කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ භාණ්ඩ සොරාගත් මිතුරු සිසුවා අත්අඩංගුවේ

60

කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ හා සරුංගල් ගොඩනැඟිල්ලේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වටිනා ලැප්ටොප් පරිගණක තුනක් , ටැබ් එකක් හා ජංගම දුරකතන තුනක් සොරකම් කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු කිරිබත්ගොඩ පොලිසිය මගින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙහිදී එම සරසවි සිසුවා විසින් සොරකම් කළ එම භාණ්ඩ කිරිබත්ගොඩ හා කඩවත උකස් භාණ්ඩ මිලයට ගන්නා ආයතනවලට උකස් කර තිබී සොයා ගත්හ.

මේ ලැප්ටොප් පරිගණක , ටැබ් එක හා ජංගම දුරකතන කැලණිය විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකුගේ හා සිසුවියකුගේ වන බවද කියති.

මේ සැකකාර සරසවි සිසුවා සිය මිතුරු සිසුන් හමුවීම සඳහා වරින් වර එම විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන අතර ඒ අවසරයෙන් ඔහු මේ භාණ්ඩ සොරකම් කර ගෙන රැගෙන ගොස් ඇත.

මේ භාණ්ඩ නැතිවීමෙන් පසුව විශ්වවිද්‍යාලයට නිතර නිතර මිතුරු සිසුන් හමුවීම සඳහා පැමිණි එම සැකකාර සිසුවා ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සොරකම අනාවරණය කර ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම වැටලීමට කිරිබත්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.ඒ. ප්‍රියන්ත මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි , පොලිස් සැරයන් සිසිර (2725), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් ( 82436 ), සේනාධීර (9087), පත්මසිරි (79778), නන්දසිරි (93652) හා සුගන්ද (20689) යන නිලධාරීහු සහභාගි වූහ.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment