සත් කෝරළ පොත් වසන්තයට ‘‘දිවයින” පුවත්පත එකතුවීම සතුටක් – ගල්ගම්මුල්ල මයුරාවතී මහා විදුහලේ විදුහල්පති එල්. පී. ආර්. කේ. පතිරණ
පොත් කියන්නේ අපේ අනාගතය තීරණය කරන ප්‍රබලතම සන්නාමය. සත්කෝරළය කියන්නේ ඉතා ඈත අතීතයේ සිට මෑත අතීතය දක්වාම කලාවට සාහිත්‍යයට ආදරය කළ මිනිසුන්ගේ වාසභූමිය. ඒ තත්ත්වයේ වෙනසක් අපට දැනෙන මොහොතකයි ඉඩෝරයට පොද වැස්සක් වගේ සත්කෝරළ පොත් වසන්තය වයඹ සත්කෝරළයේ කුලියාපිටියට එන්නේ. එම මහා සත්කාරයට “දිවයින” පුවත්පතත් එක්වෙලා.
දීර්ඝකාලීන “දිවයින” පාඨකයෙක් හැටියට පෞද්ගලිකවත් එය මට මහා සතුටක්. “දිවයින” මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් කුලියාපිටිය නගර ශාලාවේදී ඊයේ ආරම්භ වූ සත්කෝරළයේ මහා පොත් වසන්තයේ සමාරම්භක උත්සව සභාව අමතමින් එම අදහස් ප්‍රකාශ කළේ ගිරි/ගල්ගම්මුල්ල මයුරාවතී මහා විද්‍යාලයේ විදුහල්පති එල්. පී. ආර්. කේ. පතිරණ මහතාය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ පතිරණ මහතා, “මස් නොවිකුණා මල් විකුණාපන් හොඳට” මේ මා කියවූ කවි පොතක තිබූ කවියක මගේ පපුවේ තැන්පත් වූ පද පෙළක්.
මස් විකුණන හොඳින් හෝ නරකින් මුදල් හොයන සමාජයක පොත්පත්, පුවත්පත් අලෙවිය කියන්නේ උඩුගම් බලා පිහිනීමක්.
නමුත් උඩුගම් බලා පිහිනා හෝ අප පොත්පත්, පුවත්පත් කියවන අනාගත පරපුරක් බිහි නොකළොත් අපේ රට හෙට ලොකු අනතුරක.
ඉතින් මා ගුරුවරයෙක් හැටියට රටට කියන්නේ “මස් නොවිකුණා පොත් විකුණාපන් හොඳට” කියලයි.
මෙම උත්සව සභාව අමතා කුලියාපිටිය මැද නගරය ධර්මාශෝක බෞද්ධ සිද්ධස්ථානාධිපති ශ්‍රාස්ත්‍රවේදී හුරීකඩුවේ මුදිතසිරි ස්වාමින්වහන්සේ අනුශාසනාවක් කළ අතර සියනෑ පොත් මිතුරෝ නිර්මාතෘ නිශාන්ත වික්‍රමතිලක මහතා ද අදහස් දැක් වීය. මෙම අවස්ථාවට කුලියාපිටිය වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඇතුළු විදුහල්පතිවරුන්, මහජන නියෝජිතයන්, ලේඛක ලේඛිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
සටහන – සුනිල් පොරමඬල