සහල් – සීනි මාෆියාව මැඬලන්න ඕනෑ

96

කීරි සම්බා සඟවලා – සීනිත් එහෙමයි
වටලන්න ත්‍රිවිධ හමුදාව යොදවන්න
මිල වැඩි කර විකිණීමටයි හදන්නේ
කථානායක දිවයිනට කියයි

සහල් හා සීනි තොග සඟවා ගෙන හිඟයක් මවා පා මිල වැඩි කර විකිණීමට ක්‍රියාත්මක වන තොග වෙළෙඳ අක්‍රමිකතා මැඬලීමට විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, නාවික හමුදාව හා පොලිසිය යොදවා වැටලීම් කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (06 දා) පැවසීය.

මේ වනවිට සහල් තොග සඟවලා… කීරි සම්බා සහල් කිලෝව රු. 300ට විකිණීමට බලාගෙන ඉන්න බව පේනවා. තොග වෙළෙඳුන් සීනි තොග දීර්ඝ කාලයකට ගෙනැවිත් සඟවා ගෙන සිටිනවා. සීනි ආනයනයෙන් සමහරු මිලියන 500 සිට 1000 දක්වා ලාභයක් ලබන බව අපට පෙනෙනවා.

මේක සිල්ලර වෙළෙඳුන් කරන දෙයක් නොවේ. මහා පරිමාණ වෙළෙඳුන් මේ මගඩිය පිටුපස ඉන්නවා.

පාලන මිල නියාමනයක් කරන්න. තොග සඟවා ගෙන ඉන්න අය බලන්න. පාරිභෝගික අධිකාරිය බලවත් නැහැ. ඔවුන් ගෙන් හරියට වැඩේ නොකෙරෙන බව වෙළෙඳ සැල්වල සහල් හිඟය ගැන බැලුවම සොයා ගන්න පුළුවන්.

ලංකාව වැඩිපුරම සීනි ගෙන්වූයේ කවුද? කොපමණ ගෙන්වූවාද සහල් තොග මහා පරිමාණ සහල් නිෂ්පාදකයෝ කොපමණ වෙළෙඳ පොළට දැම්මද කියලා සොයන්න ඕනෑ. සීනි ගැන රේගුවේ දත්ත තිබෙනවා. රේගුවේ සහායත් මේ සඳහා ගෙන තොග ගෙන්වපු අය ගැන අපිට සොයා ගන්න පුළුවන්. සමහර කිරිපිටි වර්ගත් සඟවා විකිණීම් කරන තැන් තිබෙනවා.

ජීවන වියදමින් ජනතාව පීඩා විඳිද්දී වෙළෙඳ මාෆියාව දවසින් දවස ඒ ජනතාව සුරාකෑම වළක්වාලීමට කටයුතු කළ යුතුයි යැයි ද කථානායකවරයා කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment