කාශ්මීර් ප්‍රහාරය: ඉන්දියාව පාකිස්තාන දේශ සීමාව වසයි

79

පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවන්නැයි නියෝග

පුද්ගලයන් 26 දෙනකුට මරු කැඳවමින් ඉකුත් අඟහරුවාදා (22දා) ඉන්දියාවේ ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ පහල්ගම් නගරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් පකිස්ථානය සමග පවතින සිය ප්‍රධාන දේශ සීමාව වසා දමමින් ඉන්දියාවේ සිටින පකිස්ථාන තානාපති නිලධාරීහු රැසක් රටින් පිටුවහල් කිරීමට ඉන්දීය රජය විසින් ඊයේ (24දා) පියවර ගෙන තිබේ. මේ අතර දකුණු ආසියානු සහයෝගිතා සංවිධානය හෙවත් සාක් සංවිධානයේ සාමාජික රටවලට ලබා දී තිබෙන වීසා රහිතව කලාපීය රටවල සංචාරය කිරීමේ අවස්ථාව ලබා ගනිමින් ඉන්දියාවේ සිටින සියලුම පකිස්ථාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළතදී රටින් පිටව යන ලෙසද ඉන්දීය රජය විසින් නියෝග කර තිබේ.

ඉන්දීය රජයේ ආරක්ෂක කටයුතු පිළිබඳව තීරණ ගැනීමේ ඉහළම ආයතනය සේ සැළකෙන ආරක්ෂක කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ ප්‍රධානත්වයෙන් රැස් වී අදාළ තීරණ ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. කෙසේ වුවද ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු හා කාශ්මීර් ප්‍රාන්ත කලාපයට අඟහරුවාදා එල්ල වූ ප්‍රහාරයට සිය රටේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පාකිස්ථානය විසින් නිවේදනය කර ඇති බව වාර්තා වේ. එහෙත් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්ර් පවසා ඇත්තේ සාක් රටවල වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම ලබා ගනිමින් පකිස්ථාන ජාතිකයන්ට ඉන්දියාවට පැමිණීමට මින් ඉදිරියට අවසර ලබා නොදීමට ඉන්දීය ආරක්ෂක කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව විසින් තීරණය කර ඇති බවයි.

මේ අතර කාශ්මීර් ප්‍රහාරයෙන් පසු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ ත්‍රස්තවාදීන් මුළු ලොවෙන්ම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. කාශ්මීර් ප්‍රහාරයත් සමගම ඉන්දියාව හා පාකිස්ථානය අතර පළුදු වී පැවති සබඳතා තවදුරටත් නරක අතට හැරී ඇති අතර කාශ්මීර් ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව ඉන්දීය අගමැති මෝදි විසින් ප්‍රතිඥා දී තිබේ. මේ අතර පාකිස්ථානයද පවතින තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහ ඊයේ (24දා) දිනයේ විශේෂ ආරක්ෂක නියෝජිත රැස්වීමක් කැඳවා තිබිණි.


advertistmentadvertistment