කුලියට බද්දට ගත් නිල නිවාස මින් පසු ඇමැතිලාට දෙන්නේ නෑ ඒවා රජයට බරක් – හිසරදයක්

248

කථානායක අශෝක රන්වල

මින් ඉදිරියට කුලී පදනමින් හෝ බදු පදනමින් රජයට පවරාගත් නිල නිවාස ඇමැතිවරුන්ට හිමි නොවන බව කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා පැවසුවේය. බදු හෝ කුලී පදනමින් ලබාගත් නිල නිවාස රජයට හිසරදයක් බව ද කථානායකවරයා පවසයි.

“නිල නිවාස වර්ග දෙකක් තියෙනවා.එකක් පෞද්ගලිකව බදු පදනම මත රජයට පවරා ගත්ත නිල නිවාස. ඒවා රජයට බරක්, හිසරදයක් බවට පත්වෙලා. ඒ නිසා ඇමැතිවරුන් නැවත එවැනි ක්‍රියාමාර්ගවලට යයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. බදු හෝ කුලී පදනමින් අරන් තිබෙන නිවාස නැවත එලෙස නඩත්තු කරන්නේ නැහැ. නමුත් රජය සතු නිල නිවාස ගණනාවක් තියෙනවා. ඒ නිල නිවාස පිරිසිදු කරමින් ඒවා නඩත්තු කිරීමේ වගකීම රජයට පැවරිලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ ඒ නිල නිවාස ඇමැතිවරුන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැතුව රජයේ පොදු කාර්ය වෙනුවෙන් පාවිච්චි කරයි කියල. කැබිනට් ඇමැතිවරු කිසිවෙක් නිල නිවාස ඉල්ලීම් කර හෝ නැහැ”

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය තමන් අධීක්ෂණය කළ අතර ඒවා ඉතාම දුර්වල මට්ටමේ පැවති බවත්, නඩත්තු නොකිරීම නිසා කඩාවැටීමට ආසන්නයේ පවතින බවත් මේ දිනවල එහි නඩත්තු කටයුතු සිදුකරන බවත් කථානායකවරයා පැවසීය. දුර බැහැර සිට පැමිණෙන මැති ඇමැතිවරුන්ගේ අවශ්‍යතාව මත එම නිවාස ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

කථානායකවරයා මෙම අදහස් පළ කළේ පෙරේදා (01දා) කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී 19 වැනි වරටත් පැවති පන්දහසක් බුද්ධ ශ්‍රාවිකාවන් උදෙසා පිදෙන ‘පාරමිතා පරිෂ්කාර මහා පූජාව’ට එක්වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


advertistmentadvertistment