කැලණි ගම් මිටියාවතේ මහා ගත්කරු වී.ඩී. ද ලැනරෝල්

396

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිය ගණනක් පොත් ලියා කොග්ගල මහා ප්‍රාඥයා බවට පත්වූවා සේම කැලණි ගම් මිටියාවතින් බිහිවී කඩුවෙල මූලික කරගෙන කවිය අවිය කරගත්, පොත් සිය ගණනක් ලියූ ගත් කතුවරයෙකි. ළමා කතා ලෝකයේ ප්‍රමුඛයා වූ මෙතුමා ඇලඩින්ගේ පුදුම පහන, මහ දැනමුත්තා හා ගෝලයොත්ත, අන්දරේ හා රජ වාසල කවටයෝ, වැනීසියේ වෙළෙන්දා ආදී ළමා කතාවල නිර්මාතෘවරයාය. ඉතිහාසය පුරාවෘත්ත හා ජනශ්‍රැති පිළිබඳ මනා අවබෝධයක් තිබූ වී. ඩී. ද ලැනරෝල් ශූරීන් ද, පොත් සිය ගණන් ලියූ පෙරළිකාර ගත් කතුවරයෙකි. ලංකාවේ පළමු කෙටි කතාව වූ දිනමිණ පුවත්පතේ 1923 පළවූ “උපාසක මහත්තයා” එතුමාගේ නිර්මාණයකි. කොල්ලුපිටිය ජිනරජ පාසලේ විදුහල්පතිවරයා ලෙසත්, එම්. ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශන අංශයේ ප්‍රධානියා ලෙසත්, සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසත්,

  1. ඇලඩින්ගේ පුදුම පහන 2. මහදැනමුත්තා හා ගෝලයෝ 3. අන්දරේ හා රජවාසල 4. සින්බෑඩ් නැවියා 5. වෙස්සන්තර කාව්‍ය 6. වැනීසියේ වෙළෙන්දා 7. පවුලේ වාසනාව 8. උපාසක බළලා 9. මගේ පුත්‍රයා 10. මහත්මාගාන්ධි ආදර්ශ කතා 11. කැකිල්ලේ රජ්ජුරුවෝ 12. කතා මල්දම 13. කවින්ද්‍රයා 14. ළමා කවි කළඹ 15. සිංහල කාව්‍ය 16. ගොයම් කවි 17. මලාවි සන්දේශය 18. එනරෝල් කවි දහස 19. සිංහල ජන කවි 20. පෙම්හර 21. දෑ කවි කළඹ 22. බටහිර මාණික්‍යය 23. තොවිල් කවි 24. හපන්කම් 25. මෝඩකම් හා පුරසාරකම් 26. අමල්බිසෝ 27. කුමාර් ශික්ෂා 28. පියසරීගේ පාසල් සමය 29. මසුරු සිටානෝ 30. විදුර පණ්ඩිතයෝ 31. අතීත කතා රත්නය 32. යටගිය දවස 33. සිල් මෝල 34. මිහිරි වදන් 35. කවටයෝ 36. මදුරු සංදේශය 37. ලංකා ඉතිහාසය 38. තරුණ සමය 39. කතා මල්දම 40. පවුලේ වාසනාව 41. තරුණියන්ට අවවාද 42. ප්‍රාථමික නිශ්ශබ්ද කියවීම 43. නාගමානිකාව හා කතා 44. උපාසක බළලා 45. ලංකා පුරාවෘත්ත…

මෙලෙස පොත් සිය ගණනක් ලියූ වී. ඩී. ද ලැනරෝල් ශ්‍රීමතාණන්ගේ සීයා ප්‍රංශයේ ආදිපාදිවරයකු වූ නැන්ක්ලැටර්ස් ඩක් ඩී. ලානරෝල් වර්ෂ 1670 මාර්තු 30වන දින තිරිකුණාමල වරායෙන් ලංකාවට සේන්දු වී මහනුවර රජ මාලිගාව බලා පිටත් විය. එහිදී රාජ උදහසට ලක්ව දෙවැනි රාජසිංහයන්ගේ දඬුවමට ලක්වුවත්, 1687 දී දෙවෙනි රාජසිංහ රජු මියගියෙන් අභිනවයෙන් පත්වූ විමලධර්මසූරිය මහ රජතුමා වෙත පඬුරු පාක්කුඩම් පිරිනමා මිතුරු වී මහනුවර රාජධානියේ සත්කෝරලයේ උඩ කෝට්ටේ මුල්ලේ රාජගුරු මුදියන්සේගේ දියණිය සමග විවාහ විය. ඔවුනට ජේමිස් ඩක් ඩී. ලානරෝල් නම් පුතණුවන් ලැබීය. පසු කලෙක ඔහු තම නම් වෙනස් කරගත් අතර ඩක් ඩී. වෙනුවට ඩියුක් ලෙසත්, ලානරෝල් වෙනුවට ලැනරෝල් ලෙසත්, සිංහල බෞද්ධයෙක් බවට පත් ්විය. ඒ සමගම ඔහුට කන්ද ගොඩක් රජ මාළිගයේ රන් ආයුධ මණ්ඩපයේ මහ ලේකම් තනතුර ලැබීය. මෙකල මහනුවර සුදුහුම්පල රජ මහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ වූ කඩුවෙල අත්තදස්සි හිමියන් ළඟින් ඇසුරු කළ නිසාදෝ ජේමිස් ලැනරෝල් පහතරට කඩුවෙලට නොදුරින් වූ මුල්ලේරියාවේ පදිංචිව සිටි කටුගම්පලගේ ද්‍රෝන ලුසියානා ද සිල්වා සමග විවාහ වී කඩුවෙල නගර ආසන්නයේ ඇති කෙතෙවත්තේ පදිංචි විය. ඒ අනුව, ඔහුගේ පුතා හෙවත් අපේ කතානායකයා වික්ටර් ඩියුක් ද ලැනරෝල් 1893 දෙසැම්බර් 25 උපත ලැබීය. ඔහුට පසු ජුලියස් ද ලැනරෝල් (සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ප්‍රථම කර්තෘ) සැමුවෙල් ඩියුක් ලැනරෝල් (ගත් කතුවරයෙක්) කුලසිංහ ඩියුක් ලැනරෝල් (කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති) සහෝදරයන් 3 දෙනෙක් ලද අතර ඔවුන් සියලු දෙනාම සිංහල සාහිත්‍යයට අමරණීය සේවයක් කරන ලද ලැනරෝල්වරුන් ලෙස ඉතිහාසයට එක් වී ඇත. බෝමිරිය ආණ්ඩුවේ ද්විභාෂා පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා, පසුව කොළඹ තර්ස්ටන් පාරේ පිහිටා තිබූ ආණ්ඩුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලැබීය. අනතුරුව, හික්කඩුව දියභාෂා පාසලේ ගුරු පත්වීමක් ලැබ සේවය කළ අතර ඉන් ඉවත්ව ඉදිරියේ ශ්‍රී විජය පාසලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කළ අතර ලංකා ඉතිහාසයේ පෙම්වතෙක් තම පෙම්වතිය වෙත කවි පොතක් ලියා පිළිගැන්වූවා නම්, ඒ පළවෙන්ම කළේ වී. ඩී. ද ලැනරෝල් සූරීන්මය. අනතුරුව, කොල්ලුපිටිය පොල්වත්තේ දිනරාජ බෞද්ධ පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්විය. ඉන් පසු පූර්ණකාලීනව ලේඛන කලාවට යොමු වූ මෙතුමා සිළුමිණ හා ලංකාදීප පුවත්පත්වල කතෘවරයා වශයෙන්ද, අනතුරුව සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමග සම්බන්ධ වී සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටුකරන ලදී.

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් තම මිත්‍රයා වී. ඩී. ද ලැනරෝල් පිළිබඳව ඔහුගේ උපන්දා සිට කෘතියේ ඉතා ලෙන්ගතුව තමන් සමග කටයුතු කළ බව දක්වයි.

මෙලෙස සිංහල සාහිත්‍ය වෙනුවෙන් පොත් 100ක් පමණ මෙතුමා ළමයින් වෙනුවෙන් ලියූ ප්‍රමුඛයා ලෙස ද, කවිය අවිය කරගෙන කටයුතු කරපු ලේඛකයෙක් ලෙස ද, ඉතිහාසය පිළිබඳ මනා අවබෝධයකින් “ලංකා ඉතිහාසය” ලංකා පුරාවෘත්ත වැනි ග්‍රන්ථ ඉදිරිපත් කිරීමෙන් ද, මදුරු සංදේශය, මලව සංදේශය වැනි ප්‍රකට සාහිත්‍ය කෘතිය ඉදිරිපත් කළ තම යුතුකම් නොපිරිලා ඉටු කළ මිනිසෙකු ලෙස ද, ඉතිහාසයට එක් වී සිටී.

කඩුවෙල කොතලාවල පට්ටියවත්ත නිවසේ පදිංචිව සිටි මෙතුමා 1977 ජුනි මස 20දින අභාවප්‍රාප්ත වූ අතර එතුමාගේ අවසන් කටයුතු කඩුවෙල නගරය හරහා දේහය ගෙන ගොස් බෝමිරිය පාසල අසල ඉදිකළ චිතකයේ තැන්පත් කර අවසන් කටයුතු සිදු කරන ලදී.

චන්දන උපාලි පෙරේරා
ප්‍රධාන ලේකම්,
වික්‍රමදාස ලියනගේ ශිෂ්‍යාධාර පදනම


advertistmentadvertistment