කාරක සභාවට ආවේ නෑ: වියානි හා ඉලුක්පිටිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරලා – හර්ෂ මැතිසබයේ දී කියයි

38

ගුවන්තොටුපළේ දී ඔන් අරයිවල් වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කාරක සභාවට කළ කැඳවීමට අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇතුළු පිරිස නොපැමිණීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් යැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී 22 වැනිදා පැවසීය.

මුදල් කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව කී සභාපතිවරයා මෙසේ ද කීවේය.

පසුගිය සතියේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මුදල් කාරක සභාවට කැඳවා තිබුණා. ඒ දිනය තීරණය කළේ ඔවුන් සමග කතා කරලා. ඒ දිනය තීරණය කළාම මැයි මාසයේ 13 වැනිදා ඔවුන් අපේ කාර්යාලයට ෆැක්ස් පණිවුඩයක් එවලා තිබුණා. අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක ඇතුළු පිරිසක් එන බව එහි සඳහන් කර තිබුණා. ඒ වගේම ආගමන විගමන පාලක ඉලුක්පිටිය ඇතුළු පිරිසක් එන බවට තවත් ෆැක්ස් පණිවුඩයක් එවා තිබුණා. කාරක සභා රැස්වීම තිබුණේ 14 වැනිදා පෙරවරු එකොළහමාරට. නමුත් 13 වැනිදා සවස හයයි කාලට පාර්ලිමේන්තුව වැහැව්වට පස්සෙ අපේ කාරක සභාවේ ලේකම්තුමියට ලියුමක් එවනවා ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයට අදාළව 2012 වසරේ සිට වැදගත් ලිපිලේඛන සොයා ගත යුතුව තිබෙන නිසා තවත් සතියක කාලයක් ලබා දෙන්න කියලා.

ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව නව ගොඩනැඟිල්ලේ ස්ථාපිත කර ඇත්තේ 2016 වසරේ වන හෙයින් ලිපිලේඛන සොයා ගැනීම අපහසු වී තිබෙන බවත් එම ලිපියේ සඳහන් කර තිබුණා. එහෙම කියලා ඊළඟ දවසෙ උදේ රැස්වීමට එන්න බැහැ කියලා. ඊට පස්සෙ එදින රාත්‍රි හතයි කාලට මගෙන් විමසීමක් කළා ඒ ලිපිය පිළිගන්නවා ද කියලා. මම කිව්වා පිළිගන්න විදියක් නැහැ. දිනය තීරණය කළේ ඔබතුමන්ලා නිසා පැමිණීම අනිවාර්යයි කියලා. කොහොම හරි 14 වැනිදා ඔවුන් ආවේ නැහැ. රාජ්‍ය මුදල් පිළිබඳ කටයුත්තක් සාකච්ඡා කරන අවස්ථාවේදී ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා කිසිදු අනුමැතියකින් තොරව කාරක සභාවට නොපැමිණීම පාර්ලිමේන්තුවේ ම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඔබතුමාම (කථානායක) තීරණය කරන්න

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment