කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් 3ක් හදන්න ගිය දෙදෙනෙක් රිමාන්ඩ්

28

විදේශගතව සැඟවී සිටින මෙරට ප්‍රධානම පෙළේ පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා වෙනුවෙන් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 3ක් ලබා ගැනීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (24දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 3ක් ලබා ගැනීමට උත්සාහ කළ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

අවුරුදු 32 සහ 51 යන වයස් සීමාවල පසුවන මෙම සැකකරුවෝ දෙදෙනා මාලිගාවත්ත සහ ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් දෙදෙනා කොහුවල සහ බත්තරමුල්ල ප්‍රදේශවල ඇති ස්ටූඩියෝ දෙකක හිමිකරුවන්ය. ඔවුන් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ඡායාරූප වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඒවා සංස්කරණය කර ව්‍යාජ තොරතුරු ලබාදී එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර 3ක් ලබා ගැනීමට උත්සාහ කර ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් දෙදෙනා 23 වැනිදා එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ඉකුත් 2014 වර්ෂයේ දී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන 2021 වර්ෂයේදී විදෙස්ගතවී ඇත. 2024 වර්ෂයේදී මෙන්ම 2025 වර්ෂයේ දී ද කෙහෙල්බද්දර පද්මේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 3ක් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණයේ දී වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

ගම්පහ ඔස්මන් ඝාතනයට පාතාල කල්ලියක් යෙදවීම, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු තවත් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment