල-දම්මන්තැන්න දුම්බර ගම්මාන මායිමට මුදාහැරෙයි. එම ප්‍රදේශවල ද ඉදිරියේදී සංචාරය කර තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි බලාපොරොත්තු වන්නෙමු.

මෙවර ගමන අප සම්පූර්ණයෙන්ම යොදාගත්තේ කළුගඟ සහ එම ජලාශයේ තතු ඔබ වෙත ගෙන ඒම සඳහා සහ හිරු නැගෙන, හිරු බැස යන අවස්ථාවන්හිදී කළුගඟ ජලාශය ආශ්‍රිත සුන්දරත්වය ඔබ වෙත ගෙන ඒම සඳහාය. මේ අනුව අප ජලාශ වේල්ල සහ කළුගඟ ජලාශයේ සුන්දරත්වය ඈත සිට අත්විඳිය හැකි ලග්ගල-පල්ලේගම සිට රණමුරේ-නාරංගමුව මාර්ගයේ මෙන්ම, පල්ලේගම සිට ඉලුක්කුඹුර දෙසට දිවෙන මාර්ගයේ ද ගොස් ජලාශ ඉස්මත්තට සංචාරය කළ බවද සිහිපත් කිරීම වටී.

කළුපානා කන්ද පිසගෙන ඇදෙන කළුගංගා සුකොමළිය

සැරිසර – ජගත් කණහැරආරච්චි
කැමරාව- නිමල් කණහැරආරච්චි සමන් නන්දන

advertistmentadvertistment
advertistmentadvertistment